නිවසට අදාළව දැනගත යුතු වැදගත් කරුණු

ජූලි 10, 2020

නිවසේ ප්‍රධාන උළුවස්ස තිබෙන බිත්තියේ උස මෙන් දෙගුණයක් ගේ වටා ගෙමිදුල තිබිය යුතු බව වාස්තු විද්‍යාවේ සඳහන් නියමයකි. උතුර දිසාවෙන් නියෝජනය කරන්නේ අපේ රැකියාව හා ආදායමයි. එහෙයින් නිවසේ ඉදිරිපස උතුර දෙසින් කටු සහිත ශාක නොවවා කෙටි උසක් ඇති මුල් අධිකව නොයන ශාක සිටුවිය යුතු යි. පැඟිරි වර්ගයට අයත් දෙහි, දොඩම් ආදී ගස්ද උල් සහිත පත්‍ර තිබෙන ගස්ද, එහි නොවැවිය යුතුයි.

දකුණු දිශාව බලපාන්නේ ප්‍රසිද්ධිය සඳහා ය. මෙහි ද කටු ගස්, උල් පත්‍ර සහිත ගස් පැඟිරි වර්ගයේලා ගැනෙන ගස් වර්ග නොවැවිය යුතු ය. උතුර නැගෙනහිර දිශාවන්හි රවුම් පත්‍ර සහිත ගස් සිටුවීම සුදුසුයි. උසින් යුක්ත නොවන මිටි ප්‍රමාණයේ ගස් වර්ග සිටුවීම ශුභපල ගෙන දෙවයි.

ධනයට අධිපති ගිනිකොණ දිශාවේ උඳුපියළිය වැනි කෙටි ශාක වර්ග, පඳුරු ගස් වර්ග, පලතුරු වර්ග ආදිය සිටුවීමෙන් නිවසට ශාන්තියක් සෙතක් සැලසෙනු ඇත.

සුදුපාට මල් සහිත ශාක වර්ග, උතුර හා ඊසාන දිශාවන්ට යහපත් ය. නිල් පාට මල් සහිත ශාක ද සුදුසුයි. එමගින් නිවසට මහා විශ්ව ශක්තියක් ගෙන දෙවයි. නැගෙනහිර හා ගිනිකොණ දිශාවන්ට රතුපාට තැඹිලි පාට, රෝස පාට මල් සහිත් ගස් වැවීම යහපත් ය. කහපාට වර්ණයෙන් යුත් මල් ගස් සුදුසු වන්නේ දකුණ හා නිරිත දිශාවන්ටයි. මල් වැවීම සඳහා සුදුසුම දිනය සිකුරාදා දිනය වන්නේ ය.

නිවසේ ප්‍රධාන දොරටුව අසළ විශාල වෘක්ෂයන් වැවීම නුසුදුසු ය. එමගින් විශ්ව ශක්තිය හීන කරවන බව ප්‍රකාශ වේ. කටු සහිත ගස් වර්ග, පැඟිරි වර්ගයට අයත් ගස් වර්ග, කිරි සහිත ගස්, රතුපාට මල් ගස්, තැඹිලි පාට මල් ඇති ගස්, අරලිය ගස්, තැඹිලි ගස් ප්‍රධාන දොරටුව කෙළින් හෝ නිවස ඉදිරිපිට මිදුලේ වැවීම අශුභයි. එමෙන්ම දිගටි කෙඳි සහිත රාත්‍රී කාලයේ නිදාගනු ලබන ගස් වර්ග ද, අශුභ ඵල ගෙන දෙවයි. කිරි සහිත මල් වර්ග ද ශුභ නැත.

නිවසේ පොකුණක් ඉදිකරන්නේ නම් ඒ සඳහා සුදුසු වන්නේ උතුර, ඊශාන හා නිරිත දිශාවන් ය. නිවස අභ්‍යන්තරයේ නම්, නිවසේ මුළු හෝ මැද ඒ සඳහා යොදා නොගත යුතු ය. නිවස අභ්‍යන්තරයේ දිය ඇළි ද අවශ්‍ය නම් එම දිශාවනට අනුව නිර්මාණය කර ගැනීම අශුභ නොවේ. අඹන ලද රූප, අගපසඟ අඩු රූප, කාන්තා රූප හා කොක්කුන්ගේ රූප, නිවස ඇතුළත සුදුසු නොවේ. එහෙත් අවශ්‍යම නම්, එවැනි රූප නිරිත දිශාවේ තැබීම වරදක් නැත. නිවසේ ප්‍රධාන දොරටුව කෙළින් ඒවා තැබීම කිසිසේත් සුදුසු නැත.

නිවස තුළ බිත්ති තද වර්ණ නැතිව සුදු, ලා කොළ වැනි වර්ණයන්ගෙන් යුත් පින්තූරවලින් සරසා ඇත්නම් වඩාත් උචිතයි. ඒවා අතුරින් කුරුලු රූප ඉතාම ශුභපල ගෙන දෙවයි. නිවසේ පියගැට පෙළක් වෙතොත් එය යොදා ගත යුත්තේ පොළොව මට්ටම අනුවයි. පිය ගැට ප්‍රමාණයය, දෙකෙන් බෙදෙන ඉරට්ටේ සංඛ්‍යාවක් විය යුතු ය. නිවසේ ගෙවත්තේ උතුර, නැගෙනහිර,ඊශාන දෙසින් පාෂාණ (ගල්) කුට්ටි නොතැබිය යුතු ය. නිරිත දිශාවට ගල් යෙදීම වරදක් නැත. ගල් තැබීමේ දී උල් සහිත හෝ ත්‍රිකෝණාකාර ගල් යෙදීම අශුභඵල ගෙන දෙන අතර රවුම් හා ඕවලාකාර ගල් යෙදීම ශුභ ඵල ගෙන දෙවයි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

වාස්තුවිද්‍යාවේදී, ඡ්‍යොතිර්විද්‍යාශූරී
ආයුර්වේද වෛද්‍ය, ආචාර්ය
ප්‍රභාත් සී. ඒ. ගමගේ

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.