බුදුරදුන් වැඩි කැලණි පුදබිම

මැයි 17, 2019


කෝට්ටේ යුගය වන විට කැලණි විහාරය සහිත කැලණි පුරවරය ඉතා දියුණු සිත්ගන්නා උසස් තත්ත්වයක පැවති බව සාහිත්‍ය සන්දේශ පෙන්වාදෙයි. මහා විහාර පරම්පරාවේ ථෙරවාදී භික්ෂූන් වහන්සේලාගේ මූලස්ථානය වශයෙන් පුද පූජා ලබන ලද්දේ ද කැලණි විහාරස්ථානයයි.

බුදුරජාණන් වහන්සේගේ පාදස්පර්ශයෙන් අති පවිත්‍ර වූ ඓතිහාසික කැලණි පූජාභූමිය පිළිබඳ ප්‍රකට කරුණු මෙන්ම අප්‍රකට තොරතුරුද වත්මන් කැලණි රජමහා විහාරාධිපති ගෞරවනීය අතිපූජ්‍ය මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමිපාණන් ඒ පිළිබඳ කළ විමසීමකදී මෙසේ හෙළිකරන ලදහ.

බුදුන් වහන්සේ තෙවරක් ශ්‍රී ලංකාවට වැඩම කළ අතර ප්‍රථම ගමනය සම්බුද්ධත්වයෙන් නවවැනි මස යක්ෂයින් දමනයට මහියංගනයටත් දෙවන වර චූලෝදර මහෝදර නාරජවරුන් අතර ඇති වූ අරගලය සමථයකට පත්කිරීම සඳහා බුද්ධත්වයෙන් පස්වැනි වර්ෂයේ දී නාගදීපයටත් වැඩිසේක. එම දෙවනවර නාගදීපයට වැඩි ගමනේ දී කැලණියේ මණිඅක්ඛිත නා රජු සිය රාජධානිය වන කැලණියට වැඩමවන ලෙස උන්වහන්සේට ආරාධනා කළේ ය. එහි ප්‍රතිඵලයක් ලෙස බුද්ධත්වයෙන් අටවැනි වර්ෂයේ දී වෙසක් පෝදිනක පන්සියයක් රහතන් වහන්සේලා සමඟ කැලණියට වැඩම කළහ. තෙවනවර බුදුන්වහන්සේගේ ලංකා ගමනය ශ්‍රී ලාංකික බෞද්ධයන්ට අනෙකුත් ගමන් අවස්ථා දෙකටම වඩා බොහෝ වැදගත් වේ. ඒ පළමුවතාවට උන්වහන්සේ මේ ලංකා භූමිතලය ස්පර්ශ කිරීම නිසාවෙනි. අනෙක් අවස්ථා දෙකේදීම උන්වහන්සේ ආකාශයේ වැඩසිටිමින් ප්‍රාතිහාර්ය පෑම් සහ අවවාද අනුශාසනා දීම සිදුකර ඇත. එහෙත් කැලණියට වැඩමවීමේ වැදගත්කම සනිටුහන් වන්නේ එහිදී උන්වහන්සේ කායිකව භූමි ස්පර්ශය සිදුකළ බැවිනි.

බුදුන්වහන්සේ මෙම ගමනේ දී කැලණි නදියෙන් ජලස්නානය කොට ගඟ අසබඩ ශ්‍රී පාද ලාංඡනය පිහිට වූ බවද පූජාවලියේ සඳහන් වේ. වර්තමාන සෑය පිහිටි තැන වැඩ හිඳ මහ රහතුන් සමඟ දන් වළඳා, මණිඅක්ඛිත නාරජුන් ඇතුළු පිරිසට දහම් දෙසා ඇත. දම් දෙසීමට වැඩ සිටි රත්න මණ්ඩපයෙහි මණිපල්ලංකය තැන්පත් කර පළමු ස්ථුපයත් ජලස්නානය සඳහා පොරවූ ජලසාටකය තැන්පත් කර දෙවන ස්තූපයක්ද කරවූ බවත් සඳහන් සෙල්ලිපි හමු වී ඇත. මණි අක්ඛිත නා රජු විසින් ගොඩනැඟූ කැලණි චෛත්‍යය ක්‍රි.පූ. තෙවන සියවසේ දී පමණ ප්‍රාදේශීය පාලකයකු වූ උත්තිය කුමරු නැවත පිළිසකර කර විහාර මන්දිරයක්ද සංඝ වාසයක්ද ඉදිකර ඇත. උත්තිය කුමරුගේ ඥාති පුත්‍රයෙකු වූ යඨාලතිස්ස කුමරු පසුව පස්මහල් ප්‍රාසාදයක් විහාරයට එක්කළ බවද සඳහන් වේ.

අන්තිමට මෙහි පාලනය සිදුකළේ උත්තිය කුමරුගේ මුණුබුරකු වූ කැලණිතිස්ස රජතුමා ය. රජුගේ බිසව සම්බන්ධ කරුණකදී ඇති කරගත් සැකයක් හේතුවෙන් නිර්දෝෂී රහතන්වහන්සේ නමක් තෙල් කටාරමක ලා දවා මරණයට පත්කළ සාපය නිසා මහසයුර ගොඩගලන්නට ගත් බවත් කැලණිතිස් රජදියණිය දේවී කුමරිය මුහුදට බිලිවීමෙන් වන්නට ගිය මහා විනාශය නැවතුණු බවත් ප්‍රකාශ වේ. රුහුණෙන් ගොඩබට විහාර මහා දේවි කුමරිය කාවන්තිස්ස රජුගේ මෙහෙසිය බවට පත්වීමෙන් පසු කැලණි පුරවරය රෝහණයට යටත්විය. දුටුගැමුණු රජ සමයේ දී කැලණි විහාරයේ පන්සියයක් පමණ භික්ෂූන් වහන්සේලා විසූ බවත් ප්‍රධාන භික්ෂු මධ්‍යස්ථානයක් ලෙස පැවති බවත් සඳහන් ය.

