අගතියෙන් මිදෙන්නට ඔබට ඇති මඟ

මැයි 17, 2019

 

“සෙන්පති සතුරගේ ගෙදරට” යන ශීර්ෂ පාඨයෙන් 2019.05.19 සුබසෙත පුවත්පත කළ ඡ්‍යොතිෂ අනාවරණයේ උණුසුම යන්නටත් පෙර ඊට දින දෙකකට පසු ශ්‍රී ලංකා වාසී මානවයින් භීතියට ත්‍රාසයට පත් කරමින් ත්‍රස්තවාදීන්ගේ මහා සමාජ ව්‍යසනයකට මුහුණදීමට සිදුවිය.

තිස්වසරක සාපරාධී ත්‍රස්තවාදයට තිත තබා තිබූ අපට එම සිදුවීම අදහාගන්නටවත් බැරි තරම් විය. මෙම ග්‍රහ තත්ත්වය අනුව 2019 ජූනි 22 පසුවන තුරුම මෙම අමිහිරි සිදුවීම් විටින් විට තවදුරටත් සිදු නොවනු ඇතැයි සිතීමට නුපුළුවන.

අවිගෙන අවියෙන්ම නැසෙන ඒ පමණක් නොව අහිංසකයින් මරා දමන මේ රුදුරු ත්‍රස්තවාදයට තිත තැබීමට බෞද්ධ, ක්‍රිස්තියානි, හින්දු, ඉස්ලාම් වන කොයි කවුරු වේවා නිරායුධ ඔබ අපට ඇති එකම පිළිසරණ සිය ආගමයි. එදා කොටි ත්‍රස්තවාදී උවදුර උග්‍රව සටන කොයි අතට හැරේවිදෝ යන සැක සංකා මතු වුවද, සිංහල බෞද්ධයින් සිය ආගමික ස්ථාන සෑම එකකම වාගේ එකට එකතුව එකාමෙන් පෙළ ගැසී බෝධිපූජා තබන්නට වූහ. සෙත් පිරිත් සජ්ඣායනා කරන්නට වූහ. කතෝලික බැතිමතුන්, හින්දු, ඉස්ලාම්, බැතිමතුන් සාමය උදෙසා විවිධ ස්ථානවල පුද පූජා යාඤ්ඤා කරන්නට වූහ. එහෙත් ජාති ආගම් බේද නොසලකන සුළු පිරිසකගේ මේ නොමනා ක්‍රියා කලාපය මුලිනුපුටා දමන්නට අප කොයිකාටත් හැකියාව ඇත.

කෙනෙකුට එරෙහිව පෙළපාලි යනවා වෙනුවට අපේ සියලු සංඝ සභාව එකට එකතුව පන්සලක් පන්සලක් ගානේ බෝධියක්, බෝධියක් ගානේ සෙත්කවි, බෝධි පූජා, සෙත් පිරිත් සජ්ඣායනා කළයුතු කාලය එළඹ තිබේ. බුද්ධ කාලයේ පවා පැමිණි සංහාර, නියඟ වසංගත පවා ක්ෂණයෙන් අතුගා දමන්නට ගායනා කළ කරණීය මෙත්ත සූත්‍රය වැනි උතුම් සජ්ඣායනා අප අතර කොතෙකුත් ඇත. බුදුහමට අනුව අවි ගත් පිරිසට ප්‍රති ප්‍රහාර දැක්විය හැකි එකම අවිය සිය ආගම නොවන්නේද. එම නියම අවිය අප ළඟ තබාගෙන අප තැන තැන නන් දොඩවන්නේ වාද විවාද ඇති වන්නේ කුමකටද, යි සිතා නිසි මඟ අනුගමනය කිරීමට අපි සිතමු.

ඒ අනුව පහත සඳහන් බලවත් සෙත් කවිය උපුටාගෙන විහාරස්ථානවල පුණ්‍යවන්ත සමිති සමාගම්වල පිරිස් එකතු වී මේ උතුම් වෙසක් සමයේ ගායනා කිරීමට එකතු වෙමු. මෙය රටවාසි සැමට ආශීර්වාදයක්ම වේවා!

දිසි සසුන බුදු බල රැසින ලෝකුරු සතුන වෙත පතල සුව දෙන
සිසි නුවණ හරිහර, ගොවිඳු, විභිෂන, සමන් දෙව් දියත සුර කින
කිසි දුකක් ගණගාටුවක් හිමි නොවන ලෙස සත සිතට යෙහෙ කින
නිසි සුවය සැනසුම දෙවා අසමගිය හැර සිත් පහන් කළ මැන

 

අජිත් ධර්මසිරි

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.