සෙත් කවි අගය නැකැතට හිමි අක්ෂර හා ස්වර වේද

සැප්තැම්බර් 3, 2021

 

සෙත් කවි සැදීමේ දී මෙලෙස අදාළ අධ්‍යයනකරුගේ නැකැත බලා නැකැත පාදයට හිමි අකුර සෙත් කවියේ මුලට යෙදීම යහපත් වේ. උදාහරණ වශයෙන් ගතහොත් ‘මා’ නැකැතේ ප්‍රථම පාදයෙන් උපන් කෙනෙකුට හිමි වන්නේ ‘ම ‘ යන්නයි. ඒ අනුව මංගල ලෙස යෙදිය හැකි ය.

 

පුද්ගලයාගේ නැකැතට අනුව හිමි අක්ෂරයක් තිබේ. නැකැත් පාද හතරට අක්ෂර හතර බැගින් නැකැත් 27 ට අක්ෂර 108ක් ඇත. මෙම අක්ෂර පිළිබඳ ලැයිස්තු ලංකා පංචාංග ලිතේ 53 පිටුවේ නැකැත් පාද හිමි අක්ෂර වශයෙන් සඳහන් කර ඇත. මෙම නැකැත් පාදයට හිමි අක්ෂරය එම පුද්ගලයාට වඩාත්ම සුදුසු වේ නම් තැබීමේ දී නම් කිහිපයක් තබන විට පළමු නම තබන්නේ මෙම නැකැත් පාදයට අනුව ය.

 

 

මෙම සටහන් සලකා බැලුවොත් විවිධ පොත්වල යම් යම් වෙනස්කම් ඇත. ‘සෙත්කවි වදුලේ’ සඳහන් වන්නේ සුවණ නැකැතට අදාළ පාද හතර සඳහා ඤ, ඤු, ඤෙ, ඤො යන අකුරු හතර වේ. ‘කාව්‍ය ලක්ෂණ මිණිමලාවේ’ සඳහන් වන්නේ ෂි, ෂු, ෂෙ, ෂෙ යන අකුරු හතර වේ. ලංකා පංචාංග ලිතේ සඳහන් වන්නේ ජු, ජෙ, ජෙ, ෂ යන අකුරු හතර වේ.

මෙම ගැටලුවට පිළියම් වශයෙන් කළ යුත්තේ සුවණ නැකැතට ඉහත අකුරු සියල්ලම අයත් ලෙස සැලකීමයි. එනම් නැකැත සුවණ, ජු, ජෙ, ජො, ෂ, ෂි, ෂු, ෂෙ ෂො, ඤ, ඤු, ඤෙ, ඤො යනුවෙනි.

මෙම නැකැත් පිළිබඳව සටහන ඉදිරිපත් නොකරන අතර ලංකා පංචාංග ලිතේ 53 පිටුවෙන් එය බලා ගැනීම අවශ්‍ය වේ. අනෙක් අකුරුවල විශේෂ වෙනසක් නැත.

සෙත් කවි සැදීමේ දී මෙලෙස අදාළ අධ්‍යයනකරුගේ නැකැත බලා නැකැත් පාදයට හිමි අකුර සෙත් කවියේ මුලට යෙදීම යහපත් වේ. උදාහරණ වශයෙන් ගතහොත් ‘මා’ නැකැතේ ප්‍රථම පාදයෙන් උපන් කෙනෙකුට හිමි වන්නේ ‘ම ‘ යන්නයි. ඒ අනුව මංගල ලෙස යෙදිය හැකි ය.

මා නැකැතේ දෙවන පාදයට හිමි අකුර මි යන්න බැවින් ‘මිහිරි’ ලෙස යෙදිය හැකිය. අස්විද නැකැතේ හතරවන පාදයෙන් උපන් දරුවෙකුට එයට හිමි අකුර වන ල යන්නට ගැහැණු දරුවෙක් නම් ලල්කා ලෙස යෙදිය හැකි ය. ලල්කා යනු නෙළුම් මලට නමකි.

මෙයට අමතරව සෙත් කවි සෑදීමේ දී නැකැතට හිමි අක්ෂරය මෙන්ම නැකැතේ සිට ජන්ම, සම්පත්, විපත්, ක්ෂේම, ප්‍රත්‍යාරි, සාධන, වධ, මෛත්‍රී, පරම මෛත්‍රී යන ලෙස ගණන් කර බලා 2, 4, 6, 8, 9 යන අංකවලට අනුව එය නැකැතට හිමි අකුර යෙදීමට ද හැකි ය.

එනම් මුල් නැකැතේ තෙවන පාදයෙන් උපන් කෙනෙකුට බ අකුර සුදුසු ය. මුල නැකැතට දෙකවන සම්පත් නැකැත වන එ සුදුසුය. මුල නැකැතට සයවන නැකැත සියාවස වන අතර එහි ඇති සි අකුර සාධන ගණයට වැටේ. මෛත්‍රී ගණයට වැටෙන උත්‍රපුටුප නැකැතේ ‘දු, ථ’ අකුරු ද යහපත් ය. පරම මෛත්‍රීවන දෙ, දො, ච, චි අකුරු ද මුල නැකැතට අයත් කෙනෙකුට සුබ වේ.

මෙයට අමතරව අක්ෂර පිළිබඳව එනම් යම් යම් තැනත්තට සුබ වන අක්ෂර තෝරා ගැනීම සාමාන්‍ය සිද්ධි චක්‍රය, ශූක්ෂම සිද්ධි චක්‍රය ආදී චක්‍ර මඟින් ද පුද්ගලයාගේ නමට හිමි අක්ෂර සොයා ගත හැකිය. ඒවා පිළිබඳව සාකච්ඡා කෙරේ. මෙලෙසට චක්‍රයක් මඟින් සොයා ගන්නා අකුර නැකැතට අනුව ගැළපේ. නම් වඩාත් හොඳ වේ.

