ගෘහාරම්භයේදී කළ යුතු වත් පිළිවෙත්

සැප්තැම්බර් 25, 2020

ගෘහයක් ස්ථාපිත කිරීමේදී පැරැණි අය විසින් පිළිපදින ලද නොයෙක් වත් පිළිවෙත් ඇත. නැකැත්කරු විසින් හෝ පාද බෙදීම කරන ශිල්පියා විසින් හෝ එම කරුණු කල් ඇතිව කියාදෙනු ඇත. 

වර්තමානයේ එසේ දැනුවත් කිරීමක් නැත. ඒ නිසා වර්තමානයේ නිවාස ඉදිකරන තරුණ පිරිසට එම කරුණු පිළිබඳ දැනුමක් ඇත්තේම නැත. ඇතැම් තැන්වල ගෙවල් පාද බෙදීම හා මුල්ගල් තැබීම කරන අවස්ථාවල එක් එක් අයට සිතෙන විදියට කටයුතු සිදුවන බව පෙනේ. අද ඇතැම් තරුණ පිරිස් තමන්ගේ නොදන්නාකම වසා ගැනීමට පැරැණි සිරිත් විරිත් දෙස අවඥාසහගතව බලන්නට පුරුදු වී සිටිති. ඇතැම් වැඩිහිටි අය පවා තමන් කරුණු හරිහැටි නොදන්නා බැවින් කෙරෙන විදියක් හොඳයි කියා සිතති. එසේම සිතීම යුතු නැත. බිත්තියක් බැඳීම වැරදි නම් එය කඩා බිඳ දමා නිවැරැදිව බඳින්නට හැකිය. ගෙයක් සෑදීමේ මුල් අදියරේම ශාස්ත්‍රීයමය හෝ චාරිත්‍රමය දෙසක් ඇති වුවහොත් ඒවා නිවැරැදි කිරීමේ ක්‍රම වේදයක් නැත. ඒ පැරැණි චාරිත්‍ර වත්පිළිවෙත් ආදියේ වැදගත් අරුතක් තිබෙන්නට ඉඩ ඇත. ඒවා පිළිපැදීමෙන් ඔබගේ නිවෙස දෝෂ රහිතව ඉදිකර ගත හැකිවේ. 

නිවාසයක් ස්ථාපිත කිරීමට නියමිත දිනට පෙරදින රාත්‍රියේ කරනු ලබන වත් පිළිවෙත් ඇත. අදාළ ඉඩමේ බහිරව දෝෂ ඇතැයි සිතා එම දෝෂ දුරු කිරීමට බහිරව පූජා පැවැත්වීමට සමහරු පෙලඹෙති. ඒවා කරන්නට සැදී පැහැදී සිටින මන්තරකාරයෝ ද වෙති. ඔවුන් ගැන කිසි විශ්වාසයක් නැත. එම කටයුත්තේ අවම ගාස්තුව රුපියල් 50000 ක් පමණ වේ. මත්වතුර බී බෙරයක්ද යොදා ගෙන ඔවුන් කරන්නේ බහිරව පූජාවක් නොව තොවිලයකි. 

ඔබට උපදෙස් දෙන උපදේශක නෑ හිතවත්තු කොතෙකුත් සිටිය හැක. ඒ කවුරුන් කියන දේත් අසාගන්න. ඒ සියල්ලටම වඩා ඔබේ ආත්ම බුද්ධිය සෙත සලසන බව සිතන්න. බහිරව තොවිල් කරන්නට අවශ්‍ය නැත. නැකැත් දිනට පෙර දින රාත්‍රියේ එම ගෙපළට යන්න. එහි හතරමුල්ලේ පහන් පැල් හතරක් සාදන්න. ඒවායේ පහන් දල්වා මල් පහන් සුවඳ දුම් ආදිය පූජාකර පන්සිල් සමාදන්ව තෙරුවන් නමදින්න. ඉන්පසු දෙවියන්ටත් මෙම ස්ථානය අරක්ගත් භූත ප්‍රේත පිශාච බහිරව ආදීන් ඇතොත් ඒ හැමටත් පින් අනුමෝදන් කරන්න. මෙම ස්ථානය අරක්ගත් භූත පේ‍්‍රත බහිරව ආදීහු මේ පින් අනුමෝදන්ව සුවයට සැපතට පැමිණෙත්වා. අප කරන සද්ක්‍රියාවට බාධක නොයෙදී යහතින් කරගන්නට ඉඩ සලසා ඒ හැම දෙනාම මේ භූමි පරාසයෙන් බැහැර වෙත්වා” කියා ප්‍රාර්ථනා කරන්න. ඔබේ සිතුම් පැතුම් ඉටු වේ. 

ගෙය පාද බෙදන ශිල්පියා කලින් හමුවී අවශ්‍ය වන දේ විමසන්න. ලී උල් (කූඤ්ඤ) නූල් ,අල්පෙනෙති, කටු අවශ්‍ය ප්‍රමාණයන් ඔහු කියාවි. ඒවා රැස්කර තබන්න. 

මුල්ගල් තබන අවස්ථාවේ සෙත්පිරිත් සජ්ඣායනා කළ යුතුය. ඒ සඳහා ආසන්න විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලාට හෝ පිරිත් කියන ගිහි මහත්වරුන්ට ආරධනා කළ යුතුය. පිරිත් කීමේ වත්පිළිවෙත් ඒ අය විසින් පවසනු ඇත. ඒ අනුව කටයුතු කරන්න. පිරිත් කීම වාස්තුභූමිය තුළම කරන්නට ඇතැම් අය සැරසෙති පිරිත් කීම කළ යුත්තේ වාස්තු භූමියෙන් පිටත සිටය. 

මුල්ගල් තැබීමට මුල්ගල්වලට තැන්පත් කළ යුතු ද්‍රව්‍යයන් ඇත. ඒ වර්ග සොයා ගැනීම අපහසුය. අද ව්‍යාපාරික මට්ටමින් නිෂ්පාදනය කරන නිධන්ගල් හා ඒවාට යොදන ද්‍රව්‍ය පැකැට්කර ඇත. නිධන් ගල් හා එම ද්‍රව්‍ය රැගෙන නිධන් ගල් සකසාගත හැකිය. 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>  

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
17 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.