පනස් වස් සපුරන සුබසෙත “චිරං ජයතු”

මැයි 31, 2019


ආර්.ඇම්. අරුණ සම්පත් රත්නායක පංචාලි ඡ්‍යොතිෂායුර්වේදායතනය

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර නමින් සුපතල ලේක්හවුස් ආයතනය විසින් 1969 මැයි 28 දින කුඩා දරුවකුසේ බිහිවූ සුබසෙත වසර 50 ක් නොකඩවා ඡ්‍යොතිෂ හා ආයුර්වේද ලිපි හරවත් ලෙස ඉදිරිපත් කරමින් “සත වෙත සිරිසෙත සලසන සතිපත” ලෙස පාඨයේ අර්ථාන්විතයටම ගැළපෙන සැමට එකසේ ප්‍රයෝජනවත් පුවත්පතකි.

‘සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු, ධීවර, සිසු යන සප්ත මහා බලවේගය ඇතුළු සමස්ත ශ්‍රී ලාංකීය සැමට එකසේ ප්‍රයෝජනවත් වූ පුවත්පතක් ලෙස ඉඳුරාම කිව හැකිය.

බෞද්ධ ධර්මය, ආයුර්වේදය ,ඡ්‍යොතිෂ්‍ය, වාස්තු විද්‍යාව, ගෘහ නිර්මාණ ශිල්පය ඇතුළු බොහෝ විද්‍යාවන්හි ඇතුළත් විෂය කරුණු ඉතා සරලව ඉදිරිපත් කරමින් සෑම සතියකම , කිවිදිනක අප අතට පත්වන සුබසෙත සැමගේ විශ්වකෝෂයක් බඳුය. ආයුර්වේද වෛද්‍ය ක්‍රමය අෂ්ටාංගායුර්වේදයෙන් සමන්විත වන අතර චරක, සුශ්‍රැත , වාග්භට ආදි පුරාණ ඍෂිවරුන් අනුදත් ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රයේ කායික රෝග, බාල රෝග, සර්පවිෂ විද්‍යාව, ග්‍රහ දෝෂ, ශල්‍ය ශාලක්‍ය, රසායන හා වාජීකරණ චිකිත්සාවන්ද පසුකලෙක ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට එක්වූ රසවෙදකම මේසා විශාල ශාස්ත්‍රීය දැනුම් සම්භාරයක ලිපි ඉතාම විද්‍යාත්මක ශාස්ත්‍රීය ලිපි සඳහා සුබසෙත පුවත්පත පිටු ගණනාවක් ඉඩකඩ වෙන් කරලන්නේය. ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ මූලික අරමුණු වූ නිරෝගී පුද්ගලයින්ගේ නිරෝගීතාවය ආරක්ෂා කරගැනීමටත්, රෝගී වූවන්, රෝගවලින් සුවපත් කරලීමත්, මහෝපකාරිවන පංචකර්ම චිකිත්සාව හෙවත් වමන, විරේක වස්ති, නස්‍ය රක්තමෝක්ෂණ චිකිත්සාවලිය හා බැඳී ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍යයන් මෙන්ම සැමටම උපකාරිවන ලිපි අන්තර්ගතවීම මෙන්ම එක් අංශයක පමණක් ලිපි නොව විෂයානුබද්ද සෑම දෙයක්ම සුබසෙත පුවත්පත මඟින් ලබා දීම වඩාත්ම කාලෝචිතවනවා ඇත.

එසේම ශරීරයේ ඒ ඒ දෝෂ අනුව ඖෂධ වර්ගීකරණය හා ඖෂධවල අඩංගු රස, ගුණ, වීර්්‍ය, විපාක සහ ප්‍රභාව පිළිබඳවත්, ඖෂධ වගාව සංරක්ෂණය කල්තබා ගැනීම, ඖෂධ නොගතයුතු ගත හා යුතු ස්ථාන, කුඩා පැලෑටි පඳුරු ලොකු කුඩා ගස් හා වැල් වශයෙන් ඇති ඖෂධ හා ඒවායින් ප්‍රයෝජනය සඳහා ගනු ලබන කොළ, මල්, ගෙඩි, පොතු, මුල්, අල ආදිය ගත යුතු කාලවකවානුවන් හා ඖෂධ නිෂ්පාදනයට යොදාගන්නා ආකාරය පූර්ව ඖෂධ ශාක පිළිබඳව ලිපි අන්තර්ගතය. පාසැල් අධ්‍යාපන කාලයේ සිට විශ්වවිද්‍යාල ප්‍රවේශයේ විවිධ ශාස්ත්‍රිය කරුණු සඳහා මෙම ලිපි වැදගත්වන අතර සුබසෙත ගුරුවරයකු සේ ඉටුකළ මෙහෙය ඉතා අගනේය.

