අනවසරයෙන් ඇතුළු වන්නන්ට දඬුවම මරණයයි...

ජනවාරි 4, 2019

සන්සුන් වූත්, සුන්දර වූත් ඒ ළගන්නා සුළු ගම්මානය කරා සිම්ජාත්, ඔහුගේ සගයින් ඇතුළු සේනාවත් පැමිණෙන විට මධ්‍යහ්නයට ආසන්න විය. කිසිදු අවසරයකින් තොරව සතුරු සෙනග එම ගම්මානයේ නිවාස වල දොරවල් හැර දමමින්, වතු වල ඇවිදිමින් සැඟවී සිටි මිනිසුන් සෙවූහ. එහෙත්, ඒ වන විටත් ඒ කුඩා ගම පාළුවට ගොස් තිබුණි. එකදු මිනිසෙක් හෝ ගෘහාශ්‍රිත සත්වයෙක් හෝ දක්නට නොවීය. අවම වශයෙන් ගම්මානයට මදක් ඉහළින් තනා තිබූ ධාන්‍යාගාරයේ පවා බිම විසුරුණු වී ඇට සහ ඉරිඟු ඇට කිහිපයක් හැරෙන්නට ධාන්‍ය අහුරක් වත් නොවීය. සෙබළුන් එම ගම්මානය පරීක්ෂා කරද්දී, පිරිසෙන් වෙන්වූ ජාගෙන්, සෙමෙන් තනිවම ගම්මානය හොඳීන් පෙනෙන ගල් පොත්තකට ගොඩ විය.

ගම්මානය ආසන්නයෙන් සාගරය වෙත ගලාගිය කුඩා ගංගාව නිසා මෙම ගම්මානය බස්නාපුර නමින් එකල හඳුන්වනු ලැබීය. ළං ළංව පිහිටි කුඩා නිවාස වලින් සමන්විත ඒ කුඩා වෙරළාසන්න කඳුකර ගම්මානය ඉතා චාම් වූත්, සුන්දර වූත් ගැමියන්ගේ නිහඬ ජීවන රටාව ගොළු බසින් කියා පෑවේය. බොහෝ නිවාස මැටි සහ වෙරළාසන්න එක්තරා පාෂාණ විශේෂයක් පදම් කර තනාගත් ගඩොලින් බැඳ, මැටි ගසා තිබූ අතර, ගම්මානය මධ්‍යයේ වූ ගම්පති නිවස ගලින් බැඳ සාදා තිබුණි. මෙහි නිවාස තිස් ගණනක් පැවති අතර, ඒවා එකිනෙක මනාව වෙන් වූ දඬු වැටවල් වලින් වෙන්වී තිබිණ. සරුවට වගා කරන ලද ගෙවතු වගාවන් නිසා, මෙහි ගැමියන් ගොවිතැනෙහි දක්ෂයන් බව පෙනී ගියේය.

ගමේ සියලුම නිවාස වලට ජලය ලබා ගනු ලැබූවේ තම තමන්ගේ වතු වල කණින ලද ළිං වලිනි. වෙරළාසන්න වූ නිසාදෝ, එම ළිං වල ජලය තරමක් කිවුල් ගතියකින් යුතු වීය. එම ගම්මානය කරා ගොඩබිමෙන් වැටුණු ගුරු පාරක් වූ අතර, ගම්මානයේ සිට වමට සහ දකුණට විහිදී ගිය තවත් කුඩා අතුරු මාවත් දෙකක් වීය. ස්වයංපෝෂිත වූ ඒ ගම්මානය ඉතා පිරිසිදුව තිබූ අතර, ඊයේ වන තුරු එහි ගම්වැසියන් සිටි බවක් පෙනී ගියේය. එසේම පුදුමයකට මෙන් සෑම නිවසකම දොරෙහි වූ යතුරු, එම නිවාස වල දොරවල් වල යතුරු කටවල් වලම තබා ගොස් තිබිණ. නිවැසියන්, සතුරු සේනාවට කැමැත්තෙන්ම නිවාස පිරිනැමුවාක් මෙනි. ඒ නිසා කිසිදු අපහසුවකින් තොරව, සතුරු සේනාවට දොරවල් විවෘත කරගෙනම නිවාස වලට ඇතුළු වීමට හැකියාව ලැබී තිබිණ.

මෙහිදී නිවාස පිරික්සා කර බැලු හරේරා, කෝපයෙන් දත්මිටි කමින් සිය සගයින් දෙස බැලීය. “මේකෙ එක හෙළයෙක් වත් නැහැ. උන් බයෙන් මකබෑවිලා ගිහින්. අනික ගමේ බලු බල්ලෙක් වත් දකින්නට නැහැ. බයේ ගැහෙන මහ ලොකු හටන් කාරයො. මට අහු වුණොත් උංව...”

