වාස්තු පූජා පවත්වා ඔබේ නිවස වාලම්පුරියක් කරගන්න

ජූලි 16, 2021

බහිරව පූජාව නැකත් දිනට පෙර කිරීම යහපත් වේ. සුබ නිවාසීය වත් පිළිවෙත් මෙසේ ය. බෝධි පූජාවක් තැබීම. ආගමික වතාවත් කිරීම කිරිගසක් ඉඩමේ සිටුවීම ගිනිකොන දිසාවේ කුරුල්ලන්ට කෑම තැබීම. ස්වස්තිකය ඇඳීම හා ඒ මත මුල්ගලතැබීම ලිප උතුර හා නැඟෙනහිර දිසාව බලා කෑම පිසීම.

 

අපේ පාරම්පරික දේශීය මහා වාස්තු විද්‍යාව දේවත්වයෙන් සලකනු ලැබේ. මෙහි මූලාරම්භය මහා රාවණා, පුලස්ති යුගය දක්වා දිවෙනු ඇත. අපටම කියා ආවේනික වාස්තු ශිල්ප ධර්මයක් ද ඇත්තේ ය. එය හුදෙක්ම මානව භක්තියෙන් බැඳුන එක්තරා සුවිශේෂි මහා වාස්තු පදනමකි. පැරණි කාලයේ ජනයා නිවසක් ඉදිකිරීමට සැලසුම් කරන විටදී සුදුසු ඉඩමේ වැට ශක්තිමත්ව බැඳ සවස් ජාමේ ගොනෙකු ඇතුළු කර ඉදි කඩුල්ල වසා දමා පසුදින අලුයම් කාලයේ ඌ ලැග සිටි තැන ශුද්ධ පවිත්‍රකොට සඳුන් කිරිපැන් ඉස සුබනැකතට ඇඳගත් සැලසුම අනුව ලණු ඇදීම කරනු ඇත.

 

ඊසාන පැත්තේ ශුභ දිසාව බලා බෙලි ලීයක් කූඤ්ඤය ලෙස පළමුව ගසා ගැනීම කරනු ඇත. ශුභ නැකතට අත්තිවාරම කපා ගෙහිමියා විසින් සුදු රෙදි කඩකට පළමු පස් පිඩැල්ලේ පස් මිටක් දමා ස්වාමි දියණියට දෙනු ලබන්නේ ගලා බසින දිය පහරකට ඔයකට හෝ ගඟකට දැමීම පිණිසයි.

පවුලේ සියලු දෙනාම එකතු වී කිරීම මැනවි. ගිනිකොන පැත්තේ ශුභ දිසාව බලා ශුභ පාදයක නොපෑගෙන තැනක මුල්ගල සහිත නිධන් වස්තු තැන්පත් කළ යුතු වේ. නැකැත් දිනට පෙර බෝධීන් වහන්සේට පැන්කළ 9 ක් වත්කර බෝධි පූජාව තබා තම නිවසේ වැඩකටයුතු සාර්ථක වේවායි ප්‍රාර්ථනා කළ යුතු යි. පිරිසුදු පැන් බඳුනකට අලුයම සබ්බපාස්සඅකරණං ගාථාවෙන් 108 වර මතුරා එම ජලය භූමියේ සෑම තැනම ඉසිය යුතු යි.

ලණු ඇද පසුව ගෙදර අය ඇතුළු සැවොම භෝජන සංග්‍රහයක් සඳහා සහභාගී විය යුතු යි. නිර්මාංශව පවුලේ අය පමණක් සහභාගි වීම මැනවි.

නැකැතට ගල් බැඳ බිත්ති නංවා වහලය ගැසීම කළ යුත්තේ දක්ෂ වඩු ශිල්පියා විසින් ය. උළුවස්ස සුබ නැකැතට තබා උළුවස්ස පැනිය යුත්තේ වඩු ශිල්පියා විසිනි. චාරිත්‍ර සියල්ලම ඉටු කිරීම මැනවි. දොර හා ජනේල සංඛ්‍යාව එකතුව ඔත්තේ වීම යහපත් ය. දොරටුවලට වඩා ජනේල වැඩි විය යුතු යි. ගෙවදීම සුබ නැකැතට ගෙහිමියා සහ ස්වාමි දුව විසින් කළ යුතු වේ. සුබ වස්තු රැගෙන ගෙවදීම කිරීම යහපත් ය. එළකිරි ඉතිරවීම යහපත් ය.

මෙදින ගිතෙල් මිශ්‍ර කිරිබත් පිඩු 9 ක කපුටු දානයක් දෙන්න. ඊට පසු කළුතල මිශ්‍ර කිරිබත් උයා එයින් නාග රූපයක් හැඩැතිව කපා උස් තැනක තිබිය යුතුයි. කුරුල්ලන්ට කෑමට ක්ෂීරපායාස නාග රූපක පූජාව මෙයයි.

කුඩා පිරිමි හා ගැහැනු දරුවන් දෙදෙනෙක් හෝ ඊට වැඩි පිරිසක් කැඳවා ආහාර පානවලින් සංග්‍රහ කිරීම ඉතාම සුබයි. වස්දොස් දුරුවේ. භික්ෂූන් වහන්සේ නමක් වැඩමවා පිරිත් දේශනා කිරීම ඉතාම යහපත්. එසේ නැත්නම් පිරිත් හඬපටයක් නිවස තුළ දැමීම සුබදායක වේ.

