බලගතු නැකතක මහිමයමහා ගස් කන්දක්ව පැවති “මහා චේතිය” පාදාගන්නට නාරන්විට සුමනසාර නාහිමියන් සෑදු නැකත

ජුනි 7, 2019

කුරුණෑගල ප්‍රදේශයේ ඉපැරණි විහාරස්ථානයක විහාරාධිපතිව වැඩ විසූ පූජ්‍ය නාරන්විට සුමනසාර හිමියනට එක් දිනෙක සිතුනේ තම දායකයින් කිහිපදෙනෙකු සමඟ අනුරාධපුරයේ රුවන්මැලි මහා චෛත්‍යය වන්දනාමාන කර ගැනීමට යායුතු බවය. ඒ අදහස කී පසුව දායකයන් දහදෙනෙකු මේ ගමනට එකතු වූහ. ඉන් එක් අයකු තම බර බාගයක් සමඟ ලකලෑස්ති වූයේ මඟ දී උයා පිහා ගන්ට අවශ්‍ය දේද ගෙන යා හැකි බැවිනි. එසේම යම් යම් අවස්ථාවලදී නාරන්විට නාහිමියන්ටද එහි නැඟී ගමන යා හැකි බැවිනි.

තමන් ගිහි කාලයේ කුඩා දරුවකුව සිටියදී මවුපියන්ද සමඟ රුවන්මැලි මහාචේතිය වන්දනාවට ගිය පසු මේ යන්නේද බලවත් ශ්‍රද්ධා භක්තියකින් යුතුවය. තම දායක පිරිසද තමන් සේම සැදැහැසිතින් යුතුව මේ ගමනට සහාය දීම පිළිබඳවද නාරන්විට හිමියෝ සතුටට පත්ව සිටියහ. දින දෙකක පමණ ගමනකින් පසුව අනුරාධපුරයට පැමිණ රුවන්මැලි මහා සෑය ඉදිරියට පැමිණ නාරන්විට හිමියන් ඇතුළු වන්දනා පිරිස එහිදී දුටු දෙයින් අතිශයින්ම මවිතයට පත් වූහ. තමන් කුඩා කාලයේ දී දැක තිබූ මහා චෛත්‍යය මේ වන විට බඳ පුරා ගස්වැල් වැවී එකම කන්දක් සේ දිස් විය. කරුණුකාරණා සොයා බලන විට අසන්නට ලැබුණේ දැන් මහා චේතියේ වතාවක් සඳහා ඉතිරිව සිටින්නේ වයස්ගත නාහිමි නමකුත් තරුණ හිමිවරු දෙනමකුත් වැඩ කටයුතුවලට වයසක දෙදෙනෙකුත් තරුණයෙකුත් පමණක් බවය.

පාරම්පරිකව කෙරෙන ආගමික වතාවත් මහා චේතිය උදෙසා ඔවුන්ගෙන් සිදු කෙරෙන නුමුදු අනෙකුත් කටයුතු ගැන සොයා බැලීමට ඔවුනට ඉඩක් වේලාවක් නොමැති බවත් ය. ඒ හා සමඟම මහා චේතිය සම්බන්ධයෙන් කරුණු සොයා බලන ඉංගී‍්‍රසි ආණ්ඩුවේ නිලධාරීන් හෝ වගකිවයුතු පැවිදි හෝ ගිහි අය හෝ කාලෙකින් එහි නොපැමිණි නිසා මෙම කටයුතු තමනට හැකි අයුරින් කරගෙන යන බවය. ඉංගී‍්‍රසි ආණ්ඩුවේ මෙම පළාතේ සිටින දිසාපතිවරයා මෙම මහා චේතිය කැලේට ඇර තිබෙන නිසා මෙවන් වූ අවාසනාවන්ත තත්ත්වයකට මුහුණ පා ඇති බවය.

මෙම තත්ත්වය දෙසවන් පුරා ඇසීමෙන්ද දෙඇස් පුරා දැකීමෙන්ද සුමනසාර නාහිමියන් සාතිශය සංවේගයට පත්වූහ. එහි වැඩ සිටින හාමුදුරුවරුන් තෙනම සමඟ ද කතාබහ කර හැකි පමණින් පුද පූජා පවත්වා වන්දනාමාන කළ ඒ හිමියන්ට අසන්ට ලැබුණේ මෙසේ මහා චේතිය වන්දනාවට දුර බැහැරකින් පැමිණෙන්නේ ඉතාමත්ම කලාතුරකින් බවය. එම ප්‍රවෘත්තියත් ඇසීමෙන්ද උන්වහන්සේ දෙවැනි වරටත් සිතින් සංවේගයට පත් වූහ.