ක්‍රෝධයෙන් ගැහෙමින් හරේරා නිවාස වල මිදුලේ කෙළ ගසමින්, සාප කරමින් එහා මෙහා සක්මන් කළේය. හරේරා සමග එහි පැමිණ සිටි ඔහුගේ අමානුෂික කාන්තාර වාසී සෙබළුන් ද, තමන් අපේක්ෂා කළ පරිදි හෙළයින් මරා දැමීමටත්, රූමත් හෙළ යුවතියන් හට අතවර කිරීමටත් නොලැබුණු නිසා දැඩි කෝපයට පත්ව සිටියහ. සිම්ජා ද කෝපයෙන් හිස් වුණු ගම්මානය දෙස බලා සිටි අතර, ඉග්ලීස් රජු තියුණු දෙනෙතින් තව දුරටත් වට පිටාව පරීක්ෂා කළේය. මේ සියල්ලටම සිත යටින් සිනාසෙමින් ජාගෙන්, මොවුන්ගේ මේ වියරු හැසිරීම දෙස සාවධානව බලා සිටියේය.

“ බලා සිටීමෙන් පලක් නැහැ. අපි තව දුරටත් හොයමු. මේ නීචයින් කොහෙද සැඟවිලා ඉන්නෙ කියලා. මතක තියා ගනිල්ලා. එක හෙළයෙක් වත් අහු වුණොත් එක වර මරන්නට එපා. හොඳ හැටි වධ දීලා පණ පිටින්ම කන්නට අපේ ලුන්ඩා යෝධයින්ට දෙමු.”

හරේරා සිය සෙබළුන් අමතා ගුගුළේය. පෙනී ගිය අන්දමට නම් දැන් සිම්ජාටත් වඩා හෙළ දේශය යටත් කර ගන්නටත්, හෙළයින් මරා දමන්නටත් සිතා සිටින්නේ හරේරා බව පෙනී ගියේය. ගොඩබිමට බට තැන් පටන්, ඔහුගේ සියලුම කෲර ගතිගුණ ඇවිස්සී ඇතිවාක් සේය. ඒ බව දුටු ඔහුගේ සෙබළුන් සහ හරේරා කැටුව පැමිණි මිනී කන ලුන්ඩා ගෝත්‍රිකයන් ද අමුතුම මාන්නයකින් හැසිරුණෝය. දැන් එම ආක්‍රමණය ඔවුන්ගේ ක්‍රියාවක් ලෙස සිතා සිටියාක් මෙනි. ඒ නිසා කිසිදු විමසීමකින් තොරව මෙම කාන්තාර වාසී මිනීමරුවෝ, සැඟවුණු කිසිවෙකු සොයාගෙන මුළු ගම්මානයම පීරා බැලුහ. මෙහිදී ඔවුන් අතර සිටි සෙබළුන් පූර්ණ ආයුධ සන්නද්ධව, ගම්මානයේ මාර්ග පුරා ඇවිදිමින් සැඟවුණු හෙළ ගෝත්‍රිකයන් සොයද්දී, සිම්ජා, සිය සගයින් සමග නිට්ටෑවුන්ගෙන් ලද සිතියම තීක්ෂණ ලෙස පරීක්ෂා කර බැලීය. ඒ සිතියමෙහි ගම්මානයට ආසන්නයේ කිසියම් ස්ථානයක් රන්වන් හෙළ අක්ෂර වලින් සටහන් කර තිබිණ. ඒ ගැන ඔවුන් සාකච්ඡා කරන අතරතුර, ඔවුන්ගේ සෙබළුන් පිරිසක් සිම්ජා වෙත කඩිනමින් පැමිණියහ. “අවසරයි කුමාරෝත්තමයාණන් වහන්ස... ගම්මානයේ සිට රට මැදට යන මාවතේ සිට ගල් අල්ලා සකස් කළ කඳුකර මාවතක් තියෙනවා. පේන විදිහට එතන වැදගත් යම්කිසි දෙයක් තියෙනවා.”

මෙහිදී සිම්ජා තීක්ෂණ බැල්මෙන් ඔවුන් දෙස බැලූ අතර, කපටි බැල්මෙන් යටි රැවුළ පිරිමදිමින් හරේරා ඔවුන් දෙස බැලීය. “හ්ම්ම්... එහෙනං එතන තමයි උන් සැඟවිලා ඇත්තේ. හොඳයි මිත්‍රවරුනි... ඉක්මණින්ම අපි එතනට ගියොත් උන් පලා යන්නට කලින් අල්ලා ගන්නට පුළුවන් වේවි.”

