තමා ඇරඹූ පුවත්පත් ආයතනය මවට උපහාර වශයෙන් ‘ලේක්හවුස්’ යැයි හැඳින්වූ

පෙබරවාරි 21, 2020
ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණෝ
 
‘ලේක්හවුස්’ යනු ලංකාවේ පත්තර මහ ගෙදරය. එහි නිර්මාතෘවරයාණෝ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන් ය. එතුමන් මීට වසර එකසිය හයකට පෙර 1914 දී ‘දිනමිණ’ නැමති පුවත්පතේ අයිතිය මිලයට ගෙන ඇරඹූ ආයතනය පසුව ‘ලේක්හවුස්’ ලෙස නම් කළහ. මෙම පුවත්පත් ආයතනය බේරේ වැව සමීපයේ පිහිටි නිසා වැව අසළ ගෙදර නැතිනම් නිවස ‘ලේක් හවුස්’ වී යැයි බොහෝ දෙනාගේ අදහසයි. 
එම අදහස ද එම ආයතනයට ගැළපුනත් ආයතනයේ නම නිර්මාණය වූයේ ඊටත් එහාට ගිය උතුම් අරමුණක් ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන් තුළ තිබුණ නිසා ය. තම පුවත්පත් ආයතනයට ලේක්හවුස් යන නම යෙදුවේ තම මෑණියන්ට සෙනෙහෙබර පුතණුවෙකුගෙන් ලැබෙන උසස්ම උපහාරයක් ලෙස ය. 
 
ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ මෑණියන් වූයේ වැවගේ දෝන හෙලේනා වීරසිංහය. පියාණන් වූයේ දොන් පිලිප් විජයවර්ධන මුදලිතුමන් ය. මෙම දෙපළට ලද දරුවන් නව දෙනාගෙන් සිව් වැන්නා වූයේ දොන් රිචඩ් විජයවර්ධනය සිය මවට ඉතා ආදරය කළ ලෙන්ගතුව සිටි දොන් රිචඩ් විජයවර්ධන හෙවත් ඩී.ආර්. විජයවර්ධන මහතා තමා ඇරඹූ පුවත්පත් ආයතනයට නම් තැබීමේ දී යොදාගත්තේ තම මෑණියන්ගේ නමට එන වාසගමවූ වැවගේ යන නාමය ඉංගී‍්‍රසියට පෙරලා ලේක්හවුස් ලෙස නම් කිරීමෙනි. සිරිලක  පුතණුවෙකු මවට පිදූ උසස්ම උපහාරයක් ලෙස ලේක්හවුස් ආයතනය හැඳින්වීම මේ අනුව ඉතා සුදුසු යැයි හැඟී යයි. 
 
විජයවර්ධන පරපුර 
විජයවර්ධන පරපුර නියෝජනය කළ මුල් යුගයේ සාමාජිකයන් ජීවත් වූයේ කන්ද උඩරට ය. ඔවුන්ගේ මුල් නාමය වූයේ ‘තෙන්නකෝන්ය’ ඔවුන්ගේ ආදිතමයෝ සිරිමා බෝධියේ දක්ෂිණ ශාඛාව සමග එහි පරිවාර ජනයා ලෙස සංඝමිත්තා මහරහත් මෙහෙණිය සමඟ මෙරටට පැමිණි වංශවත් බ්‍රාහ්මණයන් ය. ඔවුන්ගෙන් පැවැත එන විජයවර්ධනවරු පහත රටම පැමිණියේ ජීවිත ආරක්ෂාව පතා ය. උඩරට රජකළ දෙවන රාජසිංහ රජුගේ විශ්වාසවන්ත හමුදා සෙන්පතිවරු වශයෙන් මෙම තෙන්නකෝන් පරපුරේ තිදෙනෙක් කටයුතු කළේ රජුට ඉතා හිතෛෂිභාවයෙනි. මෙයින් එක් සහෝදරයෙකු ඇතුªළු පිරිසක් රජුගේ නියමයෙන් නැගෙනහිර පළාතේ කොට්ටියාරමට ගොස් විදේශයකින් පැමිණ සුදු ජාතිකයන් රැසක් ජීවග්‍රහයෙන් අල්ලාගෙන අවුත් රාජසිංහ රජුට භාරදුනි. මෙම  විදේශීය පිරිස වූයේ පසුව ලංකාව පිළිබඳව සුවිශේෂී පොතක් ලියූ ඉංගී‍්‍රසි ජාතික රොබර්ට් නොක්ස් මහතා සහ ඔහුගේ පියා ඇතුළු කණ්ඩායමයි. 
රජගෙදර සිදුවූ කුමන්ත්‍රණයක් නිසා රජු හා තෙන්නකෝන්වරු අතර මතභේදයක් ඇතිකර ප්‍රශ්න පැන නංවා දෙපිරිස වෙන් කිරීමට කුමන්ත්‍රණකරුවන් ශක්තිමත් විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස රාජ උදහසට ලක්වූ මෙම පවුලේ දෙදෙනෙකුම රජුගේ නියමයෙන් ඝාතනයට ලක්විය. ඉතිරිවූ සහෝදරයා උඩරට අතහැර පහතරටට  පැමිණ රුහුණේ පස්දුන් කෝරළයේ තුඩුගල නම් සුන්දර ගම්මානයේ පදිංචි විය. එයින් පසු ඇරඹුණු පරපුර කුඩා කල තෙන්නකෝන්වරු විය. පසුව මොවුනට ලැබුණු විජයවර්ධන ගෞරව නාමය සමඟ විජයවර්ධනවරු ලෙස ප්‍රසිද්ධියට පත් විය. 
 
