නැකතේ බලය නිසා වලානේ බුද්ධ ප්‍රතිමාව උඩින් කුරුල්ලෙකුවත් පියාඹන්නේ නැහැ

අගෝස්තු 16, 2019

බලගතු නැකතක මහිමය !

වර්ෂ 1956 ට යෙදුණු දෙදහස් පන්සීයේ සම්බුද්ධ ජයන්තිය මුල්කරගෙන ප්‍රධාන වශයෙන් ශාසනික වශයෙන් සමාජමය වශයෙන්ද, නොයෙකුත් පවතින කටයුතු සිදුකරන්නට එදා අප සිංහල බෞද්ධයන් සංවිධානය වූ අන්දම අපටද මතකය.

ඓතිහාසික පානදුර නගරාශි‍්‍රතවද කළ බෞද්ධාගමික කටයුතු අතර වලානේ මංසන්ධියේ දැනට කාගේත් වන්දනාමානයට ලක්ව තිබෙන සුවහසක් සිත් නැලවෙන දර්ශනීය බුද්ධ ප්‍රතිමා වහන්සේ පිහිටුවීමද එවැන්නකි.

මෑත යුගයේ පානදුරේ නාමය ලෝක ප්‍රකට කරන්නට මුල් වූයේ ඓතිහාසික පානදුරා වාදයය, එම මහාවාදය පවත්වන්නට බෞද්ධ පක්ෂයේ සම්පූර්ණ වියදම දැරූ ජෙරමියෙස් දියෙස් නම් වූ පානදුරේ ප්‍රභූවරයා විසින් එම වාදය පවත්වන්නට පරිත්‍යාග කළ දොඹගහවත්ත නමැති ඉඩම් කැබැල්ලේ නියමිත අන්දමින් වාද අනුස්මරණ ශාලාවක් ඉදිකෙරී විවෘත කෙරුණේ වාදයට වසර අවුරුදු එකසිය හතළිහ (140) පිරුණු 2013 අවුරුද්දේය. (එය වෙනම කතා කළ යුතු කතාවකි)

දෙදහස් පන්සියයේ බුද්ධ ජයන්තිය නිමිත්තෙන් පානදුර ප්‍රදේශයේ බෞද්ධාගමික ප්‍රබෝධය කාගේත් ඇස්පනාපිටම ඇළලී යන අන්දමේ සුවිශේෂී වූ මහා බුද්ධ ප්‍රතිමාවක් නගරයට සුවිශේෂි වන තැන පිහිටුවිය යුතු යැයි කතාබහක් මුලින්ම ඇති වූයේ යැයි කියන්නේ ආතර් වී.දියෙස් මහත්මාත්, මහාචාර්ය ගුණපාල පියසේන මලලසේකර මහත්මාත් අතරය. එවකටද පිහිටුවාගෙන ප්‍රදේශයේ විවිධ බෞද්ධ ශාසනික හා සමාජමය කටයුතුවලට මුල්වෙමින් පැවැති පානදුර බෞද්ධ මහා සංගමයේ අනුශාසකවරුන් වූ මේ දෙදෙනා අතර එම කටයුත්ත පිළිබඳ කතාබහ ඉක්මනින්ම ක්‍රියාත්මක වන තැන දක්වා ඉදිරියට ගිය බව පෙනිණ. මේ සඳහා ඉඩම් කැබැල්ලක්ද වෙන් කෙරිණ.එක්තරා අන්දමක වාසනාවකට මෙන් නගරයට ප්‍රවිෂ්ට වන තැනම තුංහුලස් ඉඩම් කොටසක් ඒ වෙනුවට ලැබිණ. එයට දකුණු පැත්තෙන් ආතර් වී. දියෙස් මහත්මාගේ නිවෙසට ඉඩකඩම්වලට යන මාවතය.

මලලසේකරම මේ බුද්ධ ප්‍රතිමාව පිහිටුවීමේ කටයුත්තට මුල්ගල තියන නැකත හදන්න ඕනෑ යනුවෙන් ආතර් වී. දියෙස් මහතා කියා සිටියේ ඡ්‍යොතිර්වේදියෙකු වශයෙන් ප්‍රකට නොවූවද ඒ පිළිබඳ මනා දැනුමකින් යුතුව සිටි මාලමුල්ලේ ජීවකයා නමින් ප්‍රකටව සිටි තම පියාණන්ගෙන් මලලසේකර මහතා ඡ්‍යොතිෂය පිළිබද මනා දැනුමක් ලබා තිබුණු බව දියෙස් මහතා දැනගෙන සිටි හෙයිනි. තමන්ද මුල්වූ ප්‍රකට අවස්ථා කිහිපයක්ම සාර්ථක වූයේ මලලසේකර මහත්මා විසින් ගැන, මැන, සාදාගන්නා ලද නැකැත් වේලාවලින් බව දියෙස් මහතා දැනගෙන සිටි හෙයිනි.

මේ මහා පුණ්‍යකර්මය උදෙසා මහාචාර්ය මලලසේකර තුමන්ගේ සුරතින් එතුමාගේම නැකතින් මුල්ගල තැබුණේය. එවකට ප්‍රකටව සිටි ඉන්දීය ප්‍රතිමා නිර්මාණ ශිල්පි මානි මහතා වෙත ලෝහමය බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් නිර්මාණය කිරීමේ කොන්ත්‍රාත්තුව පානදුර බෞද්ධ මහා සංගමය මගින් බාරදෙනු ලැබිණ. එවකට එම සංගමයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළේ දියෙස් පවුලේ ප්‍රධාන ඥාතිවරයකුව සිටි දානපති රිචඩ් සල්ගාදු මහතාණන්ය. එතුමන් තම පවුලේ නම මෙන්ම පළාතේ බෞද්ධයන්ගේ නාමයන්ද ඉදිරි කාලයේ ඉමහත් ගෞරවාදරයට ලක්වන අන්දමේ මහා ශාසනික කටයුත්තක් වු මෙම ලෝහමය බුද්ධ ප්‍රතිමා වහන්සේ පිහිටුවීම පිළිබඳ මුල, මැද, අග කරුණු කාරණා සියල්ලක්ම දැහැමින් සම්පාදනය කරන්නට මුල් වූහ.

