විවාහයේදී හෙළසිරිත් අනුගමනය කළ මංගල චාරිත්‍ර

පෙබරවාරි 14, 2020

අපේ සමාජයේ සිරිත් විරිත් පරම්පරාවෙන් පැවත එන ඒවා විය හැකි ය. නැතහොත් සංස්කෘතියක් තුළ ඔවුන්ට ආවේනික වූ ඒවා විය හැකි ය.ඇතැම් සිරිත් විරිත් ආගම ධර්මය අනුව පැවත එන ඒවාද විය හැකි ය. කෙසේ වෙතත් සිංහලයන් වූ අපට ද ඉටුකළයුතු පැවත එන සිරිත් විරිත් පද්ධතියක් ද ඇත. ඒවා අපේ මුතුන් මිත්තන් කාලයේ පටන් පැවත එන මේවන විට යම් යම් වෙනස්කම්වලට ලක්වෙමින් පවතින ඒවාය. විවාහය ජීවිතයේ වැදගත්ම අවස්ථාවකි. විවාහදින නෑදෑ හිතමිතුරන් සියලුදෙනා එකට එකතු වී කමින් බොමින් සතුටු වෙමින් පරණ නෑදෑකම් අලුත් කරමින් දූ දරුවන් ඥාති මිත්‍රාදීන්ට හඳුනාදෙමින් පී‍්‍රතිමත්වන දිනයකි. එදා තම පුතාට හෝ දුවට ලේලියක් හෝ බෑණාකෙනෙකු සුදුසු බවට තෝරාගනු ලැබුවේ පියාගේ කැමැත්ත පරිදිය. ඒ නිසා සියල්ල සිදුවූයේ පියාට ඕනෑ විදියටය.

ඔවුන් තම දරුවන්ගේ විවාහ කාලය නිගමනය කළේ වයස අවුරුදු දහඅටක් විස්සත් අතරය. එකල නෑනා මස්සිනා විවාහය මහ ඉහළින් පිළිගත් චාරිත්‍රයක් විය. එමෙන්ම කුලභේදයටද ලැබුණේ ඉමහත් තැනකි. තමන්ගේ කුලයෙන් මිස ඊට පහත්යැයි සළකන කුලභේදයකින් විවාහයක් අවාහයක් කරගැනීමට ඉඩක් නොතිබිණ. ඔවුන් නිතරම ක්‍රියා කළේ සමකුල විවාහයන්ටය. ඒ වගේම තවත් කරුණක් වූයේ දෙදෙනාම එකම ආගමකම වියයුතු යන්නයි. දෑවැද්ද එදා විවාහයේදී ප්‍රධාන තැනක් ගනු ලැබීය. තරුණයකු විවාහවීමේදී මනාලිය වෙනුවෙන් දිය යුතු දෑවැද්ද මොනවාද යන්න තරුණයාගේ මාපියන් දැන ගැනීමට උනන්දුවෙති. තරුණියගේ මාපියෝද තම දියණිය ඔවුන්ට බාරදෙනු ලබන්නේ උපරිමයෙන්ම දෑවැද්දක් ඇතිවය. එසේ නුදුනහොත් පසුකලෙකදී තම දියණියට දෑවැද්ද නිසා ආඩපාලි අහන්නට සිදුවේයැයි කියා ඔවුන් සිතූහ.

මඟුල් කපුවකු මාර්ගයෙන් විවාහයක් සිදුකිරීමේදී මූලිකවම කුලය ආගම ධනය බලය හා කේන්ද්‍රය බලා ගැලපේ නම් කපුමහතාගේ මාර්ගයෙන්ම ඔවුනොවුන්ගේ ගෙවල්වල තොරතුරු සොයා බලති. මනාලයා විසින් මනාලියගේ ගෙදරට යන ගමනේ දී ඔවුනොවුන්ගේ කතාබහෙන් පසු කැමැත්ත හෝ අකමැත්ත දැනගත හැකි ය. මනාලයාට මනාලිය ලවා බුලත් හෙප්පුවක් පිළිගන්වයි. එසේ බුලත් හෙප්පුව දුන් පසු මනාලයා මනාලිය තමාට සුදුසු යැයි නිගමනය කරති. එමෙන්ම ඒ අනුව මනාලියද මනාලයා තමාට ගැළපේද යන්න තීරණය කරති. මේ ගමනට එක් වන්නේ පවුලට සම්බන්ධ කීපදෙනෙකි. මෙසේ මනාලයාගේ නිවසට යන ගමනට පහතරට නම් ගෙවල් දොරවල් බැලීමට යනවා කියාද උඩරට ප්‍රදේශවල නම් ගම්බිමි බැලීමට යනවා කියාද කියති. මෙසේ යන පළමුදිනයේ දී මනාලයා ඇතුළු ඥාති පිරිස කතාබස් කොට මනාලියට කැමැති නම් මනාලියගේ දෙමාපියන් ඇතුළු ඥාතීන්ටද මනාලයාගේ ගෙදරට එනලෙස ආරාධනා කරති. එම ආරාධනාව පිළිගත් විට එහි යන්නේ මනාලිය හැර සෙසු පිරිසය. මේ හැම ගමනකටම කපුවා සහභාගිවන්නේ මහත් සතුටකිනි.

