සිරිකතට ඉඩ සලසන මුළුතැන්ගෙය

පෙබරවාරි 1, 2019

වාස්තු විද්‍යාව පිළිබඳ කතා කිරීමේදී නිවසේ වඩාත් සිත නතර වෙන තැනක් විදියට මුළුතැන්ගෙය හඳුන්වන්න පුළුවන්. දැන් දැන් බොහෝ සිත පිනවන අංගයන්ගෙන් යුක්තව ස්ථාපිත කරනු ලබන මුළුතැන්ගෙය මොන විදියට වෙනස් කිරීම් සිදු කළත් ප්‍රබල වාස්තු කාරණා මත පිහිටා ඇතුළත වෙනස් කිරීම් පවා අනිවාර්යයෙන්ම සිදු කළ යුතුය.

මන්ද මුළුතැන්ගෙය නිවසේ සිරිකත වෙසෙන තැනයි. ඕනෑම නිවසක මුළුතැන්ගෙයට ගිය කල්හි නිවසේ ගෘහණියගේ වගතුග කියා පෑමට හැකියාව ඇත. එනිසා නිවසට සිරිකත කැන්දා ගැනීමටත් ,පන්නා දැමීමටත් හැකියාව පවතින්නේද නිවසේ ගෘහනිය සතුව බවද දත යුතුය. මේ කාරණා පිළිබඳ අවබෝධයත් සමඟ ඔබ නිවසේ මුළුතැන්ගෙය නිවැරදිව ස්ථාපිත කළ යුත්තේ කුමන දිශාගතවද යන්න නිවැරදි අවබෝධයේ පිහිටිය යුතුය. විශේෂයෙන් උතුරට හෝ ඊශාන යන දෙදිශාවන්ට මොනයම්ම හේතුවක් නිසාවත් නිවසේ මුළුතැන්ගෙය යොමු නොවිය යුතුය. මේ වන විට මුළුතැන්ගෙය උතුරු දිශාවට යොමුවී ඇති නිවසක් නම් ආර්ථික පරිහානියට පත්වීම දිනෙන් දින සිදු වීම ඇති වන්නේය. නිවසට ලැබෙන මුදල්වල ඉතිරියක් නොවන්නේය. කෙසේ හෝ යම් කාරණාවක් යෙදී වියදම් අධික වන්නේය.

එසේම නිවසේ මුළුතැන්ගෙය ඊශාන දිශාවටත් යහපත් නොවන අතරම ඔබ ව්‍යාපාර ආදි කටයුතු පවත්වාගෙන යමින් ලාභ ලබමින් සිටී නම් ඒවා ක්ෂණිකවම බිඳවැටීමට පත්වන බව තරයේ සිහිපත් කළ යුතුය. මුළුතැන්ගෙය සැලකීමේදී එතුළ ප්‍රධාන තැනක් හිමිවන්නේ ගින්දර දල්වන උදුන් වලටයි. විශේෂයෙන්ම නිවසේ උදුන්වල ගිනි දැල්වීම සඳහා ගිනිකොණ දිශාව යොදා ගත හැකිය. ගිනිකොණ තාපයට අධිපති බැවින් ගින්දර හා මිතුරු බවින් යුතු වීමත් නිසා මෙතෙක් ආදායම් මාර්ග වලට පැවති බාධා අවම වී යහපත් ලැබීම් ඇතිවීමට හේතු වෙයි. නිසි තැනට උදුන් යොමු වීමත් නිසා නිවසේ ගිනි ගන්නා ස්වභාවයෙන් ගෙතුළ සාමාජිකයින්ගේ ඇති වන්නා වූ ගැටුම් ද අවම වී නිවැසියන්ගේ මනස ව්‍යාකූල තත්ත්වයන්ගෙන් නිදහස් වනු ඇත. එසේම වයඹ දිශාවත් නිවසේ ගින්දර දැල්වීමට සුදුසු වන්නේය. වායුවට අධිපති බැවින් ගින්දර දැල්වීමට වායු අවශ්‍ය බැවිනුත් මෙම දිශාවන් යහපත් වන්නේය.

තවද නිවසේ සේදුම් බේසම් මුළුතැන්ගෙයි උදුන් ආශ්‍රයේ නොතැබිය යුතුය. අඩුම තරමේ මෙම ද්විත්වය අතර බඹයක හෝ අඩි 6 ක වත් දුරක් පැවතිය යුතුය. මෙම ජල බදුන් ස්ථාපිත කිරීම සඳහා විශේෂයෙන් උතුර හෝ ඊශාන යන දෙදිශාවන් යොදා ගත්තාට වරදක් නොවන්නේය. තවත් බොහෝ දෙනාට ගැටලුවක්ව පවතින තත්වයක් වන්නේ නිවසේ චිමිනියට ඉහළින් වතුර ටැංකියක් ස්ථාපිත කිරීම යහපත්ද යන කාරණාවයි. ආපෝ සහ තෝජෝ යන ධාතුන් ද්විත්වයක් එකිනෙකාට ළංව පිහිටීම වාස්තු විද්‍යාත්මකව අයහපත ගෙන දෙන්නේය. නිවසට ලැබීම් ඇතිවන්නේ කලාතුරකිනි. නිතර නිවසේ පුද්ගලයින් සහ අනෙකුත් ශක්තීන් සමඟ පරස්පර විරෝධතා මතු වේ. ගැටුම් ඇතිවේ. එසේම ඕනෑම මුළුතැන්ගෙයක දර්පණ තල ස්ථාපනය සිදු කිරීමෙන්ද වැළකිය යුතුය. එයද ජන්මීන්ට ප්‍රබල ලෙස දෝෂ ගෙන දෙන්නක් බව තරයේ සිහි තබා ගත යුතුය.

ඡ්‍යොතිෂවේදී වාස්තු විද්‍යාවේදී හස්ත රේඛා ශාස්ත්‍රඥ

කේ.පී.ක්‍රිෂාන්ත පි‍්‍රයදර්ශන සුරවීර

දෙහිඕවිට දු.ක. 078-3905546

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.