ඔබටත් හොරෙන් විවාහයට වන දේ

නොවැම්බර් 15, 2019

අද අප අතර බහුලවම කෙරෙනුයේ පොරොන්දම් ලකුණු පිරික්සා බැලීම පමණයි. මේ හරහා විවාහ වීම පහසු වුවත් ස්ථාවරව මිය යනතෙක්ම විවාහය සාර්ථකව ගෙන යාමට හැකිවේද යන්න විමසා බැලිය යුතු වේ.

පොරොන්දම් ලකුණු මත විවාහය වී කෙටි කලකින් දෙන්නා දෙපැත්තට යෑම අද බහුලව සිදුවන්නකි.

විවාහය ස්ථාවරව රඳා පවතිනුයේ දෙදෙනාගේම කායික හා මානසික ගැළපීම් මතය. පිරිමියාගේ පූර්ව නාඩි පෙර වින්දනයට ගියහොත් ස්ත්‍රිය අන්ත්‍ය නාඩි නම් එම විවාහය තුළ පවතිනුයේ අතෘප්තිකර කතාවකි. අපේ සංස්කෘතික රාමුව තුළ ඒ ගැන කතා කිරීමට අපහසු වේ. ඒත් ඇත්තම ඇත්ත, සැමියා හුදෙක්ම මුලින්ම තෘප්තිමත් වී බිරිඳ මානසික පීඩනයට ගොදුරුවීම සොබාවිකයි. මේ ගැන සැමියා වරක් දෙවරක් නොව කීපවරක්ම සිතිය යුතු යි. දෙදෙනා ම අතර සම සතුටක් තිබිය යුතුමයි.

අද වැඩි පුරම මේ ගැටලුවට මුහුණ පෑමට සිදුව ඇත්තේ පිටරට ගිය පිරිමියා වසරකට දෙවතාවක් ගෙදර පැමිණ යුගදිවියේ පිම්මේ දුවන තැනට පත්වීම හරහා ස්ත්‍රිය අන්ත අසරණ තත්ත්වයට පත්විමකි. දින 15 ක් පමණ මෙරට ගත කරන සැමියෙකුගේ යුගදිවියේ හැසිරීම ගැන අලුතින් කියනුම කවරේද? බොහෝ බිරියන් රහසිගත අනියම් සබඳතා ඇතිකර ගැනීම පුදුමයක් නොවේ.

හොරි, දද, කුෂ්ඨ සෑදුන කාන්තාවකගේ දෙඅත් පිටිපස්සට බැඳ දමා තැබීමක් වැනි ය. ඒකනෙ ඇත්තම කතාව. මෙවන් මානසික පීඩනයන්ට ගොදුරුව බොහෝ විවාහක තරුණ කාන්තා පිරිසක් සිටී. තවද යුගදිවියට පත්වන එක් අයෙකු අධික කාම ශක්ති නම් අනිකා බෙලහීනයෙකු වේ නම් පොරොන්දම් ලකුණු 36 ම ඇතත් වැඩක් නොවේ.

මේ ගැන විපරම් කර බැලිය යුත්තේ දෙදෙනාගේම කේන්ද්‍ර පරීක්ෂා කර බැලීමෙනි. සඳු නීච වී කුජගේ පෙනීම නිසා කාමය අන්තයට යෑමෙන් යුගදිවිය ආරාවුල් ගහණ වේ. ශකට යෝගය ද අසුබයි. ශුක්‍ර නීච අයකු සිය නිවසේ මෙහෙකාරිය සමගත් වයස නොතකා ස්ත්‍රියක් නම් රියැදුරු හෝ මෙහෙකරුවන් වසඟයට පත්කර ගැනීම නිසා යුගදිවිය දෙදරයි.

දෙදෙනාගේම 5 සහ 7 අධිපතියන් නවාංශක ගණයට අයත් නම් 7 වැන්නේ නාශාංශක සිටීම බහු විවාහයක් වේ. නවාංශකයේ කුජ ශුක්‍ර පරිවර්තනය වී නම් ඔහු හෝ ඇය හෝ එක් අයෙකුගෙන් සෑහීමකට පත් නොවේ. සඳු ශුක්‍ර නීචයද බලපෑම් කරනු ඇත. පොරොන්දම් වලින් මේවා සොයාගත හැකි ද?

ජන්ම පත්‍රයේ 7 අධිපති ශුක්‍ර කුජ සමග පරිවර්තනය වී නවාංශකයේ ද ගුරු සිකුරු පරිවර්තනය ඇතිවිට තම බිරියට සොරා වෙනත් කතුන් හා සමඟ එක් වේ.