කිසිවෙක් මෙයට විරුද්ධ නොවූ අතර, සන්නාහ සන්නද්ධ සෙබළුන් කණ්ඩායමක් ගමේ ආරක්ෂාවට රඳවා, අනෙක් දහස් ගණනක් වූ බළ සේනාව සමගින් සිම්ජා ඇතුළු සගයින් ඉක්මන් ගමණින් මාර්ගය ඔස්සේ රට තුළට පා තැබූහ. සුළු වේලාවකින්ම ඔවුන් තුන් මං සලකට පැමිණි අතර, එතැනින් ඉහළට තිබූ මාර්ගය ඉතා පිළිවෙලකට ගල් අතුරා, කාණු යොදා සකස් කර ඇති බව පෙනී ගියේය. මාර්ගය ආරම්භයේ දැවැන්ත ශෛලමය කුලුනු දෙකක් සහිත පුරාතන යුගයේ සෙල්මුවා මකර තොරණක් වූ අතර, එහි ළගන්නා සුළු විචිත්‍ර සියුම් කැටයම් රාශියක් යොදා තිබුණි. එහි මැද වෘත්තයක අර්ධ උන්නත විශාල ස්වස්තික ලාංඡනයක් වූ අතර, එම ස්වස්තික ලාංඡනය දිවා සූර්යාලෝකයෙන් රන් පැහැයෙන් කැළුම් දුන්නේය. දෙපස දැවැන්ත නා ගසින් සෙවණ වූ ඒ මාර්ගය මකර තොරණ තුළින් ගමන් ගෙන, කන්දේ ඉහළට යොමු වී බැස්මකින් නොපෙනී ගියේය. මේ මාර්ගය කෙළවර කිසියම් ප්‍රෞඪ වුත් ගුප්ත වූත් දෙයක් ඇති බව ඔවුන්ට ඉවකින් මෙන් දැනී ගියේය.

“අපි දැන් මේ මාර්ගය දිගේ යමු. මතක තබා ගත යුතුයි. සතුරා නිරන්තරයෙන් අප දෙස බලා සිටින වග. ඒ නිසා අප ලුන්ඩා යෝධයින් කණ්ඩායමක් ඉදිරියෙන් යවමු. ඒ පසුපස අප යමු.”

හරේරාගේ යෝජනාවට සියලු දෙනා කැමැත්ත ප්‍රකාශ කළ අතර, සියලු දෙනා එකා මෙන් වේගයෙන් එම මාර්ගය දිගේ ගමන් ගත්හ. නා ගසින් සෙවණ වී කන්දේ ඉහළට ගමන් ගත් ඒ ශෛලමය මාවත, කඳු ගැටය මුදුනේ යම්කිසි තැනිතලාවක් පසු කර, කන්දේ පහළට ගමන් ගත්තේය. ඒ මාර්ගය කෙළවර, ශෛලමය දැවැන්ත තාප්පයකින් වට වූද, ශෛලමය පඩිපෙළකින් යුතු වූද, කිසියම් දැවැන්ත නගරයක් වැනි ශ්වේත වර්ණ සුදු හුණු පිරියම් කළ ගොඩනැගිලි සමූහයක් පෙනී ගියේය. එහි මධ්‍යයේ වූ දැවැන්තම ගොඩනැගිල්ල මහල් ගණනකින් සමන්විත වූ අතර, සෙල්මුවා තට්ටු ගණනාවක් ඉහළට යොමු වී ගියේය. එහි වහල් තළයේ අතුරා තිබූ ස්වර්ණමය පතුරු ආකාර උළු කැට, දිවා කාලයේ සූර්යාලෝකය වැදීමෙන් ප්‍රදේශය පුරා රන් වන් කිරණ විහිදුවා ලීය. හුස්මක් කටක් ගත නොහැකිව, ඒ දෙස බලා සිටි සිම්ජා ඇතුළු සගයින් එකිනෙකා ගේ මුහුණු දෙස ඉබේම බලා ගත්හ. එම දර්ශනය ඔවුන්ගේ ඇස් අදහා ගත නොහැක්කක් වීය. එය නම්, හෙළ දෙරණේ බලය රැන්දූ, ඉරුගල්තැන්නේ මහා සූර්ය දේවාලය වීය. “එහෙනං මේක තමයි උන්ගෙ රහස. අර සිතියමේ රත්වන් පාටින් ලකුණු කර තිබුණේ ඒකයි. සහෝදර වරුනි... තවත් බලා සිටීමෙන් පළක් නැහැ. යමු. අපි ඒ නගරය අල්ලා ගනිමු...”

මෙසේ කෑ ගැසූ හරේරා සිය තියුණු මුවාතින් යුතු පිහි තලය කොපුවෙන් ඇදගත් අතර, සිම්ජා ඇතුළු සගයින් ද ඔහු අනුගමනය කළහ. ඔවුන් දැඩි උද්‍යෝගයෙන් එම ශෛලමය මාවතේ සූර්ය දේවාලය කරා පියවර කිහිපයක් එසවූවා පමණකි.

“නවතිනු... මෙතැනින් එහාට අඩියක් හෝ නොතබනු... අනවසරයෙන් ඇතුළු වන්නන්ට දඬුවම මරණය...” දෝංකාර නැංවූ ස්වර්ණමය කටහඬකින් ප්‍රදේශය රාව ප්‍රතිරාව නැංවීය.

මතු සම්බන්ධයි.

කතාව
හෙළසිරි ඉඳුනිල් 
මොරමුදලිආරච්චි 
සිතුවම - සමන් ශ්‍රී කාන්ත
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.