තුලාවේ රවි නීච වීමත් තුලාවේ රවි නීච වීමත්

ඔක්තෝබර් 15, 2021

සෞරග්‍රහ මණ්ඩලයේ පිය රජු ලෙස විරුදාවලිය ලත් සූර්ය දිව්‍ය රාජ තෙමේ කිවි හිමි තුලා රාශි ගතවීම 2021.10.17 වැනි දින ඉරිදා සිංහල පැය 17. 37 න් සිදුවේ. එතැන් සිට 2021-11-16 දින දහවල් වන තුරු එහි ගමන් කරන රවි කුජ හිමි සිත නැකැතේ 3-4 පාදත්, රාහු හිමි සා නැකැතේ පාද හතරමත් විසා නැකැතේ 1,2,3 පාදත් ඇසුරු කොට “ සිත, දෙක සා, විසා තුන් පෙද තුලා රැස “ කීවාසේ තුලා රැසෙහි ගමන් කරනු ඇත.

රවි තුලා රැසට පැමිණෙන වේලාවෙහි ශනි හිමි මකර රැස කුජ හිමි මේෂ අංශකය අදාළව පවතින අතරම ලග්න ගතව ගුරු ශනි දෙපළම සිටී. මෙදින පුවපුටුප නැකැතේ පළමු පාදය තිබෙන බැවින් සඳු දෙවැන්නේ කුම්භ රැසෙහි නෙප්චූන් හා එක්ව සිටී. 4 වැන්නේ යුරේනස් ද රාහු 5 වැන්නේ වේ. 9 වැන්නේ කුජ, බුධ ද 10 වැන්නේ රවි දිග්බලවද, 11 වැන්නේ සිකුරු හා කේතු ද සිටී. රවි, කුජ සිකුරු තිදෙනාම වර්ගෝත්තමව ඇත. ගුරු, ශනි මකරයේ නීච භංග රාජ යෝගව සිටීම බලගතුය. ඔක් 18 වැනි දින වක්‍ර බුධ හා ගුරු දෙපළම නිවෘතවේ. ඔක් 22 කුජ තුලා රැසට ද, ඔක්. 30 සිකුරු ධනු රැසට ද, හා නොවැ. 02 දින බුධ තුලා රැසට ද පැමිණේ.

රවි නීච වීමත් රාජ යෝගයක් වන බව හා එහි ප්‍රතිඵල දෙස බලන කල ඒ තුළින් සනාථ වේ. යමකුගේ නිහතමානි බව හා පිරුණු වී කරලේ ස්වභාවයද හිස නමා ගෞරව කිරීමද මොනවට ඔප්පු වේ. තුලා රැසට රවි පැමිණි කල රට වැසියා කෙරෙහි සානුකම්පිතව බැලීම හා ඔවුන්ගේ ඕනෑ එපාකම් අනුව ක්‍රියා කිරීමද රටෙහි ආර්ථිකය ක්‍රමවත්ව මනා ලෙස ගෙන යාමට උත්සහ කිරීමත්, සම්පත් දායකත්වය සොයා කටයුතු කිරීමත් මේ කාලය තුළ සිදුවනු ඇත. විදේශාධාර ලැබෙනවා පමණක් නොව විදෙස් ආයෝජනය වැඩි වීමත් පෙන්වයි. වරද කළ අයට දැඩි දඩුවම් දෙන නව නීති සම්පාදනය කෙරෙන අතරම විද්‍යාත්මක පොත්පත් පරිශිලය වීමත් නව ඖෂධ සොයා ගැනීමත් ඉහළ යනු ඇත. පතල් කර්මාන්තයේ සහ විදුලිය සම්බන්ධවද, මුහුදු යාත්‍රා ගමන් වලට ද අහිතකර බලපැම් ඇති කරවයි. නීති විශාරදයකුගේ, පැවිදි උතුමකුගේ අභාවයක් ගැනද අසන්නට ලැබේ. රාජ්‍ය අංශ ප්‍රධානින්ට රාජකාරී බහුලවේ. ඇමැති මණ්ඩලයේ වෙනසකටද හේතුවෙයි. ස්ත්‍රී පක්ෂය කෙරෙහි රජයේ අවධානය වැඩිවේ. කලා ක්ෂේත්‍රය නංවාලීමට නව වැඩපිළිවලක සැකසේ. වාහන අනතුරු වලට තිබෙන ඉඩකඩ වැඩිවේ. පරිස්සමින් වාහන පදවන්න. විශාල ගොඩනැඟිලි වලට හානිදායකයි.

 

කලාභුෂණ වැලිගම

කේ. එච්. ධනපාල

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.