දුවනියකගේ සන්ධිස්ථාන ත්‍රිත්වය

මාර්තු 20, 2020

කට ඇති පුතත් රුව ඇති දුවත් තමයි වටින්නේ කියල පුරාණයේ කිව්වට අද මේ දෙවර්ගයම රටට එකසේ වටින වස්තූන් දෙකක් වෙලා. දුවක් ඉපදිලා ඉක්මනින් වර්ධනය වනවා. නමුත් පුතාලා වර්ධනය වන්නෙ හෙමෙන් ක්‍රමයෙන්. මෙසේ වර්ධනය වන දුවලා සිප්සතර හදාරමින් ක්‍රමයෙන් වැඩෙනවා. ඇයට අවුරුදු පහක් හයක් විතර වන විට ඇගේ අම්මගේ උකුසු ඇස ඇය වෙතට ලක්වනවා. ඇය දුවන පනින ක්‍රමය, සෙල්ලම් කරන විදිය, ඉගෙනීමේ විලාශය, නැටුම්, ගැයුම් ගැන කිසිවක් නොකීවාට සියලුම දේ ගැන වගකීමෙන් හා පරීක්ෂාවෙන් බලා සිටිනවා. මෙම ක්‍රියා කොහොම උනත් ඇය විසින් දුවනියට කිසිදු තහංචියක් සීමා කිරීම් පැනවීමක් නැහැ. පුංචි දුවනිය මව් කිරිල්ලියගෙන් වෙන්ව ආ පුංචි දූ පැටවෙක් මෙන් ඒ මේ අත ඇවිදිනවා. ඇයට වයස 8, 9, 10 පසු කරන කොට මේ පුංචි කිරිල්ලියට තහංචි නොපැනවුණත් ඇය ගැන ඇගේ ගති පැවැතුම් ගැන ඉතා පරීක්ෂාකාරී වනවා. අම්මා විශේෂයෙන්ම රාත්‍රියට නින්දට පෙර ඇයගේ වස්ත්‍ර ගැන, නිදන ස්ථානය පසුදා දවස ආරම්භයේ දී ඇගේ ස්වභාවය හා පරිහරණය කරන ඇඳුම් ගැන වෙනදාට වඩා සැලකිලිමත් වනවා. පොත් මිටිය පපුවට තුරුල්කරගෙන සුපුරුදු ලෙස පාසල් යන දුවනිය අද දින පාසල් යාමට නවත්වනවා.

මොකක්දෝ පුංචි වෙනසක් ඇයටත් දැනෙනවා. අම්මගේ මුහුණත් තරමක ආඩම්බරයකින් රතුවනවා. තාත්තාටවත් කියන්නට ප්‍රථම අල්ලපු ගෙදර පුංචි අම්මා සමඟ වේගවත් දෙබසක්. ඒ ගැන ඇයගෙන් වත් අහන්නෙ නැතුව තාත්තට කිසියම් වෙනසක් වැටහුණු බවයි. අලුත් මල් වැටුණ චීත්තයකින් හා බෝරිච්ච් හැට්ටයකින් සැරසුණු අම්මා බුලත් අතකුත් ඔතාගෙන පුංචි අම්මා සමඟ නැකැත් මාමාගේ ගෙදර යනවා. බුලත් විටක් හපමින් සිටි නැකැත් මාමා ඉක්මනින්ම කටහෝදාගෙන අන්ඩක් කැඩුණු කණ්ණාඩි කුට්ටම ඇහැට දමාගෙන දුවනියගේ කේන්දරය පරීක්ෂා කරනවා. නැකැත් මාමා තමුන්ටම තමුන් කතා කරමින් නර රාශි වන මිථුන, කන්‍යා, තුලා, ධනු, කුම්භ රාශියක චන්ද්‍රයා සිටින බවත් ඒ තැන චන්ද්‍රයාට පෙනෙන බවත් දැක ජයග්‍රහණ කළ ක්‍රීඩකයෙක් වගේ මෙහෙම කිව්වා. “කෙලී වැඩිවිය පැමිණිලා. මල්වරය වෙලා තිබෙන්නෙ පුර තිථියට. බොහොම සුබයි.’ කියලා තවත් පරීක්ෂා කළ ඔහු කෙලී නාවන දිනය, බෙහෙත්

කළයට ඖෂධ, නාවන දිශාව, වස්ත්‍රයේ පාට මේ ඔක්කොම විස්තරත් කියලා වැඩිපුරවත් 4 වැනි රාශිය පරීක්ෂා කරල මව් ගැනත්, 10 වැනි රාශිය බලා පියා ගැනත්, 07 වැනි රාශිය බලලා, විවාහය ගැනත් බලලා ලොකු විස්තරයක් කිව්වා. ඉගෙනීම ගැන කොහොමද? ඒ අම්මගේ පැනය. ශිල්ප ස්ථානය පරීක්ෂා කළ ඔහු මේ පහේ රාහු සමඟ බුධ යෝග වෙලා ඉන්නෙ හොඳට ඉගෙන ගන්නවා කියල කිව්වාම අම්මගේ මුහුණේ සතුට දෝරේ ගලාගෙන ගියා. පිරුණු සිතින් අම්මා ගෙදර එනකොටත් ලොකු අම්මා කෙලීව කාමරයකට දාලා, බිමට නොකැඩූ පොල්මලක් විසිරුවා, ඇයට පෙනෙන්නට තබලා තිබුණා. ඒ ළඟම පොල්තෙල් පහනක් දල්වා තිබුණේ කාමරයේ අඳුර මකන්නට නොවේ. ලොකු අම්මාද කාමරයේ කොනක පොතක් කියවමින් ඉන්නවා.

