ආර්යය ශ්‍රාවක සමන් දෙවිඳු හා සබරගමු මහ සමන් දේවාලයේ පෙරහර

සැප්තැම්බර් 20, 2019

අප රටේ මහත් ශ්‍රද්ධා භක්තියෙන් කෙරෙන ප්‍රධාන පෙරහර මංගල්‍ය ගණනාවක් තිබේ. මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දළදා පෙරහර, කතරගම පෙරහර, දෙවිනුවර පෙරහර, සබරගමුවේ සමන් දෙවි පෙරහර ඉන් ප්‍රධාන තැනක් ගනී.

ශ්‍රී සුමන සමන් දෙවිඳුට විශේෂ පුද පූජා පැවැත්වීම පිළිබඳ වැදගත් පුවතක් ලෙස දෙවැනි පරාක්‍රමබාහු රජතුමා විසින් දේව පතිරාජ ඇමතිතුමා ලවා සමනල කන්දට යන මාර්ගය සකස් කරවීම දැක්විය හැකි ය. එම ඇමති ගඟසිරිපුරට ගොස් එහි සමන් දෙවි රුවක් නිමවා ඒ දෙව් රුව ගෙන සමන්ගිර නැග එහි පිහිටුවූ බව මහා වංසයේ සඳහන් වේ. තවද සිරිපා මළුවේ ඇති පැරණි සමන් දේවාලය මහා පරාක්‍රමබාහු රජතුමන් විසින් කරවන ලදැයි කියවේ. රත්නපුරයේ මහ සමන් දේවාලය දෙවැනි පැරකුම්බා රජතුමා විසින් ආර්ය කාමදේව නම් ඇමතිවරයා ලවා කරවන ලදී. ඉන්පසු සයවන පැරකුම්බා සමයේ දී ඉහත කී කාමදේව පරපුරෙන් ආ නීල පෙරුමාල් නම් බමුණු පඬිවරයා ලවා දේවාලය පිළිසකර කර නින්දගම් පිහිටුවා පුද පූජා කරන ලද බව ප්‍රකට ය. මේ කරුණු ගැන විමසා බලන විට දෙවැනි පැරකුම් රජ සමයේ සිට සබරගමු මහ සමන් දේවාලයේ මහ පෙරහර පැවැත්වෙන බව කිව හැකි ය.

සබරගමු පළාතට අධිපති සමන් දෙවියන් හා ශ්‍රී පාද වන්දනාව අතර විශේෂ සබඳතාවයක් තිබෙන බව ශ්‍රී පාද වන්දනා සමය පිළිබඳ වතාවත් තුළින් මැනවින් පෙනේ.

පැරණි චාරිත්‍ර අනුව හෝ උඳුවප් පොහෝ දින ඇරඹෙන සිරිපා වන්දනා සමය වෙසක් පොහෝ දිනෙන් අවසන් වේ. චිරාගත සිරිත අනුව උඳුවප් පුන් පොහෝ දින සුබ නැකතින් සමන්දෙවි රුවක් සිරිපා මළුව වෙත වැඩම වනු ලැබේ. මෙය කීර්ති ශ්‍රී රාජසිංහ රජ දවස කරන ලදැයි කියනු ලැබේ. මෙකල ප්‍රතිමාව වැඩමවනු ලබන්නෙන් පැල්මඩුල්ලේ ගල්පොත්තාවල පන්සලේ සිට ය.

බුදුරජාණන් වහන්සේගේ තුන්වන ලංකා ගමනේ දී සමන් දෙවි ඇරයුමෙන් සුමනකූටයේ සිරිපා ලාංඡනය පිහිටුවා ලූ සේක. එම සිද්ධිය පුරාණ සමනළ ගමන් විස්තරයේ පහත සඳහන් කවියෙන් කියවේ.

සුමන සමන් දෙවි වැඳ බැස එම විට

මුනිඳුට ආරාධන කර නම කොට

ඔබගෙ පතුල මට නිතර වඳින් නට

තබනුව මාගේ විමන එ ගිරි පිට

සැලළිහිණි සන්දේශයේ සමන් දෙවියන් ගැන අගනා රසබර කවියක් සඳහන් වේ.

සුරර ද සමන් සමගින් සුරඟන එවර

පැහැනද මදාරා පරසතු මල් පතර

කරපුද වඳින රැඳි මුනි සිරිපා තඹර

සකි සඳ පෙනේ සමනළගිර නැගෙනහිර

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.