ඓතිහාසික පොසොන් පෝදා

ජුනි 14, 2019

ලෝකයේ මෙන්ම ලංකා ඉතිහාසයේද විවිධ කාල වකවානු තුළදී සිදුවූ සිදුවීම් නිසා රාජ්‍ය හා සමාජ සංස්කෘතීන් තුළ ඇති වූ වෙනස්කම් විප්ලවයන් ලෙස සලකනු ලබයි. එවන් බොහෝ අවස්ථාවලදී කලකෝලාහල, ලේ වැගිරීම් හා ජීවිතවලට හා දේපළ වලට ද හානි සිදුවී තිබේ.

ඉන්දියාවේ අශෝක රජතුමාද විප්ලවීය සිතුම් පැතුම් ඇති යුදකාමී මහා රජෙකු ලෙස මුළු ඉන්දියාවේම තමාගේ ආධිපත්‍ය තහවුරු කරගනිමින් අධිරාජ්‍යයකු බවට පත්වූවෙකි. ලිඛිත ඉතිහාසගත තොරතුරු අනුව කාලිංග දේශය යටත් කර ගැනීමට යාමේ දී බොහෝ ජීවිත හානි මෙන්ම අත්පා අහිමි වී දුකට පත් වූ අයද ඥාති ව්‍යසනයන්ද නිසා මිනිසුන් තුළ හටගත් තැතිගැන්වීම් හා දුක් පීඩා දැක බොහෝ කනස්සල්ලට පත් වී බුදුදහම තුළින් තමන්ට ලැබුණු ධර්මයේ පිහිට නිසා එම දහම ප්‍රචලිත කරමින් අසූහාර දහසක් වෙහෙර විහාර කරවූහ. එසේම යුද්ධ වෙනුවට රටවල් දිනාගැනීමට ධර්ම විජය ප්‍රතිපත්තියක් අනුගමනය කළේ ය.

මෙම පෘතුගීසි, ලන්දේසි, ඉංගී‍්‍රසි ජාතිකයන් අනුගමනය කළ යටත් විජිත වාදය හෝ අධිරාජ්‍යවාදය, සමාජවාදය, මාක්ස්වාදය මෙන්ම ආර්ථික වශයෙන්, යුදමය වශයෙන් බලවත් රටවල් නොදියුණු රටවල් සිය බලයට අනුව හසුරවන නව යටත් විජිත වාදයටත් වඩා වෙනත් පරහිතකාමී න්‍යායක් පදනම් කොටගත් දර්ශනයෙකි.

“ සවේ මුනෙයෙ පජාමම” සියලුම මිනිසුන් මගේ දරුවෝයැ යනුවෙන් ලෝකවාසී සෑම මනුෂ්‍ය වර්ගයා කෙරෙහිම ජාති, ආගම්, කුල, ගෝත්‍ර, උස් පහත් බේදයකින් තොරව ධර්මානුකූලව සතුටින් සාමයෙන් ජීවත් කරලීම සඳහා සකස් කරන ලද ක්‍රියා පිළිවෙතකි. මේ සඳහා ධර්ම මහාමන්ත්‍ර නම් නිලධාරි පිරිසක් සහිත වෙනමම දෙපාර්තමේන්තුවක්ද ආරම්භ කළේ ය.

බුදුදහමට අනුකූලව ධර්මය ප්‍රචාරය කරවමින් රට රාජ්‍යවල වෙසෙන ජනතාව මෙන්ම රටවල්වලද ආගමික, සමාජ සංසකෘතික මෙන්ම රාජ්‍යපාලනයන් තුළද ජනහිතකාමී පරිවර්තනයන් සිදුකළ ශ්‍රේෂ්ඨතම ආදර්ශමත් පාලකයා ලෙස ධර්මාශෝක අධිරාජ්‍යයාගේ නාමයද ගෞතම බුද්ධ ශාසනය පවත්නාතාක් කල් පවතිනු ඇත.

බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 236 කට පසු දෙවැනි පෑතිස් රාජ්‍ය සමයේ මිහිඳු මහරහතන් වහන්සේ ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල, සුමණසාමනේර හා භණ්ඩුක උපාසක පිරිස සමග ලක්දිව මිස්සක පව්වට වැඩම කළ බව මෙරට ශාසන ඉතිහාස ග්‍රන්ථවල සඳහන්ව ඇත. මෙයට වර්ෂ 2327 ට පෙරදී ධර්මාශෝක රජතුමාගේ රාජ්‍ය අනුග්‍රහයෙන් එදා මිහිඳු මහරහතන් වහන්සේ මේ රටේ බෞද්ධරාජ්‍ය පාලන ව්‍යවස්ථාව ද ලක්බිම පවතින තුරු වෙනස් නොවන ලෙස ස්ථාපිත කළේ ය.

දෙවනපෑතිස් රජතුමාගේ සිට මෙරට පාලනය කළ අවසාන රජු දක්වාත් ඉන්පසු පෘතුගී‍්‍රසි, ලන්දේසි, ඉංගී‍්‍රසි පාලකයන් මෙරට යටත් කරගෙන සිටි කාලවලදීත් නැවත 1948 පෙවරවාරි මස 04 දින සිට බ්‍රිතාන්‍ය යටත්විජිත පාලනයෙන් මිදී නිදහස ලබා මේ දක්වා විටින් විට රාජ්‍යපාලන තන්ත්‍රය මෙහෙයවීමේ දී අනුගමනය කළ යුතු නීති රීති සඳහන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන්ගේද බුදුදහමට ප්‍රමුඛස්ථානය දී තිබේ.

පෙර අපර දිග ලෝකයේ බිහි වූ ආගම් දර්ශන ප්‍රචාරය කිරීමට හා ඒවාට ජනතාව පොළඹවා ගැනීමට යුද කල කෝලාහල මෙන්ම ජනතාව නොයෙකුත් පීඩා හිරිහැරවලට ලක්කර ඇත. එහෙත් ධර්මාශෝක රජතුමා එවැනි බලපෑම් හෝ බලපාන කාරකම් සිදුකර නැත. මෙහිදී ශ්‍රී ලංකාව කෙරෙහි විශේෂ සැලකිල්ලක් දක්වා ඇති බව පෙනේ. එනිසාම එතුමාට දාව උපන් මිහිඳු මහරහතන් වහන්සේ හා සංඝමිත්තා තෙරණිය යන දෙනම මාර්ගයෙන් මෙරට ආගමික, සංස්කෘතික, ආර්ථික හා රාජ්‍ය පරිපාලන ක්‍රමයන් ක්‍රමවත්ව සංවර්ධනය කිරීමට අවශ්‍ය බොහෝ ආධාර උපකාර දීමෙන් පැහැදිලි වන්නේ ය.

සංඝමිත්තා තෙරණිය සමඟ ශ්‍රී මා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව සමඟ අටලොස් කුලයක ශිල්පීන් මෙරටට පැමිණි බව අපගේ ඓතිහාසික වංශ කතාවල සඳහන් වේ. ඉන් පැවසෙන්නේ මෙරට සංවර්ධනයට දායක වීමට මෙන්ම මෙරට වැසියන්ට ශිල්පීය ක්‍රම ඉගැන්වීමට විශේෂඥ දැනුම ඇති කාර්මික ශිල්පීන් එවු වගයි.

ප්‍රථමයෙන්ම මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ධර්ම දූතයන් වහන්සේලා රජතුමා ප්‍රමුඛ මැති ඇමැතිවරුන්ගේ හා ප්‍රභූ පක්ෂයේ අධ්‍යාත්මික ජීවිතය බුදුදහමට අනුව හැඩගස්වා ඇත. ඒ අනුව ඔවුන් ආදර්ශයටගත් සාමාන්‍ය ජනතාව නිරායාසයෙන්ම ඒ අනුව තම ජීවිතයන්ද හැඩගස්වා ගැනීම සිදුව තිබේ. මෙරට ප්‍රථමයෙන් සසුන්ගත වූ පිරිස් වූයේ අරිට්ඨ ඇමැති, අනුලාදේවිය ඇතුළු රාජකීයන්වීමෙන් මේ බැව් පැහැදිලි වේ.