මෙම විජයවර්ධන පරපුරේ කීර්තිමත් සාමාජිකයා වූයේ ඩී.ආර්. විජයවර්ධන මහතාගේ පියාණන් වූ මුහන්දිරම් දොන් පිලිප් විජයවර්ධන මහතා ය. ඔහු ව්‍යාපාරිකයෙකු වශයෙන් සාර්ථක විය. ධනවත් අයෙකු ලෙස රටපුරා කීර්තියට පත්ව මෙතුමා වර්ෂ 1903 දී මිය ගියේ ය. මෙතුමන් පි‍්‍රය මැතිනිය වූ වැවගේ දෝන හෙලේනා විජයවර්ධන මෑණියන් තම දරුවන් නව දෙනාටම මනා අධ්‍යාපනයක් ලබා දුන්හ. මීට වසර එකසිය තිස් හතරකට පෙර එනම් වර්ෂ 1886 පෙබරවාරි මස 23 වෙනිදා උපත ලද දොන් රිචඩ් විජයවර්ධන මහතා කොළඹ ශාන්ත තෝමස් විද්‍යාලයේ අධ්‍යාපනය ලබා සරසවි අධ්‍යාපනය ලැබීමට ඇතුළත් වන්නේ එංගලන්තයේ ක්‍රේම්බිජ් විශ්වවිද්‍යාලයටය. නීතිය හදාරා අධිනීතිඥයෙකු වශයෙන් දිව්රුම් දී වර්ෂ 1912 දී ලංකාවට පැමිණි. ඩී.ආර්.විජයවර්ධන මහතා විවාහයට පත්වනුයේ ජෝන් හෙන්රි මීදෙණිය අධිකාරම්තුමාගේ බාල දියණිය වූ රූබී මීදෙණිය මෙනවිය සමගය. 
මෙම විවාහයෙන් මෙම දෙපළට දරුවන් පස් දෙනෙකු ලැබිණ. ඔවුන්ගෙන් දෙදෙනෙකු පුතුන් විය. සීවලි විජයවර්ධන හා රංජිත් විජයවර්ධන යන දෙදෙනා එම අයයි. දියණියන් තිදෙනෙකි. ඔවුන් නාලනී, කුසුමා, රාණි යන අය ය. වැඩිමහල් දියණිය වූ නාලනී විජයවර්ධන මහත්මිය හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ මෑණියන් ය. නිදහස් සටනේ සාමාජිකයෙක්. 
 
ඩී.ආර්. විජයවර්ධන මහතා මෙරට ජාතික නිදහස් සටන් ව්‍යාපාරයේ ප්‍රබල සාමාජිකයෙකු විය. 1915 වසරේ දී ඇති වූ ජාතිවාදී කෝලාහලයේදී සිංහල නායකයන්ට සිදුවූ අසාධාරණයේ දී එයට එරෙහිව සටන් වැදුන. පිරිස අතර ප්‍රබල නායකයෙකු වූ මෙතුමා ඉංගී‍්‍රසි ආණ්ඩුවට මෙරට සිදුවන අකටයුතුකම් කියාපෑමට රහස් සංදේශයක් සහිතව කෝට්ටේ සිංහයා යැයි විරුදාවලිය ලත් ඊ.ඩබ්ලිව්. පෙරේරා මහතා ඇතුළු නියෝජිත පිරිසක් එංගලන්තයට යැවීම සඳහා සියලු වියදම් දැරුවේ විජයවර්ධන මහතා විසිනි. මෙම ගමනේ දී ඊ.ඩබ්ලිව්. පෙරේරා මහතා ඉංගී‍්‍රසීන් විසින් එංගලන්තයට රැගෙන ගිය මෙරට ජාතික කොඩිය නැවත සොයාගෙන යළි මව්බිමට ගෙනාවේ ය. එම ධජය දිනමිණ පුවත්පත මගින් රටට ප්‍රදර්ශනය කිරීමට පියවර ගත්තේ විජයවර්ධන මහතා විසිනි. 
 
