දිශාවන් හරි හැටි හඳුනා ගෙන වාසනාවන්ත නිවෙසක ජීවත්වීමට නම්

මාර්තු 26, 2021

නිවසක් ඉදි කිරීමේ දී ප්‍රථමයෙන්ම අඳින සැලසුම ප්‍රමිතිගත වීම වැදගත් වේ. ක්‍රමවත්ව සැලසුම් කළ යුතු වේ. එසේම නිවාස ගත සාමාජිකයින්ගේ ප්‍රමාණය අනුව නිදන කාමර වෙන් කර ගැනීමද යහපත් ය. අද ඔබේ කුඩා දියණිය පසු කලෙක වැඩිවියට පත් තරුණියක් වනු ඇත. ඇය නිදහසේ සිටිය යුතු යි. නිවසේ වයඹ දිසාව වැදගත් වන්නේ දියණියන්ට ය. උතුර හා වයඹ කලාපය ආශි‍්‍රතව ඉඩකඩ ඇහිරී තිබීම එතරම් යෝග්‍ය නොවේ. පැරණි ගැමියන් නිවෙසට අත්තිවාරම දමා වයඹ පැත්තේ කළු එළදෙනක් (ගැබ්බරව ඇති) හෝ කිරිබොන පැටවෙකු සිටින දෙනක් හෝ ගාල් කර තණකොළ, පුන්නක්කු දී පෝෂණය කරන්නේ කිසියම් අරුතක් ඇතිවය. දියණියක් ද කලකදී විවාහ වී දරු සම්පත් ලබා දරුවන්ට මව්කිරි බීමට දෙන කාමරය වයඹ නම් වඩාත් යෝග්‍ය වේ.

 

නිරිත දිග කලාපයේ කාමරය තරුණ විවාහපත් යුවළකට සිටීම යෝග්‍ය වේ. මෙහි යටි අරුතක් ගැබ් වී තිබේ. බඹරෙකු ආවයි නිරිත දිගේ යා යන ගීය ගායනා කරන්නේ හෙළයේ මහා ගාන්ධර්වයන් වූ අමර දේව සූරීන් ය. තරුණයකු තරුණියක් හමුවී දැන හඳුනා ගෙන ප්‍රේමකර පසුව යුග දිවියට ඇතුළු වේ. දෙදෙනාටම නිරිත දිග කාමරය තුළ විසීම ඉතාම සුබවාදී වේ. වාස්තු විද්‍යානුකූලව වයඹ හෝ නිරිත කාමර තුළ නිදන ඇඳේබාපත උතුරට තබා නිදාගැනීම ඉතාමත්ම අහිතකරයි. උතුරට හිස දමා නිදාගැනීමෙන් චුම්භක ශක්තීන් ඇද ගැනීමේ බලය අධික වී නින්දට බාධා කෙරේ. සිරුරේ 3/4 ක් තිබෙන ජල පරිමාව ඉක්මනින්ම අඩු වේ. කලක් මේ අන්දමට නිදා ගැනීමෙන් ජල පරිමාව අඩු වීම හරහා විවිධ ස්නායුගත ව්‍යාධිවලට ලක්වේ. එය විද්‍යාත්මක ඇත්තකි. තවද කාමරයක් ඇතුළත වහලේ පහතට බාල්කයක් නිදන ඇඳ හරහා වැටී තිබීමත් යෝග්‍ය නොවේ. ගැබිනි මවකගේ ගැබ හරහා බාල්කය ඇත්නම් එයින් කාන්දුවන සෘණ ශක්තිය නිසා දරුවාගේ වැඩීමටද අහිතකරයි. විශේෂයෙන්ම මාස 7 දින 21 කදී දරුවාට ඔහු සිටින ජල බෑගය (වෝටර් බෑග්) තුළ ජල පරිමාව තිබිය යුත්තේ දරුවාට පිහිනීමට අවශ්‍ය බැවිනි.

එහෙයින් ගැබිනියන් වත්මන්හි ජලය වැඩියෙන් පානය නොකරන නිසා දරුවාට සිටින ජල බෑගය සිඳී යන්නේ ය. තවද ඊසාන හා වයඹ දිසාවන් තරුණියන්ගේ රුව වැඩීමට උපකාරක වේ. ජල බඳුනකට සුදුහඳුන් මිශ්‍රකර උදේ පානය කිරීමෙන් සිරුර පැහැපත් වී ලස්සන වන්නේ ය.