බුද්ධ වර්ෂ 236 පොසොන් මස පුරපළොස්වක පෝය දිනය තරම් සුවිශේෂී වෙනත් දිනයක් ලක්වැසි ජනතාවට නොමැති තරම් ය. එදින මිස්සක පව්ව මතදී අඹගසක් සෙවනේ දී දෙවැනි පෑතිස් රජු හා මිහිඳු මහරහතන් අතර සිදුවූ ඓතිහාසික සංවාදය හා චුල්ලහත්ථිපදෝපම සූත්‍ර දේශනාව එදා බුදුරජාණන් වහන්සේ බරණැස මුවන්ට අභය ස්ථානයක් වූ මිගදායේ දී සිදුකළ දම්සක් පැවතුම් සූත්‍රදේශනාවෙන් මුළුමහත් විශ්වය පුරාම රැව් පිළිරැව් දුන්නේ යම් සේද, මෙදා මුවන් මරන්නට ඔවුන් පසුපස හඹාගිය දෙවනපෑතිස් රජතුමාට දේශනාකළ චුල්ලහත්ති පදෝපම සූත්‍රය මුළුලක්බිම පුරා රැව් පිළිරැව් දුන් සූත්‍ර දේශනාව විය. එය අදටත් නොවෙනස්ව පවතී.

මිහිඳු මහරහතන් වහන්සේ දෙවනපෑතිස් රජතුමාට දහම් අවබෝධය ඇතිකරලීම සඳහා අනුගමනය කළ ක්‍රමවේදය රජුගේ මනස පිළිබඳව කල පරියේෂණයකි. තමන් වහන්සේ විසින් දේශනා කරන්නට යන ධර්මයට රජුගේ සිත තියුණු ලෙස යොමු කරලීමට අඹරුක් උපමාවෙන් හා නෑයන්ගේ උපමාවෙන් රජුගේ නුවණ මෙන්ම සිතේ විමර්ශනශීලීත්වයද ඇතිකරලීමට හේතු විය. කුඩා ළමයෙකුට වුවද යමක් ඉගැන්වීමට පෙර තේරවිල්ලක් ඇසූවිට එම දරුවා තුළ විමර්ශනශීලීත්වය මෙන්ම සිතේ තැන්පත් බවක් ද ඇතිකරලිය හැකි ය. අපේ අතීත අධ්‍යාපනයේ සෑම විෂය ධාරාවක් තුළම තේරවිලි සමුදායක් ඇත. ආයුර්වේද වෛද්‍ය ක්‍රම ඇතුළත් හෙල වෙද පොත්, නක්ෂත්‍ර පොත්, දහම් පොත්, විෂ වෙදකම පිළිබඳ ලියවී ඇති පොත් මංගල චාරිත්‍ර ආදී බොහෝ විෂයන් ලියවී ඇත්තේ ද තේරවිල් ස්වභාවයෙනි.

මිහිඳු මහරහතන් වහන්සේ හා දෙවනපෑතිස් රජතුමා අතර සිදුවූ සංවාදය කෙරුණේ අඹගසක් සෙවනේ අඹගස් පිළිබඳ ඇසූ පැනයකිනි. ඒ නිසා මෙය අඹගහමුල විප්ලවය ලෙස හැඳින්විය හැකි ය.

මහරජ මේ ගසේ නම කුමක්දැයි ළඟම තිබුණු අඹගස පෙන්වා මිහිඳු හිමියන් රජුගෙන් ප්‍රශ්න කළහ.

රජතුමා - මෙය අඹගසෙකැයි පිළිතුරු දුන්නේ ය.

මිහිඳු මාහිමි - මේ හැර තවත් අඹගස් තිබේද?

රජතුමා - එසේය, ස්වාමීනි බොහෝ අඹගස් ඇත.

මිහිඳු මාහිමි - මේ අඹගසත් ඒ අඹගසුත් හැර තවත් අඹගස් තිබේද?