තමන් හා දායකයින් විසින් ගෙන එන ලද ආහාර ද්‍රව්‍යයන් උපයෝගී කරගෙන පසුවදා මහා සෑයේ නේවාසික භික්ෂූන් වහන්සේලා දෙතනමකටද දානය පිරිනැමීමටද නාරන්විට සුමනසාර නාහිමියෝ සමත් වූහ. ඒ පින් පෙත් දුටුගැමුණු රාජෝත්තමයාණන් ඇතුළු එදා, මෙදා පිරිසටද පින් අනුමෝදන් කිරීමෙන් අනතුරුව නාරන්විට හිමියෝ බලවත් අධිෂ්ඨානයට පත්ව සිය සිත එකඟ කර ගත්හ. එය නම් කවර ලෙසකින් හෝ මෙම මහා චේතිය පිළිසකර කිරීමට තමන් වහන්සේ මූලික විය යුතු බවය.

දානයෙනුත් පිං දීමෙනුත් පසුව එහි භාරකාර නාහිමියන් පාමුල වැඳ වැටුන නාරංවිට සුමනසාර හිමියෝ ‘හාමුදුරුවනේ මම තව ටික කලකින්ම මේ ගස් කොළන් කපා මහා සෑය පිළිසකර කිරීමේ කටයුත්තක යෙදෙනවා. ‘ යනුවෙන් තිරසාර හඬින් කියා සිටියහ.

‘තෙරුවන් සරණින් ඔබ වහන්සේට ඒ කටයුත්ත කරන්නට සියලු දෙවි දේවතාවුන්ගේ පිහිටත් ලැබේවා ! යනුවෙන් මෙවිට එම නාහිමියන් කීවේ දෑසේ පිරුණු සතුටු කඳුළු සහිතවමය.

එදා සිය දායකයන් සමඟ යළිත් කුරුණෑගල සිය විහාරස්ථානය කරා පැමිණි නාරංවිට නාහිමියෝ ඉන් දින දෙකකට පසුව සියලුම දායක කාරකාදීන් එක් රැස් කරවා අනුරාධපුරයේ රුවන්මැලි මහා චේතියට අත් වී තිබෙන ඉරණම පිළිබඳව සියලු පුවත් ඔවුන් හමුවේ විවරණය කළහ. මෙම අවස්ථාවට අහළ පහළ විහාරස්ථාන කීපයකම නායක හිමිවරුන් ද වැඩමවා ගන්නා ලදහ. මෙෙවිලේ එහි රැස්ව සිටි සියලු දෙනාම ‘මහා චේතියට’ මෙවන් ඉරණමක් අත්වී තිබෙන බව ප්‍රථම වරට දැන ගන්ට ලැබීමෙන් අතිශයින්ම ශෝකයට පත් වූහ. ‘රුවන්මැලි මහා සෑයට දැන් අත්වෙලා තිබෙන ඉරණම දැකලා මගෙ පපුව කඩා වැටුණා වගේ වුණා. අපි කොහොම හරි මේ තත්ත්වය වෙනස් කරලා කලින් දුටුගැමුණු රාජෝත්තමයා ඇති කළ රුවන්මැලි මහා රාජයා ඉස්මතු කරන්න ඕනෑ. මා හිතනවා මගේ මේ දායක කාරකාදී පිරිසත් මේ අපේ වැඩ සිටින නායක හාමුදුරුවනුත් මේ උදාර සාසනික කටයුත්තට තම තමන්ගේ දායකකාරකාදීන් දැනුවත් කරලා අපට සහයෝගය ලබාදෙනවා නම් හොඳයි.

මම කල්පනා කළා මේ මගේ දායකයින් අතරින් වැඩි පවුල් බරක් නැති සවිමත් තරුණයන් විසි දෙනෙකු තෝරා ගෙන, උදළු, කැති, මන්නා, පොරෝ, කියත් වැනි උපකරණත් එකතු කරගෙන බර කරත්තයක උයන පිහින දේවලුත් රැගෙන ලබන පොහොයට කලින් අනුරාධපුරයට යන්න. මම ඒ ගමන යන්න නැකතකුත් හැදුවා. ඒ ගමන් හා හා පුරා කියා මහා චේතියේ වැවී තිබෙන ගසක් කපන්න පොරෝ පහරක් ගහන්නත් ප්‍රබල නැකතක් හදලා තියෙනවා. මම හිතනවා මේ කටයුත්ත කරන්න අපට හැකි වුණොත් මේ පළාතටම ගෞරවයකුත් ශාසනික දියුණුවකුත් ඇතිවෙයි කියා. මා දැන් කියා සිටිනවා අපේ මේ හිතවත් හාමුදුරුවරු හතර නමට තව තවත් තම දායකකාරකාදීන් මේ ගැන දැනුවත් කරලා මෙම ශාසනික කටයුත්තට හැම අතින්ම සහාය ලබදෙනවා නම් හොඳයි’’ යනුවෙන් පිරිස ඉදිරියේ මෙම ශාසනික සංග්‍රහය පිළිබඳ තොරතුරු කියා සිටියහ.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

සෝමසිරි කස්තුරිආරච්චි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 14 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.