සෙනසුරු හතේ නම් විවාහය දෙදරයිද?

මාර්තු 15, 2019

සෞරග්‍රහ මණ්ඩලයට අයත් ග්‍රහයන් අතර සෙනසුරු තරම් ප්‍රචලිත වෙනත් ග්‍රහයෙක් නොමැති තරම්ය. සෙනසුරු කුසීත කම්මැලි ග්‍රහ මණ්ඩලයේ යාචකයා ලෙස හැඳින්වේ. ඔහුට ඇත්තේ මහල්ලෙකුගේ ස්වරූපයකි. මහලු ගතිගුණවලට වඩාත් ප්‍රකට හොඳ හෝ නරක දැනෙන්නට මෙන්ම පෙනෙන් ට දෙන ග්‍රහයා ශනිය.

සෙනසුරු නිරාශාව කෙරෙන වැඩි නැඹුරුවක් ඇති ග්‍රහයෙකු බැවින් හත්වැන්නේ ප්‍රධාන නිවේදක කාරකයා වශයෙන් සැලකෙන විවාහය කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති නොකරයි. මේ නිසා සෙනසුරු හත් වැන්නේ පිහිටි ජන්මීන් විවාහය හා විවාහ ජීවිතය කෙරෙහි තද බල උනන්දුවක් ඇල්මක් නොපෙන්වති. එහෙත් ඔවුන්ගේ විවාහ ජීවිතය ඉතා සැලසුම් සහගත වෙයි. ඔවුන් දැඩි අධිෂ්ඨානයකින් යුතුව විවාහයේ පැවැත්ම ආරක්ෂා කර ගනිමින් ජීවත් වන අතර අභියෝගයන්ට මුහුණ දීමේ ශක්තියක්ද පවතී.

කෙසේ වෙතත් කිසියම් කේන්ද්‍රයක හත් වැන්නේ සෙනසුරු බලවත්ව සිටී නම් එකී ජන්මියා පරෙස්සම් කර උද්‍යෝගිමත්, සකසුරුවම් සහ නිසි පිළිවෙළක් සහිත සහකරුවෙක් හෝ සහකාරියක් ලැබීමේ භාග්‍ය හිමි වේ. එහෙත් ඔහු හෝ ඇය ප්‍රදර්ශනකාමිත්වයෙන් සපුරා බැහැර වන අතර පේ‍්‍රමාලිංගනයේදී සංවේදී හැඟීම් පළ කරන්නේ ඉතා මද වශයෙනි. එමෙන්ම ඔවුනට විවාහය රාජකාරිමය වගකීමක් වැනි වේ.

එමෙන්ම හත් වැන්නේ සිටින ශනි ශුභයන්ගෙන් බලවත් වේ නම් සහකරු හෝ සහකාරිය ජීවිතය ක්‍රමානුකූලව සැලසුම් කරන බුද්ධිමත් අයෙකු වනු ඇත. ගුරුගෙන් බලවත් වු ශනි සහකරුට ධනයට හා වත්කම් ලබා දෙයි. ස්ත්‍රී කේන්ද්‍රයක හත් වැන්නේ ශනි, රවි දෘෂ්ටිමය වශයෙන් සංයෝග වූ විට බලවත් පුරුෂයෙකු හා විවාහ වීමේ භාග්‍ය ලබයි. පුරුෂ කේන්ද්‍රයක ශනි සඳුගේ දෘෂ්ටිය සහිතව යෙදීම සෑම අතින්ම යහපත් යැයි සැලකෙන කාන්තාවක් හා විවාහ වනු ඇත.

සෙනසුරු හත්වැන්නේ පාප ග්‍රහයන් හා සංයෝග වීමෙන් විවාහය විඳීමට නොව විඳ වීමට සලස්වයි. ආගමික හෝ සදාචාරාත්මක බැඳීම් ඔහු හෝ ඇය පෙරටු කර ගනු ලබයි. ස්ත්‍රියකට වයසින් වැඩි හෝ වැන්දඹු පුරුෂයෙකු හා විවාහ වීමට සිදුවේ. පුරුෂ කේන්ද්‍රයක ශනි හත් වැන්නේ පාප පීඩිත වීමෙන් චරිත ශුද්ධියකින් යුත් සහකාරියක් නොලැබෙන අතර නිතර ඒ පිළිබඳව කනස්සල්ලෙන් සිටීමට සිදුවනු ඇත. එමෙන්ම කලත්‍රං, උදාසීනය, කාමාවේශයෙන් හීනය. ධන තෘෂ්ණාවෙන් හිත බරිතය. මෙවන් අඹුසැමි යුවළකට විවාහ සතුට හා සමගිය භුක්ති විඳීමේ අවස්ථාවද විරලය. විවාහ ජීවිතය තුළ ප්‍රසන්න පිබිඳුණු මානසිකත්වයක් නැතත් ඔවුන් වෙන්වීම හෝ දික්කසාදය අපේක්ෂා නොකරනු ඇත.