ආයුර්වේද ශාස්ත්‍රීය ලිපිවලට අමතරව ඡ්‍යොතිෂ් ශාස්ත්‍රයද එයට ඇතුළත්වීම තුළ අංග සම්පූර්ණ ඡ්‍යොතිෂායුර්වේද පුවත්පතක් ලෙස අප අතට පත්වෙයි. මෙහි ඡ්‍යොතිෂ්‍ය ලිපි සම්බන්ධව වචනයක් කිව යුතුයි.

සූර්ය දෙවියන් පළමුකොට මානව වර්ගයා හිත සුව පිණිස තුන් කල් දකිනා විශිෂ්ට පරාශර නාරද .පුලස්ති, ආදි මහා ඍෂිවරුන් විසින් හා දහස්ගණන් ශ්‍රේෂ්ඨ පඬිවරු විසින් පෝෂණය කළ ශාස්ත්‍රයයි. මහා සාගරය මෙන් පරක් තෙරක් නොපෙනෙන ඡ්‍යොතිෂ්‍ය ශාස්ත්‍රය තුළින් ඡ්‍යොතිෂයේ එක් එක් අංශ නිර්මාණාත්මකව ලිපි රචනයෙන් ලංකාව පුරා විසිරී සිටින ඡ්‍යොතිෂවේදින්ට තම අදහස් ප්‍රකාශයට අවස්ථාව ලබා දීම , යම් ශාස්ත්‍රයක් යට ගියාව වැලලී නොගොස් අද මේ දක්වා බැබලීමට සුබසෙත පුවත්පතට හැකිවීම යුගයේ මා හැඟි දායාදයකි. විශේෂයෙන් වර්තමානයේ දක්ෂතා ඇති නිවැරදි අනාගත පලාපල ඉදිරි අනාගත සිදුවීම් ගෙන හැර දක්වන්නේ රටේත් මහජනතාවගේත් දැනගැනීම පිණිසයි. නිවරදිව කියු අනාගත කතු වැකි සිදුවී ඇත. එම නිසා පනස් වසරක් පුරා වැලලී යෑමට ඉඩ තිබූ මෙම අගනා ශාස්ත්‍රය වර්තමාන පරපුරටද එකතුකරමින් හරවත් කලෝචිත ලිපි ඉදිරිපත් වීම සුබසෙත පරිශීලන ඡ්‍යොතිෂවේදින්ගේ දැනුමට මහත් පිටිවහලක් වූ බව නිසකය.

මේ ලිපිය ලියන මාද, වර්ෂ 2000 ආයුර්වේද වෛද්‍ය ශිෂ්‍යයකු ලෙසින් අත්පොත් තැබු මොහොතේ සිට පරිශීලනය කළ පුවත්පත ලෙස සුබසෙතට මුල්තැන හිමිවේ. ආයුර්වේද ශාස්ත්‍රි ඩිප්ලෝමා විභාගය සඳහා එම කාලවකවානු තුළ කොළඹ විශ්වවිද්‍යාලයේ ආයුර්වේද කථිකාචාර්යවරු විසින් ලබා දුන් හරවත් ලිපි විටෙක අපගේ විභාග සඳහාද මහෝපකාරිවිය.

සුබසෙත හා කුඩාකල සිටම අධ්‍යාපනය සමඟ බැඳුණු අප මා ඇතුළු බොහෝ දෙනෙකුට ලේඛන කලාවට මග හෙළිකළ අපේ කාලයේ වටිනාම ඡ්‍යොතිෂායුර්වේද පුවත්පතක් ලෙස අවිවාදයෙන්ම කිව යුතුයි. විටෙක අප ලබා දෙන ලිපි සකස් කිරීමේ දී හා සෝදු පත්‍රය කියවීමේදී ලිපියේ වැරදි දෝෂ තිබුණොත් එය නිවැරදිව සකසා පත්‍රයේ පලවෙයි. එය මා අත්දැකීමෙන් දනියි.මේසා පනස් වසරක් සපිරෙන සුබසෙත වත්මන් නියමුවෝ ලෙස කටයුතු කරන ප්‍රධාන කර්තෘ අජිත් ධර්මසිරි මහතා ඇතුළුව සමස්ත කතු මඬුල්ල පුවත්පත මුද්‍රණ අංශයේ සියලු දෙනාටම අප සැමගේ හදපිරි ස්තුතිය ප්‍රකාශ කරන්නේ රටටම හරවත් දෙයක් අර්ථාන්විත දෙයක් ඉදිරිපත් කර සමාජයට යහපතක් උදාකරලන නිසාවෙනි. සුබසෙත ගුරුතුමනි ඔබට චිරං ජයතු!

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
16 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.