පහතරට බෙරය

මැයි 31, 2019

ශාන්තිකර්ම සඳහා බෙරවාදනය කිරීම ප්‍රධාන වශයෙන් පහතරට ප්‍රදේශයේ සිදුවේ යක් තොවිල් දේව තොවිල් හා බලි තොවිල් ඒ අතර වේ. පිරිත් පින්කම්වලදීද පහතරට බෙරයට ලැබෙන්නේ ප්‍රමුඛස්ථානයකි.

පතර තම තිස් පෙරුම් සපුරා බුදුව වැඩ සිටි විදුරදුන්පිට

සතර නොම දෙන එතැන් කෝටිය දෙවියො වැඩියයි එබදු මඟුලට

පතර ගඳබය එතැන වැඩසිට තිගවු බෙරයක් ඉන දරා සිට

සතර අත පළමුවෙන් ගැසුවයි මෙ අප මුනිදුගෙ නමස්කාරෙට

පහතරට ශාන්තිකර්මවලදී මෙන්ම පිරිත් පින්කම්වලදීද නාට්‍ය නාටක නැටුම්වලදීද ප්‍රධාන වාද්‍ය භාණ්ඩයක් ලෙස යොදාගනු ලබන පහත රට බෙරය, රුහුණු බෙරය, දෙවොල් බෙරය, යක් බෙරය, පනාබෙරය, දික් බෙරය, දෑත හරි බෙරය, වැල්ලකර බෙරය හා කිඳුරු බෙරය යන නාමයන්ගෙන්ද හඳුන්වති. මෙම පහතරට බෙරය නොහොත් යක් බෙරය වැඩි වශයෙන් මාතර, බෙන්තර හා රයිගම් කෝරළය වශයෙන් යන ප්‍රදේශවල භාවිත කෙරේ.

තොවිල්වලදී බලිශාන්ති යාග කර්මවලදී රුහුණු බෙරයට ලැබෙන්නේ ප්‍රමුඛස්ථානයකි. පංචශික දිව්‍ය පුත්‍රයා සක් රජු ඉදිරියේ බෙරය වාදනය කළ පසු එතන සිටි මහා සම්මත රජු එම වාදනය අසා බෙරය දැක මහත් පී‍්‍රතියට පත් වූ බවත් එහි සිටි සසබ්බ නම් බමුණා, බෙරවාදන ශිල්පය ඉගෙන ගෙන නර ලොවට ගෙන ආ බවත් පුරාවෘත්තවලින් දැක්වේ.

එමෙන්ම බෙරයේ උපත ගැන සඳහන් කිරීමේ දී තවත් තොරතුරු රැසක්ම සඳහන්ව ඇත උමයාංගනාවගේ ප්‍රකෝපගතිය ඉවත් කිරීම සඳහා ඊස්වර සතර පද හෙවත් බීජාක්ෂර වාදනය කොට නර්තනයේ යෙදුණු බව ද කියති. ශාන්තිකර්මවලදී මෙන්ම විවාහ මංගල්‍ය මෙන්ම උත්සවවලදී මඟුල් බෙර වාදනය සඳහා බොහෝවිට යොදාගනු ලබන්නේ රුහුණු බෙරයයි. මඟුල් බෙර වාදනයේදී දෙවිවරුන් පිළිබඳ ගායනා කෙරෙන අතර තෙරුවන් නැමැදමින් තෙරුවන් ගුණද ගායනා කරති. මෙම බෙර වාදනයේ දී ත්‍රිවිධරත්නය සිහිපත්කරමින් ශ්ලෝක හා සන්න ගැයීමද සිදුවේ. විශේෂයෙන් මඟුල්බෙර වාදනයේ දී බෞද්ධ චින්තනය පාදක කොටගෙන මඟුල් බෙර වාදනය කෙරේ.

බෝසතුන් වහන්සේ බුද්ධත්වයට පත් වූ දින ගාන්ධර්ව දිව්‍ය පුත්‍රයා බීජාක්ෂර සතර මුල්කොට බෙර වාදනය කර ඇත. බුදුන්වහන්සේ මූලික කොට එය වාදනය කොට තිබේ. දේශීය තූර්ය වාදන, භාණ්ඩවල පුරාවෘත්තත අනුව සඳහන් වන්නේ ගාන්ධර්ව නම් දෙවියකු සෑම උප්පත්ති කථාවකටම සම්බන්ධව සිටින බවයි. එම දෙවියන් ගාන්ධර්ව දිව්‍යපුත්‍රයා දෙව්ලොව වෙසෙන සංගීතඥයා බවද සඳහන්ව ඇත. ගාන්ධර්ව දිව්‍ය පුත්‍රයා මංගල්‍ය අවස්ථාවලදී තුන්ගව් දිගබෙරයක් ඉන දරාගෙන විත් බුදුන් වහන්සේට උපහාර වශයෙන් වාදනය කළ බැව් පුරාවෘත්තයන්ගෙන් හෙළිදරුව් වේ. තුන් ගවු දිග බෙරයක් ඉන්දරා යයි සඳහන් කොට ඇත්තේ ගාන්ධර්ව දිව්‍යපුත්‍රයා බුදුන් වහන්සේට පහළින් සිටි බව පෙන්වීමට යයි ද කියති.

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

මෙම ලිපිය සැකසීමේදී සංස්කෘතික දෙපාර්තමේන්තුවේ (1988) පාරම්පරික බෙර කලාපයේ කරුණුද උපයෝගිකරගත් බව කාරුණිකව දන්වනු කැමැත්තෙමි.

 

පාරම්පරික ඡ්‍යොතිෂවේදී,

ඡ්‍යොතිෂ, විද්‍යානිධි, ඡ්‍යොතිෂ්ශාස්ත්‍රඥ

මොරටුවේ

තිස්ස මහානාම

 

සටහන

බී.එල්. ප්‍රේමරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.