වාස්තු විද්‍යා ලිපි පෙළෙහි පස්වැන්න ඒකාදශ වර්ගීකරණය හෙවත් එකොළොස් පොරොන්දම

සැප්තැම්බර් 6, 2019

නිවසක් සෑදීම සඳහා සැලසුමක් ඇඳීමට පෙර සුදුසු දිග හා පළල තීරණය කරනු ලබයි.

එම දිග, පළල තීරණය කිරීමේ දී නිවස හිමිකරුගේ ආර්ථික තත්ත්වය, නිවස සෑදීමට වැය කළ හැකි මුදල, ඉඩමේ ඇති බිම් ප්‍රමාණය පවුලේ සාමාජික සංඛ්‍යාව ඔවුන්ගේ අවශ්‍යතා ආදිය ගැන සැළකිලිමත් විය යුතු ය. ඒ සියල්ල මෙන්ම වාස්තු විද්‍යාත්මකව සුබ වර්ගඵලයක් සකස් කර ගත යුතු ය. එබඳු සුබ දිග හා පළල හඳුනා ගැනීමට ඒකාදශ වර්ගීකරණය හෙවත් පොරොන්දම් 11 ක් පරීක්ෂා කර බලනු ලැබේ. එම පොරොන්දම් 11 මෙසේ ය.

1. අය පොරොන්දම

2. වැය පොරොන්දම

3. යෝනි පොරොන්දම

4. නැකැත් පොරොන්දම

5. දින පොරොන්දම

6. අංශක පොරොන්දම

7. රාශි පොරොන්දම

8. තිථි පොරොන්දම

9. වංශ පොරොන්දම

10. දේවතා පොරොන්දම

11. ආයුෂ පොරොන්දම

ගෘහ පිණ්ඩය අනුව පොරොන්දම් පරීක්ෂා කිරීමේදී මේ සියලුම පොරොන්දම් සුබ වන්නේ නැත. එහෙත් පොරොන්දම් වැඩි ප්‍රමාණයක් සුබ වන්නේ නම් එම නිවස සුබ නිවසක් වේ.

 

“බහු ගුණං ලඝු දෝෂ සමත්ථිතම්

භවන දේව ගෘහාධික මිෂ්‍යතෙ

ජලල වෙන ශිඛී බහුතාපවාන්

න ශමමේනි ගුණෛරධිකො යතඞ

 

යනුවෙන් වාස්තු රාජ වල්ලභයෙහි දැක්වෙන්නේ බොහෝ ගුණය හා ස්වල්ප දෝෂ සහිත ගෘහ මන්දිරය පසස්නා බවයි.

ඔබ නිවසක් ඉදිකිරීමේ දී සුදුසු වාස්තු ශිල්පියෙකුගේ සේවය ලබා ගනිමින් නිවැරැදි හා සුබ ගෘහ පිණ්ඩයක් සහිතව නිවාස සැලසුම සකස් කර ගැනීම කළ යුතු ය. එවිට එම නිවසේ වසන ඔබගේ ජීවිතවලට දියුණුව උදා කරගත හැකි වනු ඇත.

නිවසේ දිග හා පළල වඩුරියන් ක්‍රමයට ගෙන, එම දිග, පළල එකිනෙක ගුණකොට වර්ග රියන් ප්‍රමාණය සොයා, එය ගණිතමය වශයෙන් බෙදා, ලැබෙන ශේෂය අනුව මෙම නිවාස පොරොන්දම් පරීක්ෂාව කරනු ලැබේ.

 

1. අය පොරොන්දම

වර්ගඵලය 8 න් ගුණකොට 12 න් බෙදූවිට ලැබෙන ශේෂය අනුව මෙම අය පොරොන්දම තීරණය කෙරේ. ශේෂය 6 ට වැඩිනම් සුබ වන අතර 6 ට අඩු නම් අසුබ ලෙස සැළකේ.

අලංකාර වස්ත්‍ර, ආරක්ෂා සපයන ආයුධ ඥානය, ප්‍රඥාව වඩන පුස්තක බත බුලත් ආදී ධන ධාන්‍ය, සශි‍්‍රක භූමි භාග, අර්ථ, ධර්ම, කාම, මෝක්ෂ යන චතුර්විධ සැප ලබා දෙන සුවච භාර්යාවක් දෙලොව වැඩ පිණිස හේතුවන විද්‍යාවන් ගව, මහිෂ, ඇත්, අස් ආදී සත්වයන් ස්වර්ණ පළඳනා ආදිය මේ ධන සම්පත්වලට අයත්වන බව.

