අති පාරිශුද්ධ බ්‍රහ්ම පාදය ගැන දැන ගනිමු

ජනවාරි 8, 2021

නිවෙසක හරි මැද හඳුන්වන්නේ බ්‍රහ්ම පාදය යනුවෙනි. එසේම නිවෙසක අතිශය වැදගත් ස්ථානය වන්නේ ද මෙතැනය. නිවෙසේ පිරිසුදුම, පූජනීයම තැනය. මෙවර විශේෂාංගය වෙන්නේ බ්‍රහ්ම පාදයේ ඇති සුවිශේෂතාව පිළිබඳ නිරවුල් අවබෝධයක් ඔබට ලබා දීමට ය.

ඉඩමේ මෙන්ම නිවෙස ඇතුළතද, ප්‍රේත පාදය, මනුෂ්‍ය පාද ක්ෂේත්‍ර චතුර්විධය. සතරකි. විවිධ හැඩතලවලින් නිර්මාණය කරන ලද නිවාස තුළ බ්‍රහ්ම පාදය සෙවීමේ දී සූත්‍රයේ දී නිවෙසේ මුල්ලෙන් මුල්ලට ගසන රේඛා දෙක අනුව බ්‍රහ්මපාදය සෙවීමේ ක්‍රමවේදය සොයා ගැනීමට හැකි වේ. මේ මූල සූත්‍රයට අනුව කිනම් හැඩතලයන්ට හසු වී ඇති නිවෙසක් හෝ සැලසුමක් ආයත චතුරශ්‍රයක් බවට පත්කර ගැනීම අනිවාර්ය වේ. අත්තිවාරමක් නම් මුල්ලෙන් මුල්ලට ලණු කතිරය ඇද ගැනීමෙන් මධ්‍ය ලක්ෂ්‍යය පැහැදිලි වන්නේ ය. මෙය ඉතාම නිවැරැදි බ්‍රහ්මපාදයි. මෙය රූ සටහනෙන් පැහැදිලි කර ඇත. ඉතාම පැරැණි නිවාසවල බ්‍රහ්මපාදය වී වේලන අංගණයක් බවට පත්කර තිබිණි. එය මැද මිදුල නමින් ද හැඳින්විය. බ්‍රහ්මපාදය අවහිර නොවන සේ තිබිය යුතු යි.

බිත්තිවලින් සිර වීම, ස්ථම්භයකින්, කුලුනකින් තද වීම, තරප්පු පේළියක් ආරම්භ කිරීම එයට ප්‍රධාන දොරටුව එල්ල වීම, වැසිකිළි කැසිකිළි සෑදීම, බ්‍රහ්මපාදට අසුවන කොටසේ වහලය විවරව අහස පෙනෙන සේ විවෘතව තැබීම, ශීතකරණ (මළ සතුන්ගේ මාංස තැන්පත්ව ඇති) අධි ශීතකරණ තැබීමද, බ්‍රහ්ම පාදය මැදින් කොට බිත්තියක් හෝ උස බිත්තියක් බැඳ තිබීම, බ්‍රහ්මපාදයට හසුවන සේ දොරවල් තැබීමත්, බිත්ති සන්ධි එක් වීමත් කොරිඩෝ තැබීමද, කෑම මේස, ගෑස් ළිප් තැබීමද, ළිඳ පිහිටීමත් ඉතාම අසුබ බැව් දක්වා තිබේ.

ධන හානි, රෝග පීඩා, ව්‍යාධි කායික මානසික කරදර, පවුල් අවුල් වීම, යුගදිවියේ ගැටලු වෙන්වීම් ආදිය ඇති වන බැව් සත්‍යයකි. නිවෙසේ සාලය මධ්‍යයට හසුවීමෙන් නිතර පාදවලට පෑගීමද අසුබය. සමහර නිවාසවල එතැන සැහැල්ලු රුක්කලා මල් බඳුන් තබයි. එය එතරම් සාර්ථක නොවේ.