නිරිත දිසානු ගත කාමරය සිය ආදරවන්තයා සමඟ විසීම කායික හා මානසික සුවයට හිතකරයි. ගිනිකොණ දිසාව මුළුතැන්ගෙය කුස්සියට ද යහපත් වන අතර ව්‍යාපාර කීපයකටද හිතකර වනු ඇත. ලෝභ, කම්මල්, පාන් පෝරණු, ගිනිපෙට්ටි හෝ රතිඤ්ඤා වැනි වැඩ කටයුතු වලට යහපත් වන්නේ ය.

අපේ පැරණි ගැමියන් තුන්කල් දක්නා සෘෂිවරුන් වැනි ය. හරිහැටි දිසාවන් හඳුනාගෙන ඒ හරහා යහපත් සාර්ථකම ප්‍රතිඵල දිනාගන්නා ලදී. විවාහ වූ තම පුතාට හෝ දුවට (බින්න බැසීම) නිරිත දිග කාමරය වෙන්කර දුන්නේ ය. ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා, පංච මහා සම්පත්තියම ඒ සුබ දිසානු ගතව ඇති නිසා ය. යහපත් ධන ශක්තීන් ගොඩනැගෙන දිසාව නිරිත නිසා ය.

නිරිත දිග කාමරයේ නව යොවුන් විවාහක යුවළක් මිනිත්තු 15 ක් පමණ කාලය තුළ භාවනානුයෝගීව වී පංචමහා සම්පත්තියෙන් යුතු දරුවෙක් ලැබේවායි මනෝ තරංග අවකාශයට මුදා හැරීමේ ලැබෙන ප්‍රතිඵල ධනාත්මක වේ. ගිනිකොනින් එය නොලැබේ. ඊසාන උතුර හා නැගෙනහිර දිසා තුනම වර්ණ කලාපයන්ට අයත් ය. වර්ණ බෙහෙවින්ම සත්වයාට හිතකරය. හිරුරැස්වලින් කාන්දුවන වර්ණ දහස් ගණනකම බලශක්තීන් ගෙන දේ. විශේෂයෙන්ම දම් පැහැය වඩාත් අතිප්‍රබලයි.

සමහරවිට උපදින සමහර දරුවන් අප නොසිතූ අන්දමට රෝගී තත්ත්වයට පත්වේ. පරීක්ෂණයන් හරහා ද සොයා ගැනීමටද නොහැකි ය. මේ ගැන එතරම් තැකීමක් නොකළත් පැරණි ගැමි නිවාස හිමියන් එදා බල්ලා ඉස්තෝප්පුවේ නිදන තැන හාන්සි පුටුවක දිගා වී සිටියේ කොන්දේ කැක්කුම නොසෑදෙන නිසා බව ගැමි කතාවක් තිබේ.

භූගතව දිවෙන ජල රේඛා හසු නොවන තැන බල්ලා ඉවෙන් දනී. ඌ නිදා ගන්නේ එවැනි තැනක ය. භූගතව විහිදී දිවෙන ගලා යන ජල රේඛා මත නිදා ගැනීම නිසා අප නොදැනුවත්වම යම් යම් රෝගී තත්ත්වයට පත්වේ. මා වවුලන් ඉගිලී යාම මොනරු රංචු පිටින් ඉවත්වීම කණකොකා හඬා පියෑඹීම, කක්කුට්ටන් ගුල්වලින් එළියට ඒම වැනි ක්‍රියාවන් පසු පස යටි ගැඹුරු අරුතක් බද්ධ වී තිබේ. පරිගණක යන්ත්‍රය, ජංගම දුරකතන ක්‍රියා විරහිත නොකර නිදන ඇඳ අසල ඉහ බාපත තුළ තැබීම සෞඛ්‍යයට ඉතාමත්ම අහිතකර වේ.

තවද නිදන කාමරය තුළ ඇතිවන ප්‍රේමණීය ආකර්ෂණීය බව අඹු සැමි ප්‍රේමය අල්ලාප සල්ලාපයන් ආදරණීය එකතුවට තෝතැන්නකි. අපේ දේශීය පාරම්පරික මහා වාස්තු විද්‍යාව තුළ විශ්ව ශක්තිය පැතිර පවතින්නේ දිසානුගතවය. හරි හැටි දිසාවන් මැනවින් හඳුනාගෙන ප්‍රමිතිගත සුපිරි වාස්තුවට එකඟ නිවසක් තුළ ජීවත් වීම ලෞඛිකමය මහා වාසනාවකි.

 

ඡ්‍යොතිෂ සහ

වාස්තු විද්‍යාවේදී

ටී.හෙන්රි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.