පස්ත්‍රාණි ශස්ත්‍රණීච පුස්තකානි

ද්‍රව්‍යානි ධාන්‍යානී වසුරන්දරාච

කුටුම්භ විද්‍යා පශු වාටිකානි

භාණ්ඩානි භූෂාණි ධනානි ඛාදශ යන ශ්ලෝකයෙන් දැක්වේ.

2 වැය පොරොන්දම

වර්ගඵලය 9 න් ගුණකොට 10 න් බෙදීමෙන් ලබන ශේෂය 5 ට අඩුනම් සුබය. 5 ට වැඩි නම් අසුබය. 5 නම් මධ්‍යමය.

3. යෝනි පොරොන්දම

වර්ගඵලය 3 න් ගුණකොට 8 න් බෙදීමෙන් ලබන ශේෂය අනුව නිවසට අයත් යෝනිය සොයා ගත හැක. ඒ අනුව ශේෂය 1, 3, 5, 7 සුබ වන අතර අනෙක්වා අසුබ වේ.

4. නැකැත් පොරොන්දම

වර්ගඵලය 8 න් වැඩි කර 27 න් බෙදීමෙන් ලබන ශේෂය අනුව නැකත තීරණය වේ. ඒ අනුව ලබන ශේෂය 1 නම් පුෂ නැකත 2 නම් විසා නැකත 3 සියාවස 4 මුවසිරස 5 හත 6 උත්‍රසල 7 බෙරණ 8 මා 9 දෙට 10 උත්‍රපුටුප 11 පුනාවස 12 සා 13 දෙනට 14 රෙහෙණ 15 උත්‍රපල් 16 පුවසල 17 අස්විද 18 අස්ලිස 19 අනුර 20 පුවපුටුප 21 අද 22 සිත 23 සුවණ 24 කැති 25 පුවපල් 26 මුල 27 රේවතී වෙයි.

මෙහි 1, 3,4,6,8,10,12,13,15,17,19,21,22,24,26 යන නැකැත් අසුබ වේ. 2,5,7,9,11,14,16,18,20,23,25 යන නැකැත් සුබය.

මෙසේ නැකැත් පොරොන්දම පරීක්ෂා කිරීමේ දී ලැබෙන නැකත සුබ එකක් වුවද යෝනි පොරොන්දමට අදාළ යෝනිය අසුබ යෝනියක් වන්නේ නම් නැකැත් පොරොන්දම සුබ වුවද එම දිග, පළල නිවස ඉදි කිරීමට සුදුසු නොවේ. ඒ ඒ නැකැත්වලට සතුරුවන යෝනි මේවාය.

දෙනට, පුවපුටුප, උත්‍රපුටුප, සියාවස නැකැත්

සිංහ යෝනිය සමඟ සතුරුවේ.

අනුර, දෙට, මුල, පුවසල යන නැකැත්

ධ්වජ යෝනිය සමඟ සතුරු වේ.

මා, පුවපල්, උත්‍රපල්, හත යන නැකැත්

ගජ යෝනිය සමඟ සතුරු වේ.

කැති, රෙහෙණ, මුවසිරස, අද යන නැකැත්

වෘෂභ යෝනිය සමඟ සතුරු වේ.

5. දින පොරොන්දම

වර්ගඵලය 9 න් ගුණකොට 7 න් බෙදීමෙන් ලැබෙන ශේෂය අනුව දින පොරොන්දම තීරණය කෙරේ. ශේෂය 1 නම් සඳු 2 නම් බුධ 3 නම් සිකුරු 4 නම් රවි 5 නම් කුජ 6 නම් ගුරු 0 නම් සෙනසුරු වේ. මෙහි සඳු, බුධ, සිකුරු, ගුරු සුබපල උදා කරන අතර රවි, කුජ, ශනි, අසුබය. එමෙන්ම බුධ සමඟ සිංහ යෝනියද, කුජ සමඟ ගජ යෝනිය ද, රවි සමඟ වෘෂභ යෝනියද, ශනි සමඟ ධ්වජ යෝනියද සතුරු වන බැවින් ඒවා එකට නොයෙදෙන ලෙස දිග, පළල ගත යුතු ය.

