රට, ජාතිය, ආගමට විශාල සේවයක් කළඩී.ආර්. විජේවර්ධන මැතිතුමා

පෙබරවාරි 22, 2019

පරසතුරු උවදුරු තිබූ අප ශ්‍රී ලංකාද්වීපය ඉන් මුදවාගෙන එවකට අවුල්ව තිබූ හෙළ ජන සිතිවිලි නැවත පැහැදිලි අරමුණක් කරා ගෙන යමින් රට, ජාතිය, ආගමට විශාල සේවයක් කළ අයෙකි. ඩී.ආර්. විජේවර්ධන මැතිතුමා එතුමා 1886 පෙබරවාරි මස 23 වන දින කැලණිය සේදවත්තේ දී උපත ලැබීය.

එවකට උසස් පෙළපතකට හා උසස් ධනයකට උරුමකම් පෑ විජේවර්ධන මහතා මෙරට අධ්‍යාපනයෙන් පසු එංගලන්තයට ගොස් කේම්බ්‍රිජ් විද්‍යාලයට ඇතුළත්ව අධ්‍යාපනය හැදෑරීය. එහිදී සාර්ථක ලෙස අධ්‍යාපනය නිමවා 1912 දී එල්.එල්.බී. උපාධියද රැගෙන යළි මව්රටට ආවේ ය.

විදේශයෙන්ද උගත් දැනුම උපයෝගී කරගෙන මව්රටට කිසියම් මෙහෙයක් කිරීමේ පරම පවිත්‍ර සිතිවිල්ල පෙරදැරි කරගත් මෙතුමා ලේක්හවුස් මන්දිරය ඉදිකොට සිංහල, දෙමළ, ඉංගී‍්‍රසි පුවත්පත් මුද්‍රණය කිරීමේ කටයුතු කළේ ය. ඒ අනුව 1914 දී දිනමිණ පුවත්පතද, 1918 දී සිලෝන් ඩේලි නිවුස් පුවත්පත, 1923 දී ඔබ්සෝවර් පුවත්පත ද, 1930 දී සිළුමිණ පුවත්පත ද වශයෙන් පසුකාලීනව පුවත්පත් ගණනාවක්ම ආරම්භ කිරීමට කටයුතු සලසන ලදී.

නිදහස් සටනේ වීරයින් සමග උරෙනුර ගැටී කටයුතු කරමින් එවකට පැවති බ්‍රිතාන්‍ය පාලකයින්ගේ වැරදි ක්‍රියා කලාපයන් එරට ආණ්ඩුවට හඳුන්වා දීමටත් ජාතියේ උදාරත්වය හා ජාතික මමත්වය පීඩනයෙන් හෙම්බත්ව සිටි සිංහල ජනතාවගේ සිත්තුළ නව බලාපොරොත්තු පැළපදියම් කිරීමටත් අපේ වීරයා ආරම්භ කළ පුවත්පත් ඉතා විශාල ලෙස ඉවහල් විය.

තවද සිංහල, මුස්ලිම් සටනේ බ්‍රිතාන්‍ය පාලකයින් ගෙනගිය දයානුකම්පා විරහිත කටයුතු ආණ්ඩුවට පෙන්වාදී කිසියම් අස්වැසිල්ලක් ලබාගැනීමටත් ප්‍රවෘත්ති පාලනය ඉවත් කළ පසු බ්‍රිතාන්‍ය ප්‍රවෘත්ති පත්‍රවල පළවූ සංදේශ වාර්තා හා කර්තෘ වාක්‍ය සිය පුවත්පත්වල පළ කිරීමෙන් ලක්වැසි ජනතාවට කිසියම් අවබෝධයක් ලබාදීමටත් මෙතුමා සමත් විය. අවියකින් කළ නොහැකි තරමේ ශක්තියක් පුවත්පතකින් ජනතාවට උරුමකරදුන් මෙතුමා ජනතාවගේ අධිෂ්ඨානය වැඩි කිරීමට කිසිවෙකුට ගැති නොවී සිටීමේ ශක්තිය වැඩි කිරීමට හේතුවන අයුරින් කටයුතු කළේ ය. එහි ප්‍රතිඵලයක් හැටියට ලංකාණ්ඩුවේ ප්‍රතිසංස්කරණයක් ඇති විය.

1944 දී ඒ වෙනුවෙන් ප්‍රතිසංස්කරණ කොමිසමක් ලංකාවට පැමිණි අතර එයට සෝල්බරිසාමි, ශ්‍රීමත් ෆෙඩ්රික් රිස්, ශ්‍රීමත් ෆෙඩ්රික් බරෝස් ආදීහු ඇතුළත් වූහ. පසුව ඒ අය විසින් සෝල්බරි වාර්තාව සඳහා අඩිතාලම සැකසීමට පිරිස නැවතී සිටියේ ද අපේ විරුවාට අයත් ‘ආර්කේඩියා’ නම් මන්දිරයේ වීම මෙහි ඇති තවත් එක් විශේෂතාවයකි.

පොදු ජනතාවට විශාල සේවයක් සලසමින් ලේක්හවුස් මන්දිරයේද මුද්‍රණාලයේ හා එම පොත් වෙළඳ සැලේ ද අධිපතිකම් දරමින් අප අතර නොමැකෙන සටහන් තැබූ ඩී.ආර්. විජේවර්ධන මහතා 1950 ජූනි මස 13 වෙනි දින අප අතරින් සදහටම සමුගත්තේ ය.

කැලණිය රජමහා විහාරය ඇතුළු ලංකාවේ විහාරස්ථාන ගණනාවක්ම දියුණුව කරාගෙන ගිය විජේවර්ධන මහතා ජාතික ආගමික, සංස්කෘතික වශයෙන් පමණක් නොව සාහිත්‍ය කලාව ආදී ක්ෂේත්‍ර තුළින්ද ජනතාවට විශාල සේවයක් කළේ ය. ඒ උදාර පුරුෂයාගේ ජාතිකාභිමානී කටයුතු අපි සදා සමරමු.

මෙවරද මෙම ශ්‍රීමතාණන් අනුස්මරණය කරනු වස් ලේක්හවුස් ආයතනයේ ගරු සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ මහතා ප්‍රධානකොට ඇති අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුග්‍රාහකත්වයෙන් පෙබ. 21 දා සර්වරාත්‍රික ධර්ම දේශනාවක් ද පසුදින 22 වන දා සපිරිකර සංඝගත දක්ෂිණාවක් සහිත පින්කම් මාලාවක් සිදු කිරීමට කටයුතු යොදා ඇත.

අජිත් ධර්මසිරි

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.