ලංකාවට නිදහස දිනා ගැනීමට ගොඩනැඟූ ලංකා ජාතික සංගමයේ ලේකම් පදවියද දැරූ මෙතුමා 1928 දී ලංකාවට පැමිණ ඩොනමෝර් කොමිසමේ සාමාජිකයෙකු ලෙස ක්‍රියා කළේ ය. ලංකාව තුළ විශ්වවිද්‍යාලයක් පිහිටුවීමට ඉංගී‍්‍රසි ආණ්ඩුව තීරණය කළ විට එය ඉදිකිරීම සඳහා විවිධ ප්‍රදේශ යෝජනා විය. නමුත් මෙය පේරාදෙණියේ ඉදිකළ යුතුයැයි පිරිසකගේ යෝජනාව විය. මේ සඳහා රාජ නීතිඥ ෆ්‍රැන්සිස් ද සොයිසා, රාජ නීතිඥ ඇම්.ටී.ද. ඇස් අමරසේකර, අධිනීතිඥ ඊ.ඩබ්ලිව් පෙරේරා යන ජාතික සංගමයේ ප්‍රධානීන් සමග පෙරමුණ ගත්තේ විජයවර්ධන මහතා ය. පේරාදෙණිය විශ්වවිද්‍යාලය ගොඩනැගූ පසු විජයවර්ධන නාමය සිහිපත් කිරීමට එහි ශාලාවක් ද නම් කළේ ය. මෙතුමාගේ කැපවීම මත එම සරසවියේ බෞද්ධ ආරාමයක් ද ගොඩ නැගුණි. 
 
දේශපාලන ව්‍යාපාරයෙහි යෙදුණද එතුමන් ඡන්ද තරගවලට ඉදිරිපත් වූයේ නැත. නිබඳවම යුක්තිය වෙනුවෙන් පෙනී සිටියේ ය. සර්.ඩී.බී. ජයතිලක මහතා කැලණිය රාජ්‍ය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අසු වූ පසු පැවති මැතිවරණයට ඉදිරිපත් වූ එක් අපේක්ෂකයෙකු වූයේ අධිනීතිඥ ඊ.ඩබ්ලිව්. පෙරේරා මහතා ය. අනෙක් අපේක්ෂකයා වූයේ විජයවර්ධන මහතාගේ වැඩිමහල් සොහොයුරිය වූ හෙලන් ඇග්නස් විජයවර්ධන මහත්මියගේ පුතණුවන් වූ ජේ.ආර්. ජයවර්ධන මහතා ය. එතුමාට නම් තැබීමේ දී සිය මාමා වූ ඩී.ආර්. විජයවර්ධන මහතා සිහිවීමට ඔහුගේ නම වූ ‘රිචඩ්’ යන්නද යොදාගත් නිසා ජේ.ආර්. ජුනියස් රිචඩ් ජයවර්ධන විය. නමුත් විජයවර්ධන මහතා උදව් කළේ නිදහස් සටණේ පුරෝගාමී නායකයෙකු වූ ඊ.ඩබ්ලිව්. පෙරේරාට මිස, ජේ.ආර්. ජයවර්ධන මහතාට නොවී ය. 
 
විජයවර්ධන පවුල ලංකාවේ දේශපාලන වාර්තා කිහිපයක් තැබූ වැදගත් පවුලකි. ලංකාවේ ප්‍රථම ඇමතිවරිය වූ විමලා විජයවර්ධන මහත්මිය, ඩී.ආර්. විජයවර්ධන මහතාගේ සොහොයුරෙකුගේ බිරිඳය. ලංකා පාර්ලිමේන්තුවේ ප්‍රථම වරට නැන්දා සහ බෑණා එක වර නියෝජනය කළේ මෙම පවුලෙනි. නැන්දා වූයේ විමලා විජයවර්ධන මහත්මියයි. ඇයගේ බෑණා වූයේ ඇයගේ දියණිය විවාහ කරගත් මාවනැල්ල මන්ත්‍රී සී.ආර්. බෙලිගම්මන මහතා ය. මේ වාර්තාව මේ වනතුරු වෙනස් වී නැත. ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති වූයේ විජයවර්ධන මහතාගේ බෑනා වන ජේ.ආර්. ජයවර්ධන මහතාය. රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ප්‍රථම වරට පියා සහ දියණිය මැති සබය හෙබවූයේ ඩී.ආර්. විජයවර්ධන මහතාගේ බිරිඳගේ පියා සහ සොහොයුරියයි. ලංකා පාර්ලිමේන්තුවේ ප්‍රථම කතානායක වූ ෆ්‍රැන්සිස් මොලමුරේ මහතා විජයවර්ධන මහතාගේ මස්සිනා ය. (බිරිඳගේ සොහොයුරියගේ සැමියා) මෙවැනි සම්භාව්‍ය පවුලක් ලංකා දේශපාලන ඉතිහාසයේ සොයා ගැනීමට හැකියාවක් නැත. විජයවර්ධන මහතාගේ දියණියගේ පුතණුවන් වූ රනිල් වික්‍රමසිංහ මහතා ද ලංකාවේ වැඩිම වාර ගණනක් අගමැති වූ දේශපාලකයෙකු ලෙස වාර්තා තබා ඇත. 
 
ඩී.ආර්. විජයවර්ධන මැතිතුමන් වැනි සුවිශේෂී නායකයන් රටක උපදිනවා නොව පහළ වෙනවාය. ඒ අනුව මීට වසර 134 කට පෙර එතුමා අප රටට හිමිවිය. ඒ ශ්‍රී නාමය ලේක්හවුස් ආයතනය තිබෙනතුරුම සදා ජීවමානය. ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතුන්ට නිවන් සුව පතමි. 
 
 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.