අංශක පොරොන්දම

අංශක පොරොන්දමේ දී වර්ගඵලය 4 න් වැඩිකොට 9 න් බෙදිය යුතු ය. එවිට ලැබෙන ශේෂය 1 නම් අර්ථ, 2 - අර්ථ හීන, 3 - බල, 4 - දුබල, 5 - භුත, 6 - ධාන්‍ය, 7 - නස්කර, 8 - නෘපති, 9 - ප්‍රේත වේ. මින් 1, 3, 5, 6, 8 සුබ වන අතර 2,4, 7, 9 අසුබය.

රාශි පොරොන්දම

වර්ගඵලය 5 න් ගුණ කර 12 න් බෙදීමෙන් ලැබෙන ශේෂය 1 නම් මේෂ, 2 - වෘෂභ, 3 - මිථුන, 4 - කටක, 5 - සිංහ, 6 - කන්‍යා, 7 - තුලා, 8 - වෘශ්චික, 9 - ධනු, 10 - මකර, 11 - කුම්භ, 12 - මීන වේ. මේවායින් වෘෂභ, මිථුන, සිංහ, ධනු, කුම්භ යන රාශි සුබදායකය. අනෙක් රාශි අසුබපල උදා කරයි. කුම්භ සහ මීන, සිංහ, යෝනිය සමඟ වෘශ්චික සහ ධනු ධ්වජ යෝනිය සමඟ ද සිංහ හා කන්‍යා ගජ යෝනිය සමඟ ද වෘෂභ හා මිථුන ගව යෝනිය සමඟ සතුරු වන බැවින් එම රාශි හා යෝනි එකට නොයෙදෙන ලෙස යොදා ගැනීම සුදුසු ය.

තිථි පොරොන්දම

වර්ගඵලය 9 න් ගුණ කර 30 න් බෙදීමෙන් ලැබෙන ශේෂය යෝනි පොරොන්දමෙන් ලැබෙන යෝනිය සමඟ සතුරු නම් පමණක් මෙම තිථි පොරොන්දම අසුබ වේ. එසේ නොවේ නම් සුබ ලෙස සැළකේ. ඒ අනුව,

4, 9, 14, 19, 24, 29 සිංහ යෝනිය සමඟ සතුරුය.

3, 8, 13, 18, 23, 28 ධ්වජ යෝනිය සමඟ සතුරුය.

2, 7, 12, 17, 22, 27 ගජ යෝනිය සමඟ සතුරුය.

1, 6, 11, 16, 21, 26 වෘෂභ යෝනිය සමඟ සතුරුය.

5, 10, 15, 20, 25, 0 යන තිථි කිසිදු යෝනියක් සමඟ සතුරු නොවේ.

වංශ පොරොන්දම

මෙහිදී වර්ගඵලය 3 න් ගුණකර 4 න් බෙදීමෙන් ලැබෙන ශේෂය 1 නම් බ්‍රාහ්මණ 2 නම් ක්ෂත්‍රිය 3 නම් වෛශ්‍ය 4 නම් ශුභ වේ. මෙහි ශුද්‍ර පමණක් අසුබ වේ.

දේවතා පොරොන්දම

වර්ගඵලය 5 න් ගුණකර 3 න් බෙදූ විට ලැබෙන ශේෂය 1 නම් බ්‍රහ්ම 2 නම් විෂ්ණු 3 නම් ශිව එම ගෘහයට අධිපතියා ලෙස සැළකෙයි. බ්‍රහ්ම, විෂ්ණු සුබ වේ.

ආයුෂ පොරොන්දම

වර්ගඵලය 27 න් වැඩිකර 100 න් බෙදීමෙන් ලැබෙන ශේෂය 50 ට වැඩිනම් සුබවන අතර 50 ට අඩුනම් අසුබ ලෙස සැළකේ.

ඡ්‍යොතිෂවේදී, වාස්තු විද්‍යා උපදේශක

කපිල ඉන්ද්‍රික ගුණදාස

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.