ක්‍රි.ව. 1213 දී කාලිංග මාඝ සතුරු උවදුර නිසා විහාරස්ථානය විනාශයට පත්විය. සතුරන් පරදවා රජවන තුන්වන විජයබාහු රජතුමා කැලණි චෛත්‍යය නැවත සාදා ස්වර්ණමය කොතක් ද වාහල්කඩක්ද පිළිම ගෙවල් සහ පවුරු වළලු ආදිය ප්‍රතිසංස්කරණය කළ බව මහාවංශයේ 81 වන පරිච්ඡේදයේ සඳහන් වේ.

කෝට්ටේ යුගය වන විට කැලණි විහාරය සහිත කැලණි පුරවරය ඉතා දියුණු සිත්ගන්නා උසස් තත්ත්වයක පැවති බව සාහිත්‍ය සන්දේශ පෙන්වාදෙයි. මහා විහාර පරම්පරාවේ ථෙරවාදී භික්ෂූන් වහන්සේලාගේ මූලස්ථානය වශයෙන් පුද පූජා ලබන ලද්දේ ද කැලණි විහාරස්ථානයයි. එකල ලොව පුරා එහි කීර්තිය, වටිනාකම පැතිරී ගොස් තිබුණි. ක්‍රි.ව. 1475 දී බුරුම රටේ භික්ෂූන් හතළිස් නමක් කැලණි විහාරයේ මූලිකත්වයෙන් උපසම්පදාවේ පිහිටවා බුරුම රටේ නැති වී ගිය උපසම්පදාව නැවත ස්ථාපිත කිරීමේ ගෞරවය ද හිමි කර ගනී.

පෘතුගීසි ආක්‍රමණයෙන් පසු නැවත කැලණි විහාරය විනාශ මුඛයට ළඟාවිය. 1555 දී ධර්මපාල කුමරු දොන් ජුවන් ධර්මපාල ලෙසට අන්‍ය භක්තිකයකු වී විහාර භූමිය ෆ්‍රැන්සිස්කන් නැමැති පූජක සභාවට පවරා දෙන ලද අතර 1557 දී ඔවුන් කැලණි විහාරය බිඳහෙලා ගිනිබත් කර භූමිය තුළ බුදුදහම ඇදහීමද තහනම් කරන ලදී. 1692 දී ලන්දේසීන්ගෙන් ද බලපෑම් එල්ලවුවත් සියලු බාධක දරාගෙන භික්ෂූන් වහන්සේලා දිගින් දිගටම විහාරයට පැමිණ ආගමික කටයුතු සිදුකර ඇත. මේ ප්‍රශ්නයට සහනයක් සැලසුණේ 1767 දී ය. එවකට සිටි ලන්දේසි ආණ්ඩුකාරවරයා කීර්ති ශ්‍රී රාජසිංහ රජු සතුටු කිරීමට කැලණි චෛත්‍යය ප්‍රතිසංස්කරණය කිරීමට අවසර දෙන ලදී. ඉන්පසු නැවත විහාර කර්මාන්ත සහ සඟ පරපුරෙ ආරම්භය විය.1927 දී හෙලේනා විජයවර්ධන මැතිනියගේ ධන පරිත්‍යාගයෙන් නව විහාර මන්දිරයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන ලද අතර 1946 දෙසැම්බර් 28 දින එය නිමාකොට විවෘත කරන ලදී. සෝලියස් මැන්දිස් නැමැති ප්‍රතිභාපූර්ණ චිත්‍ර ශිල්පියා මෙහි චිත්‍ර සිතුවම් කර ඇත.

අද වන විට තුන්වාහල්කඩ, සංඝාවාස, දානශාලා, ධර්මශාලා, ශෛලමය පියගැටපෙළ සහ ධාතු මන්දිරය ඉදිවීමෙන් විහාරයට නව ආලෝකයක් ලැබී ඇත. මෙරට පමණක් නොව විදේශිකයන්ගේ ද ආකර්ෂණය දිනාගත් මේ සිත නිවන පින්බිම බබලවමින් සධාතුක කරඬුව රැගත් දුරුතු මහා පෙරහර වසරක් පාසා දුරුතු පොහොයට උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ.

මේ සියල්ලටම විහාරාධිපති ගුරු කටයුතු නාහිමිපාණන් වහන්සේගේ අප්‍රතිහත ධෛර්යය, සංවිධාන ශක්තිය මඟ පෙන්වීම හේතු වී ඇත. විහාරස්ථානයේ වැඩ වෙසෙන සෙසු ස්වාමීන්වහන්සේලාගේ මෙන්ම දායකකාරකාදීන්ගේ සහයෝගය දායකත්වය ද විහාරස්ථානයේ දියුණුවට බෙහෙවින් ඉවහල් වී ඇත.

සටහන - කැලණියේ
චම්පා කෝදාගොඩ

 


 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
15 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.