රජතුමා - ස්වාමීනි බොහෝ ගස් ඇත. එහෙත් ඒ ගස් අඹගස් නොවේ.

මිහිඳු මාහිමි - මහරජ ඒ අඹත් නොඅඹත් හැර තවත් ගස් තිබේද?

රජතුමා - ඇයි ස්වාමීනී, මේ අඹගස.

මිහිඳු හිමි - මහරජ ඔබ පණ්ඩිතයෙකි.

මිහිඳු හිමි - මහරජ තොපට නෑයෝ සිටීද

රජතුමා - එසේය ස්වාමීනි බොහෝ නෑයෝ සිටිති.

මිහිඳු හිමි - මහරජ තොපට නොනෑයෝ සිටීද

රජතුමා - එසේය ස්වාමීනී, බොහෝ නොනෑයෝ සිටිති

මිහිඳු හිමි - ඒ නෑයොත් නොනෑයොත් හැර තවත් අය සිටීද

රජතුමා - ඇයි ස්වාමීනී මේ මම

මිහිඳු හිමි - මහරජ ඔබ නම් පණ්ඩිතයෙකි.

මේ පරීක්ෂාව තුළින් දෙවනපෑතිස් රජතුමා හොඳ නිරීක්ෂණ බුද්ධිමතෙකු බව මිහිඳු හිමියන් වටහා ගෙන රජතුමාට සහ පරිවාර පිරිසට චුල්ලහත්ථි පදෝපම සූත්‍රය දේශනා කළේ ය. මෙම සූත්‍රය ජානුස්සෝණි බ්‍රාහ්මණයා හා පරිබ්‍රාජකයෙකු අතර ඇතිවන සංවාදයක් මුල්කොට බුදුරජාණන් වහන්සේගේ ධර්මය පිළිබඳ පැහැදුනු ජානුස්සෝ බ්‍රාහ්මණයා දෙවනුව බුදුරජාණන් වහන්සේ බැහැදැක පරිබ්‍රාජකයා හා තමා අතර සිදුවූ සංවාදය බුදුරජුන්ට සැලකළ විට දක්ෂ හස්ථි ශිල්පියෙකු උසස්ම හස්තියා හඳුනා ගන්නාක් මෙන්ම සැබෑ පණ්ඩිතයෝ නිවන නැමති

ක්ෂේම භූමිය දැකගන්නා ආකාරය පෙන්වා දෙයි.

මහින්දාගමනයට සමගාමීව සිදුවුනු අනෙක් ඓතිහාසික වැදගත්ම සිද්ධිය වූයේ සංඝමිත්තා තෙරණිය විජය ශ්‍රී ජය ශ්‍රී බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව රටට වැඩම කොට බෝධි වන්දනාව ආරම්භ කිරීමය. එම බෝධි ශාඛාවෙන් හටගත් අෂ්ඨපල බෝධීන් රෝපණය කිරීමෙන් පසු ක්‍රම ක්‍රමයෙන් මුලු ලක් දෙරණ පුරාම බෝරුක් රෝපණය කොට බෝධිඝර සාදා බෝධි පූජා තැබීම ප්‍රචලිත වී ගියේ ය. පසුකාලීනව මෙය ලෙඩ රෝග අපල උපද්‍රව සමනය කර ගැනීමට කරන ශාන්ති කර්මයක් ලෙසද අනුගමනය කරන්නට වීම නිසා බෝධි පූජාව සියලු පූජාවන් අතුරින් ඉහළම පූජාව බවට පත්විය. බුදුරජාණන් වහන්සේද පළමු සතිය බෝධිමූලයේද දෙවන සතිය අනිමිසලෝචන පූජාවෙන් ඇසිපිය නොහෙල බෝධිය දෙස බලාසිට සිය කෘතවේදී බව බෝධි වෘක්ෂයට පුද කළේ ය. ඒවා නිසා බෝධි පූජාවට ඉහළම තත්ත්වයක් හිමිවීම ස්වභාවිකය.

 

ඡ්‍යොතිෂවේදී

කොබ්බෑවල සුමනදාස වීරසිංහ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.