ලංකාවේ සතර දිග්භාගයෙහි දක්නට ලැබෙන දර්ශනීය බුද්ධ ප්‍රතිමා අතර මුල්තැනක් ගන්නා මෙම වලානේ මහා බුද්ධ ප්‍රතිමා වහන්සේගේ නිර්මාණයද නැකතේ බලයට බලපෑ බවද සිතාගත හැක්කේ ඉන් දර්ශනය වන එක්තරා අන්දමක කාගේත් සිත් නෙත් ඇදගන්නා රූප සම්පත්තිය නිසාවෙනි. බුදුන් වහන්සේගේ ශ්‍රී ශරීරයෙහි දක්නට ලැබෙන ගෞරවාර්හ සම්පත්තිය අපූරු අන්දමින් මැනවින් නිර්මාණය වන බව එය දුටුවෝ තම සිතින් ස්මරණය කර ගනිති.

වලානේ මෙම මහා බුද්ධ ප්‍රතිමා පද්මාසන මාලකයේ පාදමේ මෙසේ ශිලාලේඛන ගතකොට ඇත.

“බු.ව. 2500 බුද්ධ ජයන්තිය සිහිවීම වස් මේ ලෝහමය බුද්ධ ප්‍රතිමා වහන්සේ සහිත පද්මාසනය රජයේ සහ සැදැහැවතුන්ගේද සහාය ලැබ ගරුතර බෞද්ධ මහා සංගමය විසින් නිමා විණි.

බුද්ධ ප්‍රතිමා වහන්සේගේ බරපැන ජේ.එම්.ශ්‍රී චන්ද්‍රසේකර මහතා විසින් දැරිණ.

බුද්ධ වර්ෂ 2504 ක්‍රි:ව1960 මැයි 11 වනදාය”

මෙම බුද්ධ ප්‍රතිමාව ගැන කිවහැක්කේ ඊට උඩින් කිසිම කුරුල්ලෙකු පවා පියාසර නොකරන බවය. එනිසා ඔවුන්ගේ වසුරුවලින් ප්‍රතිමාව අපවිත්‍ර නොවන බවය. එසේම ඒ අසලින් කොතෙක් වාහන ගියත් දුවිල්ලක්වත් එහි නොවදින බවය. මෙය සිදුවුයේද, එය පිහිටවූ නැකතේ බලය නිසා බව තතු දත්තෝ කියති.

එම ශිලාලේඛන සටහන මෙසේ කියවාගෙන යද්දී බුද්ධ ප්‍රතිමාවේ සම්පූර්ණ බරපැන දායකත්වය දරන ලද ජේ.එම්. ශ්‍රී චන්ද්‍රසේකර මහතා පිළිබඳ විමසන ලද අවස්ථාවේදි අපට දැනගන්නට ලැබුණේ එතුමන් සභාපති රිචඩ් සල්ගාදු මහතාගේ බිරිඳගේ සහෝදරයකු බවය. ඒ ගැන සිතා බලන විට මෙම මහා පුණ්‍ය කටයුතු සඳහා අපේ මෑත යුගයේ ජීවත් වූ හොරේතුඩුවේ ශ්‍රී චන්ද්‍රසේකර මුදලිතුමාගේ පරපුරේ ඥාතිවරයකුවූ එම මහතා සහභාගි වීමත් දියෙස් පරපුර වෙනුවෙන් ආතර්.වී.දියෙස් මහතාත්, මලලසේකර පරපුර වෙනුවෙන් මහාචාර්ය මලලසේකර මහතාත් මුල්වීම ඓතිහාසික කටයුත්තක් වූ බව කිවහැකිය.

වර්ෂ 1960 මැයි 11 වනදා වෙසක් පුර පුන් පොහෝදා මෙම මහා බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ මහෝත්සවයට සහභාගි වන්නට මහාචාර්ය මලලසේකර මැතිතුමන්ට අවස්ථාව නොලැබුණේ එතුමන් එකල්හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිතයා වශයෙන් ඇමෙරිකාවේ සිටි හෙයිනි.

ආතර් වී. දියෙස් මැතිඳුන් සිය ජීවිතයේ අවසාන පුණ්‍යෙීත්සවය වශයෙන් මේ ලෝහමය මහා බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කර එයට ප්‍රථම පුෂ්පෝහාර දැක්වීමේ උත්සවයට සහභාගි වූහ. ඉන්පසුව උදාවූ මාස දෙකකට පසු 1960 ජූලි 31 වනදා දියෙස් මැතිතුමෝ අභාවප්‍රාප්ත වූහ.

එතුමන්ගේ ශ්‍රී නාමයට උපහාරයක් වශයෙන් අද වර්තමානයේ වලානේ බුද්ධ ප්‍රතිමාවට දකුණු පසින් දිවෙන මාවත ආතර් වී.දියෙස් මාවත යනුවෙන් නම් කෙරී ඇත. එය එතුමාගේ නාමයට කෙරෙන ඉහළම උපහාරයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.