කෙසේ වෙතත් මකර ලග්න හිමියාගේ හත් වැන්න කටක රාශියයි. කටක රාශිය සෙනසුරුට අයහපත්ම රාශියයි. කටක රාශිගත සෙනසුරුට අඟහරුගේ දෘෂ්ටිය ලැබුණොත් බොහෝ දුරට විවාහ ජීවිතය අසාර්ථක වෙයි.

හත අධිපති ශනි සමඟ සංයෝග වීම ප්‍රබල ලෙස විවාහය ප්‍රමාද කරන ග්‍රහ පිහිටීමකි. කටක හා සිංහ ලග්න හැර ඉහත ග්‍රහ පිහිටීම් අනෙක් සෑම ලග්න හිමියෙකුටම අදාළ වේ. ශනි හත සිටීමත් හත අධිපති ශනි හා සම්බන්ධ වීමත් හත්වැන්නට දෘෂ්ටි වැටීමත් යන අවස්ථා තුනම විවාහය ප්‍රමාද කරන ග්‍රහ යෙදුම් වේ.

ශනි , සිකුරු සංයෝගයද විවාහය ප්‍රමාද වීමට හේතුවක් වේ. ලෞකික සැප සම්පත් නිවේදනය කරන සිකුරු දුක හා නිරාශාව නියෝජනය කරන ශනි සමඟ සංයෝග වීම හෝ දෘෂ්ටි ගත වීම විවාහයට ශුභදායක නොවේ. උදාසීන ග්‍රහයෙකු වශයෙන් ශනි 7 වැන්නේ නිවේදනය වූ විට අන්‍ය ග්‍රහයින්ගේ බලපෑම් අභිභවා විවාහ සතුට නැති කිරීමට මෙන්ම විවාහ කටයුතු පමා කිරීමට ක්‍රියා කරයි. මීන ලග්න හිමියෙකුට ශනි හත් වැන්නෙ වීම සහ හත අධිපති ශනිට පෙනීම විවාහය පිළිබඳව උනන්දුව අඩුකරවන ග්‍රහ බලවේගයක් ලෙස ක්‍රියාත්මක වනු ඇත.

සෙනසුරු හත් වැන්නේ උච්ච නීච, සතුරු හෝ මිතුරු ආදී වශයෙන් පවතින රාශි ගත බල අනුව විපාක දෙනු ඇත. සෙනසුරු හත් වැන්නට දිග්බල ග්‍රහයෙකු වන බැවින් උච්ච වූ අවස්ථාවලදී හත් වැන්නේ නිවේදන කාරකත්වයට ඉතා අහිතකර බලපෑමක් ඇති කරනු යැයි සිතිය නොහැකිය.

මේෂ ලග්නයට හත් වැන්න තුලා රාශියයි ශනි තුලාවෙහි උච්ච වෙයි. මෙහිදි හත් වැන්නෙහි වු ශනිට ගුරුගේ දෘෂ්ටියක්ද ඇති වුවහොත් විවාහය කෙරෙහි ඉතා ශුභ බලපෑමක් ඇති විය හැකිය. කටක ලග්නයට වුවද හත් වැන්නේ ශනි ස්වක්ෂේත්‍ර වන බැවින් ශුභදායක තත්වයක් නිර්මාණය විය හැකිය.

ශනි හත්වැන්නේ වීම විවාහයට අශුභ පිහිටීමක් ලෙස බොහෝ දෙනා උපකල්පනය කළද ඒ ඒ ලග්නයට සහ අනෙකුත් ග්‍රහ බල තත්වයන්ද සැලකිල්ලට ගෙන ශුභ අශුභ විපාක තීරණය කළ යුතුය.

ඡ්‍යොතිෂවේදී තුෂාරා වික්‍රමසිංහ

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.