පෙර පින් පව් පෙන්වන ග්‍රහයන්ගේ බලය

ජනවාරි 25, 2019

මෙලොව උපත ලබා සිටින ස්ත්‍රී පුරුෂ අප සියලු දෙනා පෙර ආත්මයේ කිනම් ආකාරයෙන් හැසිරුනාද යන්න දැන ගත හැකි එකම ලියවිල්ල ජන්ම පත්‍රය හෙවත් කේන්ද්‍රය බව නුවණ ඇත්තෝ පිළිගනිති. විශේෂයෙන් යහපත් ආකාරයෙන් දිවි පෙවෙත ගත කර තිබුණේ නම් ගුරු, සිකුරු ආදි සෞම්‍ය ග්‍රහයෝ මේ ආත්මයේ ජන්ම පත්‍රයේ බලවත් ලෙස කේන්ද්‍ර ගතවී තිබිය යුතුය.

එම ග්‍රහයෝ දුර්වල වී සතුරු වී අයහපත් ලෙස පිහිටා තිබේ නම් ඔබ අනිවාර්යයෙන් පෙර ආත්මයේ දුෂ්ඨ ක්‍රියාවල යෙදී දුෂ්ඨ ජීවිතයක් ගත කරමින් සිටි අයෙකි. පෙර ආත්මයේ සත්ව හිංසා කරමින් මරණයට පත් කළ අයෙක් නම් සෙනසුරු ඔබේ කේන්ද්‍රයේ උපතින් 8 වැන්නේ පිහිටන්නේය. ඒ අනුව ඔබට මේ ජීවිත කාල සීමාවේ වයස 29-30 , 59-60 යන කාලසීමාවන් තුළදී දැඩි දුක් පීඩා විඳීමට සිදුවේ. උපතේ වයස මාස 9 දක්වා සෙනසුරු විදශාවක් හෝ යෙදුණොත් දරුණු ලෙස රෝගාතුර වේ. උපතින් කේන්ද්‍රයේ අට වැන්නේ සෙනසුරු සඳු සංයෝගය හෝ සඳු අට වැන්නේ යෙදී ඒ සමඟ සෙනසුරු සඳුගෙන් 8 වැන්නේ යෙදීම පෙර ආත්මයේ ජලචර සතුන් මැරීමේ ග්‍රහ යෙදුමකි. මෙය මන්දායුෂ යෝගයක් වන අතර ජීවත් වුවහොත් තදබල දුක් විඳීමකට ලක් වේ. එසේ නැත්නම් ජලයෙන් මාරකයකට විපතකට ගොදුරු වේ.

අසුබ ග්‍රහ පිහිටීම්

කෙසේ නමුත් එවැනි අසුබ ග්‍රහ යෙදුමක් තිබෙන අයෙකුගේ කේන්ද්‍රයේ ලග්නගතව දෝෂ භංග කරමින් ගුරු පිහිටා ඇත්නම් එය පෙර ආත්මයේ පරෝපකාර සේවය දුගියන්ට දන් දීමේ කුසල කර්මයක ග්‍රහ පිහිටීමක් බව පෙන්වා දෙමි. ඒ අනුව සතුන් මැරීමේ අකුසල විපාකය තරමක් දුරට ලිහිල්වන ස්වභාවයක් ඇතිවේ. පෙර ආත්මයේ අකුසල කර්ම කළත් මේ භවයේදී ගුරු ලග්න ගත වූ අය බොහෝ පිං දහම් කටයුතුවල යෙදෙනු ඇත. ඒ අනුව පෙර අකුසල කර්ම විපාක තරමක් හෝ ලිහිල්වීමක් සිදුවේ. කෙසේ නමුත් සුළුවෙන් හෝ විපාක විඳීමට නම් සිදුවෙනවාමය.

යම් අයෙකුගේ උපතින් ගුරු 6 වැන්නේ යෙදීමද පෙර අකුශල විපාක පලදීමට හේතුවන ග්‍රහ පිහිටීමකි. යම් කිසි ගමක ප්‍රදේශයක කෙතරම් හොඳින් ධාර්මිකව ජීවත්වීම සිදුවුවත් අන් අයගේ දෝෂ දර්ශනයට ලක් වීම සිදුවේ. සතුරන් පවා ඇතිවේ. මෙය පෙර ආත්මයේ තමන් විසින් සංඝයා වහන්සේලාට හා දැහැමි පුද්ගලයින්ට ගැරහීම, හිංසා කිරීම, දෝෂ දර්ශනයට ලක් කිරීම ආදී අකුශල කර්මවල යෙදීමේ ප්‍රතිවිපාක වන්නේය. එසේම පෙර ආත්මයේ සත්වයින්ගේ මස් ආදී අපත්‍ය ආහාර වර්ග විකිණීම, සඟ සතු දේ සොරකම් කර අන්‍ය අයට විකුණා එම මුදලින් ආහාර පාන ගෙන අනුභව කිරීම, ඒ අනුව දියවැඩියාව වැනි දරුණු රෝග හට ගැනීම ආදී විපාක විඳීමට මේ ආත්මයේදී සිදුවේ. පෙර ආත්මයේ තමන්ගේ දරුවන්ට නිතර වැරදි ලෙස බැණ වැදීම , වධ හිංසා කිිරීම ආදි අකුශල විපාක වශයෙන් මේ ආත්මයේදී ගුරු හය වැන්නේ යෙදී දරුවන්ගෙන් කිසිම පිහිටක් නැතිවන අතර දරුවන්ගේ වධ හිංසාවලට පවා ලක්වේ. සමහර අවස්ථාවල දරුවන් අකාලයේ මිය යාමද සිදුවේ.