සියල්ල ඒ අයුරින් සිදුවන විට මගුල් කපු මහතාගේ මූලිකත්වයෙන් දායාද ගැන කතා බස් කරති. මෙහිදී පහතරට චාරිත්‍රයට අනුව මාල කරලෑමේ දිනයද උඩරට චාරිත්‍රයට අනුව නැකැත් ගෙන යෑමේ දිනයද නියමකර ගනිති. මේ සියලු කටයුතු කරගනු ලබන්නේ ඡ්‍යොතිෂ් ශාස්ත්‍රඥයකුගේ නැකැත්වේලා අනුවය. ඒ අනුව සුබ මොහොතකින් මනාලියගේ නිවසට යන මනාලයාගේ පිරිස කා බී සතුටු සාමිචියේ යෙදීමෙන් පසු මනාලිය ඇතුළු ඥාතීන් ඉදිරියේ නැකැත් පත්‍රය උස් හඬින් කියවා එය මනාලියගේ පියාට භාරදෙයි. ඉන්පසු මනාලයා මනාලියගේ බෙල්ලේ මාලයක් පළඳවයි. එම අවස්ථාවේ දී මනාලිය විසින් මනාලයාගේ අතෙහි මුදුවක් පළඳවයි. අනතුරුව මනාලියගේ ගෙලෙහි බඳින ලද මාලයේ වටිනාකමට සමාන මුදලක් මනාලියගේ පියා විසින් මනාලයාට භාරදෙයි. ඉන්පසු දෙපක්ෂයේ කැමැත්ත අනුව විවාහයට දින නියමකරගනිති. මගුල් දිනයට සති දෙකකට පෙර රෙජිස්ට්‍රාර්වරයකු ඉදිරියේ විවාහය ප්‍රසිද්ධ කිරීම සිදු කෙරේ. දෙපක්ෂයේම අය එකම ප්‍රදේශයකම නම් එකම නිලධාරියකු ළඟ එසේ කළ හැකිය. ප්‍රදේශ දෙකක නම් ඒ ඒ නිලධාරීන් ඉදිරියේ දී විවාහ ආකෘති පත්‍ර පුරවා භාරදිය යුතු ය. දැන්වීම් පුවරුවේ ප්‍රසිද්ධ කරනු ලබන්නේ විවාහයට විරුද්ධ අය සිටී නම් දැන්වීමට ය.

නැතහොත් තීරණය කරගත් දිනයකදී විවාහය ලියාපදිංචි කර ගැනීමට කච්චේරියකට හෝ නැතහොත් විවාහ ලියාපදිංචි නිලධාරියකු ඉදිරියේ දී හෝ කළහැකි ය. මගුල් මඩුවද මගුල් ගෙදරක වැදගත් දෙයකි. ගොක් කොළ, කෙසෙල් කඳන් උපයෝගී කරගෙන අලංකාර ලෙස එය සාදා ගනිති. මනාලියගේ ගෙදර ඉදිකරන ලද මගුල් පෝරුවද ඉතා අලංකාරවත් ලෙස සකස් කර ගනී. පෝරුවේ කටයුතු ඉටු කරන්නේද නැකැත් වේලා අනුවය. මනාලිය කැන්දාගෙන ඒමට යන මනාලයා රැගෙන යන දේ බොහෝ ය. මනාලියට අන්දවාගෙන ඒමට ඇඳුම් සුදුරෙදි කච්චියක් නැන්දාට හා මාමාට ඇඳුම් පාසෝදවන මස්සිනාට මුදුවක්, ගිරය කිල්ලෝටය, වංගෙඩිය හා බුලත් බුල්ලක්, බුලත් හුරුලු පෝරුවෙන් බස්සවන මාමාට සරමක්, තුවායක, සුදු රෙදි හයරියනක්, සුවඳවිලවුන්, මල් පොකුර, කොණ්ඩා, කටු සහ මල්ද හිසවසන දුහුල ද ගෙන යා යුතු ය. මනාලියගේ නිවසට යන පිරිස නිවස ආසන්නයේ නැවතී එහි සිටින ගණනට සමාන බුලත් කොළ ගණනක් හා මනාලියට දෙන මල් පොකුරද යවති. පසුව ඔවුන් මනාලියගේ නිවස ඉදිරියට පැමිණේ.

එහිදී නිවසට ඒම වැළැක්වීම සඳහා කඩුලු තහංචි කවි ගායනා කරති. එයට පිළිතුරු වශයෙන් මනාළයාගේ පිරිසේ සිටින අයකුද කඩුලුතහංචිය ඉවත්කිරීමේ කවි ගායනා කරති. එසේ කඩුල්ලේ සිට පෙරමග මගුල් මඩුව දොරටුව බුලත් හෙප්පුව මගුල් මේසේ ආදීන් සෑම දෙයක් ගැනම වාදයට මෙන් කවිගායනා කරති.මේ වන විට සිංහල මගුල් ගෙදරින් මේ සෑම දෙයක්ම මගහැරී ගොස් ඇත. මේ සමාජයේ මේ වන විට ඉතිරිව ඇත්තේ මල් පොකුර සමග යවන බුලත් ගණන මනාලයා ඇතුළු කැඳවාගෙන ඒම උඩුවියන් පාවාඩ එලීම පාසේදීම බුලත් සංඛ්‍යාවට භෝජන සංග්‍රහය ලබාදීම පෝරුවේ චාරිත්‍ර පෝරුව මත සහල්මත සුදුරෙද්දක් එළා මනාල යුවළ පෝරුවට නැංවීම, ජය මංගල ගාථා, මංගල අෂ්ඨක කීම, පෝරුවට නැම්වීම, බැස්සවීම, අත් පැන් වත් කිරීම ආදිය චාරිත්‍ර විධිද තවමත් සිරිත් විරිත් අතර රැඳී පවතී.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.