බ්‍රහ්ම පාදය තුළ ජල පොකුණක් නිර්මාණය කළද එහි මාළුවන්ද ඇති කිරීමෙන් උන්ගේ අපද්‍රව්‍යවලින් අපිරිසුදු වීම නිසා බ්‍රහ්ම පාදය තුළ වැරැදි දෝෂ කීපයක්ම හට ගැනේ. මුලින්ම සැලසුම් නොකර නිර්මාණය කරන ලද්දක් නිසා පසුවට වාස්තු දෝෂයන් හට ගැනේ. පඩික්කමක් වැනි දෙයක් වුවද බ්‍රහ්මපාදය තුළ තිබීම දෝෂ සහගතයි.

ගෙහිමියාට බ්‍රහ්මපාදය පෑගීම එතරම් දෝෂ සහිත නොවන බැව්ද ඇතැම් අය දරන මතයකි. වෙනත් බ්‍රහ්මපාදය නිර්මිත වනුයේ පිරමීඩයක හැඩ තලයකිනි. එකී අතිශයින්ම සුද්ධ වූ විශ්වීය ජීව ශක්තිය අවකාශය හරහා කාන්දු වන බ්‍රහ්මපාදය පූජනීය තැනකි.

ධාතු කරඬු ආගමික වතාවත්හි යෙදීම, විවිධ ආගමික බැතිමතුන්ගේ නිවාස තුළ ඔවුන්ගේ ශාස්තෘවරුන්ගේ චිත්‍ර මූර්ති තැබීම, පුද පූජා කටයුතු කිරීමට ද ඉතාම සුබදායක වේ. කොග්ගල මහා ප්‍රාඥයා වූ ශ්‍රේෂ්ඨ මහ ගත්කතුවරයාණන්වූ මාර්ටින් වික්‍රමසිංහ සූරීන්, ලේඛනයේ (ලිවීමේ) යෙදුණේ සිය නිවෙසේ බ්‍රහ්ම පාදය ආශි‍්‍රතව ලොකු ලියන මේසයක් තබා පුවරුවක දෙපා තබාගෙන බැව් පැහැදිලිය. දැනට එතුමාගේ නිවෙස ජන කෞතුකාගාරයකි.

සමහර නිවාස තුළ බ්‍රහ්මපාදයේ මේස, කබඩ්, රාක්ක, ටීපෝ මෙන්ම කලාත්මක භාණ්ඩ තබා ඇත්තේ ය. මෙම ස්ථානය ආවරණය කර තැබීම එතරම් යහපත් නොවේ. නිරාවරණය වීම සුබ වේ. ශුද්ධ වූ තැනකි බ්‍රහ්මපාදය, නිවෙසේ බ්‍රහ්මපාදය නිරන්තරයෙන්ම අතිශයින්ම පවිත්‍රව, නිදහස්ව තිබිය යුතු බැව් වාස්තු විද්‍යාවේ සඳහන්ව ඇත්තේ ය. එසේම වසා තැබීමද බරපතළ දෝෂයකි. නිරාවරණය වූ බ්‍රහ්මපාදය සතුන් ලැගීම, කුණු අපද්‍රව්‍ය නිතර එකතු වීම බරපතළ දෝෂයක් බැව් සඳහන් කරමු. බුද්ධිමත්ව කල්පනා කරන විටදී කිසිදු දෝෂයක් නොමැතිව සර්ව සම්පූර්ණ නිවෙසක් සෑදිය හැකිද? ඔන්න සිතිය යුත්තකි. කළ යුත්තේ බරපතළ මහා දෝෂ මඟහරවා ගැනීමය. ආගමික වතාවත් කරන විටදී බ්‍රහ්මපාදය පෑගෙන සුළුය.

