1955 සූර්ය ග්‍රහණය හාවදකහ සුදිය

ජූලි 5, 2019

දිනය වර්ෂ 1955 ජුනි 20 වැනි සඳුදාය. එවිට මා වයස පහළොවක ළමයකු වූ හෙයින්ද එදින පාසල් නිවාඩු දිනයක් ලෙස අනුමතවී තිබුණෙන් ගෙදර සිටි බැව් මතකය. විශේෂ හේතුවක් නම් එදිනට එනම් ජුනි 20 වැනිදාට යෙදී තිබුන සූර්ය ග්‍රහණය නිසා එදින එම නිවාඩුව රජය මඟින් සම්මත කර තිබුණි.

අවුරුදු ගණනාවකට පසුව සිදුවන මේ සූර්ය ග්‍රහණය පිළිබඳ විපර්යාසය ගෙදර සිටම දැක බලා ගැනීමට අපට අවස්ථාව උදාවිය.ගොතටුව අයි.ඩී.එච්.පාර අද්දර නිවෙසක ජීවත්වු අපේ පවුලේ සියලුදෙනාද මේ සූර්ය ග්‍රහණය බැලීමට සූදානම්ව සිටියෙමු. මේ අපූරු සිදුවීම කිසිම ලෙසකින් එක එල්ලේ බැලීමට නොහොත් සූර්යා දෙස බැලීමට උත්සාහ නොකළ යුතු බව නිවේදනය කර තිබුණි. එකල පැවති එකම විද්‍යුත් මාධ්‍යය වන ලංකා ගුවන්විදුලියේ මෙන්ම ප්‍රකට දිනපතා පුවත්පත් වු ‘දිනමිණ’ හා ‘ලංකාදීප’ පත්‍ර මෙන්ම ඒ පුවත්පත් සමාගම්වලට අයත් ඉංගී‍්‍රසි හා දෙමළ පුවත්පත්වලින්ද කල්තියාම තොරතුරු සපයා ලංකාවාසී සියලු ජනතාව දැනුවත්කර තිබුණි. ඒ අතර මහජනයාට සූර්ය ග්‍රහණය බලාගන්නා උපක්‍රම කීපයක්ද හඳුන්වා දී තිබුණි. ඉන් එක් උපක්‍රමයක් වූයේ වතුර පිරි කොරහක් හෝ බේසමක් වැනි ලොකු භාජනයකට වැටෙන සූර්යාලෝකය බැලීමයි. අනෙක් උපක්‍රමය නම් පහන් දැල්ලකින් කළු කරගන්නා ලද වීදුරුවක් ඇසට තබා ඒ මඟින් සූර්යා බැලීමය. පාර අයිනේම වූ අපේ නිවසට අසල්වැසියන් කීප පොළක්ද රැස්වී වතුර භාජන හා පහන් දැල්ලෙන් නියමිත ලෙසට කළු කරන ලද වීදුරු කැබලි මඟින්ද සූර්ය ග්‍රහණය බලාගන්නට පොර කෑ සැටි අද මෙන්, මතකය.

මේ අතර එක්තරා පුවත්පතක, මුල පිටුවේම මෙම සිද්ධිය විචිත්‍ර ලෙස දක්වා මේ සූර්ය ග්‍රහණයේ පවතින නැතහොත් ආරම්භයේදීම බෙහෙත් වට්ටෝරුවක් සාදා ගෙන එය පානය කිරීමෙන් ලැබිය හැකි කිසියම් ඖෂධීය ප්‍රතිඵලයන් කීපයක්ම ගැන අනාවරණය කරන්නට යෙදුණි. මෙය කිසියම් වෙද මහතෙකු විසින් ඡ්‍යොතිෂ විද්‍යාවටද අනුව එළිදක්වන ලද වෙදකම පිළිබඳ රහස් වට්ටෝරුවකට අයිතිවූවක් යැයි සැලකිය හැකිය. මේ බෙහෙතට අනුව නුවණ වැඩි දියුණු වේ. රූප ශෝභාව වැඩිවේ. ශරීරය ස්ථූල වේ. මතකශක්තිය වැඩිවේ. දීර්ඝායුෂ හිමිවේ. එක්තරා අයුරක වාසනාවකට මෙන් අපගේ නිවසේ අයටද, අසල්වැසි නිවැසියන්ටද, එම පත්‍රයේ පමණක් පළවූ එම “වේලාවට බෙහෙත්” යනුවෙන් පළවු බෙහෙත් වට්ටෝරුව ගැන අසන්නට– දකින්නට ලැබී තිබුණේ නැත. සමහර විට අපටද එම පුවත නොහොත් බෙහෙත් වට්ටෝරුව පිළිබඳව දැනගන්ට තිබුණේ නම් මේ බෙහෙත් අත්හදාබලන්නට අපිද යොමුවූවානම් අපටද මහා විපතකට මුහුණපෑමට ඉඩ තිබුණි. බෙහෙත් වට්ටෝරුව අත්හදාබැලූ සකලවාසී ලංකා ජනතාවට පත්වූ අනිසි අනිටු ප්‍රතිඵල ලංකාව පුරා විශාල අර්බුදයක් ඇති කිරීමට හේතුවූ බව සූර්ය ග්‍රහණය නිමාවී පැය කීපයක් ඇතුළත දිවයින පුරා දියත්වූ තොරතුරුවලින් කදිමට පැහැදිලි විය. එයද රටට සිදුවු විපතකි.

එකල ගුවන්විදුලි යන්ත්‍ර බහුලව පැවැති යුගයක් නොවු හෙයින් මගේ මස්සිනා කෙනෙකුවූ ඩයස් අයියා විසින් ගෙනෙන ලද “නැව් රේඩියෝ යන්ත්‍රයක්” තිබුණ බැවින් අසල්වැසියන් හැමදෙනාම අපේ ගෙදරට එක්රැස් වූයේ ඉන් සූර්ය ග්‍රහණය පිළිබඳව තොරතුරු අසා දැනගනු රිසියෙනි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

සෝමසිරි

කස්තුරිආරච්චි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.