බිරිඳගේ මකර ලග්නය වී හත් වැන්නේ කුජ, ශුක්‍ර රාහු සිටීමෙන්ද සැමියාට හොරා අයථා සබඳකම් පවත්වන්නීය.

ශනි, ශුක්‍ර, කුජ, රාහු නම් අවලක්ෂණ කැත ගැහැනුන් සමඟ එක්වේ. විකෘති කාම තත්ත්වයක් ද ඇතිවේ. රාහු, කුජ, ශුක්‍ර, කුජ, චන්ද්‍ර, රාහු, චන්ද්‍ර, ශුක්‍ර යෝග විවාහයට හිතකර නොවේ. විකෘති හා සමලිංගික ස්වයං වින්දනය වැනි අස්වාභාවික හැසිරීම් රටාවක් මවන්නේ එවැනි අයහපත් ග්‍රහයෝග හරහා ය. ශනිගෙන් හත් වැන්නේ කුජ සිටීමද විවාහයට අයහපත් ය.

මකර ලග්නය වී හත් වැන්න කටක වී කුජ ශුක්‍ර රාහු, චන්ද්‍ර යෝගයන් හරහා ආසාවන් පසු පස ලුහු බඳී. වැදගත් අන්දමට පහත් ලෙස හැසිරෙන ගුප්ත චරිත මේ තුළින් ඇතිවේ.

පිරිමි කේන්ද්‍රයේ ශුක්‍රද ස්ත්‍රී කේන්ද්‍රයේ කුජ එකම රාශියක ඇත්නම් දෙදෙනාම උපරිම කායික ආශ්වාදයක් විඳිනු ඇත. කේන්ද්‍රයේ විවාහ ස්ථානයෙන් ත්‍රිකෝණගතව සිටී නම් බැඳීම් දැඩි වේ. විවාහ කාරක ශුක්‍ර අනිටු තැනක දුෂ්ඨ අධිපතියෙකු සමග නම් විවාහය නීරස බවට පත්වේ. සියයට 100 ක්ම ගැළපෙන කේන්ද්‍ර හිමි දෙදෙනෙකු සොයා ගැනීම අසීරුයි. විවාහ දෝෂ 20 ක් පමණ ඇත. එබැවින් අතිසාර්ථක ගැළපීම් පොරොන්දම්වලින් පමණක්ම සොයා ගැනීම අපහසු වේ.

අති සාර්ථකම විවාහයක් ගොඩනගා ගැනීමත් දිවි ඇතිතෙක්ම එම විවාහය සාර්ථකත්වයෙන් ගෙන යෑමට අවශ්‍ය වන ග්‍රහ පෝෂණ තත්ත්වයක් තිබීම අනිවාර්යවේ. අතිධාවනකාරී පිම්මේ දුවන සැමියෙකුට සිය බිරිය සමහර විට හැල්මේ යන නිසා වදයක් වේ. යුග දිවියේ ඇතුළු පැත්ත ගැන අද කතා කිරීමට නොහැකි තැනට පත් වී තිබේ. පැරණි මව්වරු සිය දියණියන් විවාහයට පාතබන විටදී යුගදිවියේ ඇතුළු පැත්ත මනාව රහසේ දැනුම්වත් කරන ලද්දේ උපක්‍රමශීලීවය. එදා විවාහ ජීවිත සාර්ථක විය. අද වන විට පැය විසිහතරෙන් දික්කසාදයට යන තැනට කරුණු යෙදී තිබෙන බැව් නොරහසකි.

ඡ්‍යොතිෂ විද්‍යාත්මක පැත්තෙන් බලන විටදී සමහර විට විවාහ දිනයේ පසුදින පහන්වනතුරුම සුබ නැකත් තිබීම විශේෂයි. අද වන්නේ පෝරුවෙන් බැස්සාට පසු සුබ නැකත් අහෝසිවීමකි. මධු සමය රැයේ දාරක බීජ කළලයකට මග පෑදෙන විට ඉතාම සුඛ ධනාත්මක නැකත් හෝරාවන් තිබිය යුතුම ය. නොඑසේ නම් උපදින දරුවා ගැන කියනුයේ කවරේද? දෙදෙනාටම ඉතාම සුබ නැකත් දින යොදාගැනීමට අද ගැටලුවක් වී ඇත්තේ හෝටල් තෝරා ගැනීමේ අපහසුව නිසා ය. එදා අපේ උත්තරීතර ඉපැරණි ශ්‍රේෂ්ඨම විවාහ චාරිත්‍ර විය. අද අභාවයට යමින් සිටීම කණගාටුවට කරුණකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.