ධනු ලග්නය හැර අනෙකුත් ලග්නවලින් උපත ලැබූ අයගේ ජන්ම පත්‍රයේ ගුරු අට වැන්නේ යෙදී තිබේ නම් මොවුන් පෙර ආත්මයේ තමන්ගේ ආගමට නිග්‍රහ කරමින් මිථ්‍යා අදහස් ප්‍රකාශ කරමින් සිටි පාපී පුද්ගලයෝය. මොවුන් මේ ආත්මයේ සමාජය තුළ ගැරහුම් නින්දා අපහාස ආදිය ලබමින් කල් අල්ලන නිදන් ගත දරුණු රෝගවලින් පෙලෙන්නෝය.

ගුරු උපතින් කේන්ද්‍රයේ 12 වැන්නේ පිහිටා ඇත්නම් එවැනි අය පෙර ආත්මයේදී මෙන්ම මෙම ආත්මයේදීද දන්දීම ආදී කුසල කර්මවල යෙදෙන යහපත් අය වෙති.

පින් දහම් කටයුතු සඳහා තම ධනය නිතර නිතර වියදම් කිරීම මෙම අයගේ සිරිත වන්නේය. ගුරු යම් අයෙකුගේ කේන්ද්‍රයේ උපතින් 2,11 භාවයක යෙදී ඇත්නම් එවැනි අය පෙර ආත්මයේදී දුගී මගී යාචකාදීන්ට දන් දීම, මිල මුදල් සත්කාර කිරීම ආදී කුසල කර්මවල යෙදුන අය වෙති. එවැනි අයට මේ භවයේදී ගුරු 2,11 භාව ගෝචර අවස්ථාවලදී මිල මුදල් ලාභ පහළ වේ.

යම් අයකෙªගේ උපතේදී ගුරු සිව්වැන්නේ උච්ච ස්වක්ෂේත්‍ර මිත්‍ර බලයෙන් යෙදී ඇත්නම් එවැන්නෝ පෙර ආත්මයේ තමන් සතු ගෙයක් හෝ ඉඩමක් දුගී පුද්ගලයින්ට දන්දීමේ හෝ අනාථ නිවාස තනා දීම් ආදී පුණ්‍ය කර්මවල යෙදුන අය වෙති. එවැනි අයට මේ ආත්මයේ වාසනාවන්ත නිවසක ජීවත්වීමට පින් බල මහිමය පිහිටනු ඇත. ගුරු උපතින් නව වැන්නේ යෙදුන අය පෙර ආත්මයේ බොහෝ කුසල කර්මවල යෙදුන දානපතියෝය. එවැනි පුද්ගලයෝ මේ ආත්මයේදීද බොහෝ පින් දහම්වල යෙදෙති. ඊළඟ භාවයද මවැන්නෝ සුගතිගාමී වෙති.

කෙසේ නමුත් පෙර පින් පව් පෙන්වන ග්‍රහයින් අතර ගුරු ගේ ක්‍රියාකාරීත්වය විශේෂයෙන් සැලකිය යුතු වේ. ඒ අතරම පෙර ආත්මයක පස් පව්වල ඇලී ගැලී තද බල අකුශල කර්මවල යෙදුන අයට මේ ආත්මයේ දරුණු දුක් පීඩා දෙමින් විපාක දීමට සෙනසුරු ග්‍රහයා ප්‍රධාන වන බව පෙන්වා දෙමි. විශේෂයෙන් ජීවිත කාලයේ වැඩි කලක් දරුණු රෝග තත්වයන් ඇතිකර එක තැන එක් තැන්කර අතිශයින් දුක් විඳවමින් නොමරා මරණ අන්දමින් දුක් විපාක ලබා දීමට සෙනසුරු සමත් වේ.

මී ළඟට පෙර පින් පව් පෙන්වන ග්‍රහයින් අතර සිකුරු ග්‍රහයාද ප්‍රධාන ග්‍රහයෙක් බව පෙන්වා දිය යුතුය. පෙර ආත්මයකදී සාර්ථක ලෙස යුගදිවිය ගත කරන අය හට ඊර්ෂ්‍යා කිරීම, කට කතා පැතිරවීම ,අඹු සැමියන් භේද කරවීම, පවුල් කඩා ඉහිරවීම මේ ආදී තද බල පාපකර්ම කළ අයගේ උපතින් සිකුරු නීචවීම, සතුරු වීම, සතුරු ග්‍රහ සංයෝග වීම, දෘෂ්ඨියට ලක්වීම මේ ආදී දුර්වලතා මධ්‍යයේ ජන්ම පත්‍රයේ සිකුරු පිහිටා ඇත. ඒ අනුව එම ස්ත්‍රී හෝ පුරුෂයින්ගේ විවාහය ඉතාම දුර්වල තත්වයට පත් වන්නේය. එසේම භේද භින්න වූ අඹු සැමියන් සමගි කරවීම, අවවාද අනුශාසනා කිරීම ආදි කුසලයන්හි පෙර ආත්මයේදී යෙදී ඇති අයගේ සිකුරු බලවත් වීමෙන් මේ ආත්මයේදී සාර්ථක විවාහ ජීවිතයක් ගත කරනු ඇත.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

ඡ්‍යොතිර්වේදී ජේ.ගුණපාල

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.