මෙම චක්‍ර පිළිබඳව පසුවට තබා අක්ෂරවල ස්වර අනුව ඇතිවන සුබ අසුබ එනම් ස්වර වේද පිළිබඳව මීළඟට අවධානය යොමු කරමු. ස්වර වෙද මෙසේ ය.

වේද ස්වර මෙසේ ය. අ සමඟ උ, ද, ආ සමඟ උ, ද, ඉ, සමඟ එ, ඒ, ද, ඊ සමඟ ඔ, ඕ ද වේ.

මෙලෙස වේද විම නිසා නරක ප්‍රතිඵල ඇති වේ. එය කවියකින් මෙසේ දැක්වේ.

මෙම ස්වර තත්ත්වය පැහැදිලි කිරීමට සෙත් කවියක් මෙසේ ය.

සහස්පත් පිබිදුමෙන් ලොව දුන් ඔපය විලසින් පමොද සේ

දියැස් නා හිමි මග සතර කර දෙවිඳගත් වග තබමු මනසේ

සනස්වා මා පියද චාමර වනරත්න ඉගැනුමද නිසි සේ

සලස්වා ජය සෙත දෙවනු මැන දෙවිඳ බලයෙන පසිඳු දිවැසේ

 

මෙය දරුවකුගේ ඉගැනුම සාර්ථක කර දෙන ලෙසට විෂ්ණු දෙවිඳුට ලියන ලද සෙත් කවියෙකි. මෙහි සතර කර යනු විෂ්ණු දෙවිඳුයි. මෙහි තේරුම සැකවින් කිවහොත් බුදුන් වහන්සේ සරණ ගිය විෂ්ණු දෙවිඳුන් වහන්ස මෙම චාමර වනරත්න දරුවාට ඔබ වහන්සේගේ දිවැස් බලයෙන් අධ්‍යාපනයෙන් සැනසීම ලබා දෙනු මැනවි වශයෙනි. ඉහතින් කියන ලද අක්ෂරවල ස්වර වේද මෙම කවිය ඇසුරෙන් බලමු. මෙය සෙත් කවියක් බැවින් මෙම ස්වර වේද නොවී ගැළපෙන ආකාරයට යොදා ඇති අයුරු බලන්න.

මෙහි මුල අකුර ස වේ. අ කාරය වේ. සහස්පත් කී විට සුබ ගණයකි. සහස්පත් පිබිදුමෙන් ලොව කී විට එම ගණ තුනම සුබ වේ. චාමර යන නමට ස කාරයට අදාළ අ කාරය විරුද්ධ නැත. මෙහි නම මුනිපාල වූවා නම් මෙම ස කාරය නොගැළැපේ.

අභිධාන කරුගේ නම දෙපස බලන්න. පියද චාමර වනරත්න ඉගැනුමද මෙහි පියද චාරම කී විට ඉ හා අ විරුද්ධ නැත. අග අ, ඉ, විරුද්ධ නැත. මේ අනුව ඉහත පද්‍යය ශබ්ද විරෝධි නැත.

තවත් කවියක් බලන්න. මෙය ලියා ඇත්තේ නිවාසයක බලෙන් සිටින කෙනෙක් ගෙදරින් ඉවත් කිරිම සඳහා ය. මෙය කතරගම දෙවිඳුට කියන ලද කවියකි.

 

සිහනදින් ගිජිඳුන් සලිත වන සේ සියලු රුපු බලය සිඳමි නී

සහන දෙති කතරගම දෙව්හස විහිද දිත් රුපු පැරද යවමි නී

ශාන්ති හිමි නිවස ද පී‍්‍රති ලෝහිත දුරස්වම නිතී

මෝඩ වැඩු රුපුහු පැරද යෙති තෙදනු හසයෙන සයනෙතිනි ගිනී

 

මෙහි ශබ්ද විරෝධි අවස්ථා ඇත. ලෝහිත අ දුරස්වම උ වේ. මේ අනුව අ, උ වේදය ඇත. මෙහි තවත් අසුබ ලක්ෂණ තිබේ. ඒවා ඉදිරියට සාකච්ඡා කෙරේ.

මෙම කවියේ ප්‍රතිඵලයක් වශයෙන් නිවාසය හැර ඔවුහු ඉවත්ව ගියහ.

මෙහිදී වේධ නොවන අක්ෂර ද දැන ගත යුතු ය.

අයන්නට -

ආ, ඉ, ඊ, ඌ, එ, ඒ, ඔ, ඕ, ද

ආ යන්නට -

අ, ඉ, ඊ, උ, එ, ඒ, ඔ, ඕ, ද

ඉ යන්නට -

අ, ආ, ඊ, උ, ඌ, ඔ, ඕ, ද

ඊ යන්නට -

අ, ආ, ඉ, උ, ඌ, එ, ඒ, ද

උ යන්නට -

අ, හැර අනෙක් අකුරු ද

ඌ යන්නට -

ආ, හැර අනෙක් අකුරුද

එ ඒ යන්නට -

ඉ හැර අනෙක් අකුරු ද

ඔ ඕ යන්නට -

ඊ හැර අනෙක් අකුරු ද වේධ නොවේ.

අභිධානය දෙපසද අක්ෂර වේද තිබේ දැයි සෙත් කවියෙ දී බැලිය යුතු වේ. අක්ෂර පිළිබඳව කතා කළ යුතු තවත් දේ ඉදිරියට සාකච්ඡා වේ.

ශාස්ත්‍රපති

එම්.ඒ. මනුරත්න

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.