සුවඳ ධූපයකින් දුම් ඇල්ලීම ඉතාම යහපත් වේ. නිවාස ආරක්ෂක ජීවන යන්ත්‍ර 08 ක් නිවසේ අටකොණ ජීවම් කර නිධන් කිරීමෙන් දෝෂ දුරුවේ. ආරක්ෂාව සැලසේ.

කෝණ මාස අත්හැර නිවාස වැඩ ජන්ම නැකතට සීහෙන නිවාස නැකැත ගෙන සුබ දිනයක වැඩ අරඹන්න.

බහිරව පූජාව නැකැත් දිනට පෙර කිරීම යහපත් වේ. සුබ නිවාසීයවත් පිළිවෙත් මෙසේ ය. බෝධි පූජාවක් තැබීම. ආගමික වතාවත් කිරීම කිරිගසක් ඉඩමේ සිටුවීම ගිනිකොන දිසාවේ කුරුල්ලන්ට කෑම තැබීම. ස්වස්තිකය ඇඳීම හා ඒ මත මුල්ගලතැබීම ලිප උතුර හා නැඟෙනහිර දිසාව බලා කෑම පිසීම.

නිදන ඇඳේ පාපත උතුරට දමා නිඳා ගැනීම අයහපත් ය. ඊසාන දිසාවේ වැසිකිළි වලවල් නොකැපීම උතුර නැඟෙනහිර හා ඊසාන දිසාවන්හි ආගමික වතාවත් කිරිම බ්‍රහ්ම පාදය අවහිර නොකර තබාගැනීම සොහොන් පරාල නොගැසීම නිවස ඇතුළත බිමයට වැසිකිළි බට නොදැමීම ආදී වැදගත් කරුණු ඉෂ්ඨ කිරීම අනිවාර්ය වෙව්. මිදුලේ අරලිය වෙරළු, සේපාලිකා ශාක නොවැවීමට වග බලා ගන්න. එම ගස්වල මල් පිපෙන කාලයට එකී මල්වල පරාග ඇදුම, හතිය, කැස්ස ඇති අයට සුදුසු නොවන නිසා තවද තැඹිලි ගස් ප්‍රධාන දොරටුවට කෙලින් සිටුවීම, පතොක්, දෙහි වැනි කටුගස් නොවැවීම් කළ යුතු වේ.

තවද වාසය කරන නිවසේ උදේ සවස විෂබීජ නාශක සුවඳ ධූපයකින් දුම් ඇල්ලීම කළ යුතු වේ. ලක්ෂ්මී දෙවඟනගේ මූර්තියක් හෝ චිත්‍රයක් ඉදිරියේ වාලම්පුරියක්, වී මැටි බඳුනක තබා ඊට අදාළ ජප මන්ත්‍ර උදේ සවස කියැවීමෙන් මූල්‍යමය මිල මුදල් සම්පත් ලැබේ. ගයත්‍රී මන්ත්‍රය ගායනා කර නිතර භාවිතා කරන්න. වෙනත් ජීවමය වාස්තු මන්ත්‍ර නිතර නිවස ඇතුළත කියැවීමෙන් දෝෂ දුරු වී සම්පත් ලැබේ.

ඔබ වාසය කරන නිවස සුර විමනක් දිව්‍ය මාලිගයක් කර ගැනීමට ඉහත සඳහන් උපදෙස් පිළිපදින්න. හයමසකට හෝ වසරකට වරක් වත් සාංඝික දානයක් පිරිනමා දෙවියන්ට, මිය ගිය අයට පින් දෙන්න.

නිවසේ වාසය කළ මීට පෙර මිය ගිය අයට පින් අනුමෝදන් කිරීම ඉතාම යහපත් ය. අපේ පියවි ඇසට ගෝචර නොවන ඉතාම ශක්තීන් රැසක්ම විශ්වයේ දෝලනය වේ. එකී විශ්ව ශක්තිය අප විසින් කාන්දු කර ගත යුතු යි.

ඉරිදා දිනක විශේෂයි. ඔබට හැකි සෑම දිනකම උදේ 08 සිට 09 දක්වා අතර කාලය තුළ දී ඉර දෙස බලාගෙන අඩවන් දෑසින් ‘ගයත්‍රි මහා වේද මන්ත්‍රය 21 වරක් කියන්න.’

පසුව ඔබටත් පවුලේ සියලු දෙනාටමත් නිවසටත් ආශිර්වාද කරන්න. දින 90ක් නොකඩවා කිරීමෙන් ඔබ සැඟවුන විශ්ව ශක්තියේ රහස වැටහේවි. අත්දැකීම් ලැබෙනු නියතයි.

ඔබේ මුර දේවතාවා ඔබට වාසය කරන නිවස බැව් අමතක නොකරන්න.

මෙහි සඳහන් මහා වාස්තු පූජාවන් කර ඔබේ නිවසට ලක්ෂ්මී දෙවඟනගේ ආකර්ශනය ලබා ගන්න.

 

ඡ්‍යොතිෂ සහ වාස්තුවිද්‍යාවේ දී

දේශබන්ධු

ටී. හෙන්රි බෙම්මුල්ල

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.