මුලින්ම නිවාස සැලසුම අඳින විටදී බ්‍රහ්මපාදය අවහිර නොවන සේ ඇඳ ගත යුතුයි. ඒ පිළිබඳ නොසැලකිලිමත් වුවහොත් නිවෙස නිර්මාණය ගොඩනැඟීමෙන් පසු විශාල විපත් කරා යොමු වේ. කුරුණෑගල නාගරික මහල් නිවෙසක බිම් මහලේ බ්‍රහ්ම පාදය තුළ වැසිකිළියක්, නානකාමරයක් ගොඩනඟා තිබිණි. ළිඳ සකස් කර ඇත්තේ ද ඒ අසලය. දැවැන්ත දිය ඇල්ලක් නිවසේ ගිණිකොන දිසාවේ නිර්මාණය කර තිබිණි. මේ නිවෙස මිලට ගෙන ඇත්තේ අන්තර්ජාලය හරහා ය. නිවෙස පරීක්ෂා කිරීමේ දී මෙම බරපතළ වාස්තු දෝෂ ඉවත් කර නිවැසියන්ට මවිසින් ධනාත්මක කරුණු සහිතව පහදා දුනිමි. එතෙක් කල්ම නිවාස පදිංචිකරුවන් කායික, මානසික පීඩාවලට ගොදුරු වෙමින් සිටි බැව් සත්‍යයකි. රිය අනතුරක් මෙන්ම හදවත් රෝගයෙන් පීඩාවට පත් අයකු ද මේ නිවෙස තුළ සිටියේ ය. තවත් ඉදිරියට වෙන්නට තිබූ මහා විනාශයක් වළකා ගත හැකි විය.

අගනුවරට ආසන්නව පිහිටි නිවෙසක ළිඳ පිහිටා තිබුණේ ගිණිකොන දිසාවේ පිහිටි කාමරය ඇතුළතය. නිදන ඇඳ යට පිහිටි ළිඳ කිසිවකුට නොපෙනේ. මේ පිළිබඳව විපරම් කර බලන විට දී එම නිවාස හිමියාගේ වැඩිමහල් දියණිය බරපතළ ලෙස මානසික රෝගයකින් පෙළී සිටින බව දැන ගතිමි. 37 හැවිරිදි ඇය අවිවාහක තත්ත්වයේ පසුවන්නීය. එකී නිවෙසේ සිටින අයගෙන් කීප දෙනකුම නිත්‍ය රෝගීන් ය. බෙහෙත් නොගත් දිනයක් නොවීය. නොදැනුවත්කමින් වාස්තු දෝෂවලට ගොදුරු වීමේ තවත් එක් ප්‍රතිඵලයකි. උපදෙස් මත ළිඳ වහා වෙනස් කිරීම නිසා අද වන විට එකී නිවැසියන් සතුටෙන් සිටින බැව් දැන ගතිමි. මෙවැනි නිවාස වාස්තු දෝෂ අති විශාල සංඛ්‍යාවක් නිදෙස් කර ගැනීමට හැකි විය. කඩා බිඳ දැමීමකින් තොරව ගොඩනඟා ගත් නිවාසවලට බලපා ඇති වාස්තු දෝෂ ඉවත් කර ගැනීමෙන් සතුටින්, සාමයෙන් නිරෝගිමත් ව ජීවත් විය හැකි බැව් අත්දැකීම් හරහා පවසමු.

මේ ලිපිය කියවන ඔබගේ නිවෙස ඇතුළත බ්‍රහ්මපාදය අවහිර වී ඇත්නම් එය මඟහරවා ගන්න. දැනට සාදා ඇති සමහර නිවාස මෙකී බ්‍රහ්මපාදය පීඩනයන්ට ගොදුරු වන බැව් අප විසින් කරන ලද වාස්තු විද්‍යා නිරීක්ෂණ හරහා හෙළි වී තිබේ. මහා සාගරයක් වැනි වාස්තු විද්‍යාවෙන් චූටි දිය බින්දු කීපයක් දයාබර පාඨක හිතවතුන්, හිතවතියන්ට දෝතට වත් කරමු.

බ්‍රහ්ම පාදය ආශි‍්‍රතව බිත්තියක් යෙදී ඇත්නම් මෙම චිත්‍ර සටහනේ දැක්වෙන සුබ වස්තු බිත්තියේ චිත්‍රකරණය කොට එකී නිර්මාණ බිත්තියේ එල්වා තැබීම ඉතාම සුබදායක වේ. සුබසෙත සුවහසක් පාඨකයින් වෙත තිළිණ කරමු.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
15 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.