නිවසක් ඉදිකරන්න පෙර සිතා බැලිය යුතු කරුණු

ජුනි 14, 2019
ඔබ නව නිවසක් ඉදිකිරීමට බලාපොරොත්තු වන්නේ නම් හෝ පැරණි නිවසට අලුතින් කොටස් එකතු කිරීමට හෝ කුමන ආකාරයක ඉදිකිරීමක් කිරීමට බලාපොරොත්තු වන්නේ නම් ප්‍රථමයෙන්ම කළ යුතු වන්නේ ගෘහ මූලික ඔබගේත් නිවැසියන්ගෙත් ජන්ම පත්‍ර පරික්ෂා කර බැලීමයි. 
ඒ අනුව ගෘහමූලිකව ඒරාෂ්ටක අපල 6,8,12 භාව අධිපතියන්ගේ දශා, අතුරු දශා ආදිය ලබා තිබේද යන්න විශේෂයෙන් බැලිය යුතුය. එවැනි ග්‍රහ පිහිටීම ඇතනම් ආරම්භක නැකත ශුභ වුවත් ලෙඩ දුක්, ධන හානි ආදී කරදර ඇති වී නිවසේ වැඩ කටයුතුවලට බාධක ඇතිවේ. 
 වඳ භාර්යාව සහ දරුවන්ටද මාරක අපල ඇතිදැයි පරික්ෂා කළ යුතුය. 
කෙනෙකුගේ කේන්ද්‍රයේ සිව්වැන්න නිවාස ඉඩකඩම් ආදිය පෙන්නුම් කරන ස්ථානය බැවින් ගෘහ මූලිකව සිව්වැන්න අධිපතිගේ අතුරු දශාවක් ලබා තිබීම සුබඵල දීමට හේතුවේ. තවද එකොළොස් වැන්න අධිපතිගේ මහ දශාවක් සමඟ සිව්වැන්න අධිපතිගේ අතුරු දශාවද සුබ ඵල දීමට හේතු වේ. එසේම දසවැන්න හෝ නවවැන්න අධිපතිගේ මහ දශාවත් සමඟ සිව්වැන්න අධිපතිගේ අතුරු දශාවද සුබදායක වේ. 
සිව්වැන්න ගුරුගේ ස්වක්ෂේත්‍ර රාශියක් හෝ උච්ච රාශියක් වී ගුරුගේ මහ දශාව පැවතීමද නිවස ඉදිකිරීමට සුදුසුය. තව ගෝචරයෙන් ගුරු සිව්වැන්නේ ගමන් කිරිමේදී ගුරුගේ අතුරු දශාවක් පැවතීමද නිවාස ඉදිකිරීම ආරම්භයට සුදුසුය. 
තවද සිව්වැන්න සිකුරුගේ මිත්‍ර උච්ච ස්වක්ෂේත්‍ර රාශියක් වී සිකුරු එහි තැන්පත්ව සිකුරුගේ අතුරු දශාවක් හෝ මහ දශාවක් පැවතීමද නිවාස ඉදිකිරීමට සුදුසුය. කෙසේ නමුත් කුඩා දරුවන්ගේ උපන් නැකත්වලට නිවාස නැකත් නොසෑදිය යුතුය. 
ගෘහ නිර්මාණයේදි විශේෂ අවස්ථා තුනක් වේ. එනම් අත්තිවාරම් කැපීම මුල්ගල් තැබීම සහ ජනෙල් උළුවහු තැබීම යන ත්‍රිවිධ කාර්යයයි. 
මෙයින් අත්තිවාරම් කැපීම සඳහා වාස්තු විද්‍යානුකූලව සුදුසු නැකත් වන්නේ අධෝමුඛ නැකත් ලෙස සැලකෙන පුවපල්, පුවසල, පුවපුටුප , අස්ලිස ,බෙරණ, කැති, මුල ,මා, විසා ආදියයි. 
නිවසක සැලැස්ම වාස්තු විද්‍යාවට අනුකූල විය යුතුයි. මෙහිදී නිවස ඉදිකරන ඉඩමේ දිශාවන් සහ අතුරු දිශාවන් අනුව නිවසේ අභ්‍යන්තර කාමර, එනම් මුළුතැන්ගෙය, නිදන කාමර, වැසිකිළිය, නාන කාමර, සාලය පාඩම්කරන කාමර ආදිය වාස්තුමය දිශාවන් අනුව සැලසුම් කළ යුතුයි. නිවසේ වර්ගඵලයද නිවැසියන්ට ශුඵඵල දෙන ආකාරයට විය යුතුය. 
ඉඩමේ ගිනිකතුර වැටෙන ස්ථානයත් නිවසේ ගිනිකතුර වැටෙන ස්ථානයත් එකිනෙකට සම්පාත නොවිය යුතුය. ඉඩමේ ගිණිකතුර නිවසේ බිත්ති මතට නොවැටිය යුතුය. 
නිවසේ වැසිකිළි මුළුතැන්ගෙය සාලය ඉඩමේ ගිණිකතුරට හසු නොවිය යුතුය. 
වහලයේ යටලීයට පිරිද්දුම බාල්ක කුරුපා, උළුවහු ජනේල ඉඩමේ මැද බ්‍රහ්ම පාදයේ ගිනි කතුරට අසුවීම දෝෂ සහිතය. තට්ටු ගොඩනැගිල්ලක නම් නිවස තුළ පඩි පෙළ බටහිර දිශාවට බැස්මට නොතබන්න. 
නිවසක මැද බ්‍රහ්ම පාදය පසුවන කොටසේ වතුර සහිත මාළු ටැංකි සුදුසු නැත. සැලසුමේ දිශාගත මුළු හිස් නොකර පොළොව යටින් හෝ ගල් දමා සමකළ යුතුය. 
නිවසේ උළුවහු තැබීමේදී ක්‍රම තුනක් අනුගමනය කරයි. එනම් අක්ෂය පාද නවයකට බෙදා තුන්වැනි සහ හතරවැනි පාදවල උළුවහු තැබීම, දෙවැන්න නිවසේ අක්ෂ හතර පාද අට බැගින් බෙදා සුදුසු පාද වල තැබීම, තෙවැන්න නිවස් අක්ෂ පාද පසළොවකට බෙදා සිකුරු, ගුරු, කුජ යන පාදවල උළුවහු තැබීම යන ආකාරයයි. නිවසේ මුළුවල උළුවහු නොතැබිය යුතුය. 
නිවසක් ඉදිකරන භූමිය පිළිබඳවද විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුය. නිවසක් ඉදිකිරිමේදී භූමියේ හැඩය ගැන සැලකිය යුතුයි. විශේෂයෙන් සඳහන් කරන්නේ නම් හතරැස් හෝ චතුරස්‍රාකාර ඉඩම් සුබපල ඇති කරයි. ඊළඟට මුල කොටස පළල්ව අග කොටස සිහින් වී ගිය පතාකයකට සමානවූ භූමියද ශුභඵල දෙන්නකි. 
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
 
ඡ්‍යොතිෂවේදී වාස්තු විද්‍යා උපදේශක 
යාන්ත්‍රික ඉංජිනේරු 
නිශාන්ත විජේසේන
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 18 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.