මේ ඥාති සියලුම දෙනා කෙලීගේ ප්‍රථම සන්ධිස්ථානය පසු කරවන්න සියලුම වැඩ කටයුතු සූදානම්. නැකැත් මාමා දුන් උපදෙසට අනුවම කටයුතු කළ අම්මා දින කීපයකට පසු සුපුරුදු පරිදි පාසලට දියණිය පිටත් කළා. සුපුරුදු යෙහෙළියන් ඇයව ආදරයෙන් වැලඳගත්තේ පිරිමි යාලුවෝ සුබ පැතුවේ මේ ඔක්කොමලාම ඇය ප්‍රථම සන්ධිස්ථානය පසුකළ බව වැටහුණු නිසා වන්න ඇති. දිනෙන් දින මෝරා වැඩෙන පූර්ණ චන්ද්‍රයා සේ ඈ වැඩෙනවා. බෙල්ල ළඟට තිබූ කෙටි කොණ්ඩය ක්‍රමයෙන් දෙකරලට පීරල පිට වටේට වැටිලා ළමැද ක්‍රමයෙන් ඉස්සෙනවා. හැම දෙයම ක්‍රමයෙන් වැඩෙන මේ දිනවල ඇගේ සුදු ගවුමේද වාටිය දණහිසෙන් පහළට වාටිය මැහෙනවා. නමුත් ඇගේ දඟකාර ගතිය, කැටයම් කතාව, කෙටි අඩි තබල ඉක්මනින් යන ගමනට නම් කිසියම් තහංචියක් වැටුණා වගේ දැනුණා. නැකැත් මාමා කීවා සේ ඇය අපොස සාමාන්‍ය පෙළ විභාගය සමත් වූයේ ඉතාම ඉහළින්. විදුහල්පතිනිය, පන්තිය භාර ගුරුතුමිය, යෙහෙළියන් යහළුවෝ හැම දෙනෙකුගේම ආශීර්වාදය ඇයට හිමිවුණා. දැන් තාත්තා බලන්නෙ දුවනිය දොස්තර නෝනාකෙනෙක් කරන්න. අම්මා බලන්නෙ ටීචර් කෙනෙක් කරන්න. කෙසේ වුණත් කෙලී උසස් පෙළ කරන්න එපායැ. හා ඒ වියදම් මම බාරගන්නම් කෝ. ඒ ලොකු මාමාගේ ස්වරය. මේ අයුරින් ඈ පන්තියේ දීප්තිමත් දරුවෙක් වුණා. උසස් පෙළ විභාගයට තව මාස 10 යි. නැවත් ජන්ම පත්‍රය නැකැත් මාමාට යොමු වුණා. මෙවර ඔහු පස්වැනි රාශිය පරීක්ෂා කළේ නැහැ. ඔහුගේ ඇස ගියේ 11 වැනි රාශියට. ඔහු තමාටම කියනවා. කෙලීගේ ලග්නය කුම්භය 11 රාශිය අයිති බ්‍රහස්පතිට. ඒ දිනවලට බ්‍රහස්පති උච්චයි. උසස් පෙළ විභාගය දිනනවා. ධනුවගේ ගෝචරය බ්‍රහස්පතිට අයිති 11 වැන්නේ මෙසේ දක්ෂ ලෙස සිප්සතර හැදෑරූ මේ දැරිවිය උසස් පෙළ සමත්වූයේ ඇයද නොසිතූ ආකාරයෙන්. ඇයගේ ඉදිරි විෂය පථය ගැන හැමෝටම ප්‍රහේළිකාවක් වුණා. අපි ඇයව අර පැත්තට යවමු. මේ පැත්තට යවමු. ගෙදර ඉඳළම කැම්පස් යනවද. බෝඩිං කරනවද ඥාතීන්ගේ ප්‍රශ්න වැලක්. පළමු වසර රජයෙන් පහසුකම් තිබෙන නිසා පළමු වසර ඇය කැම්පස් එකේම නවතමු. අවසාන තීරණය වුණා. ලොකු අම්මගේ තීරණය අමුතුම වෙනස් එකක්. අපි ශිෂ්‍යාධාර නොගෙන ඉමු. මම වියදම් කරන්නම්, කෙලීට. අක්කර ගණනක පොල්වත්ත හිමි ලොකු අම්මා කිව්වා. ටිකක් ආඩම්බරයෙන් වගේ.

ඉහළින්ම උපාධිය සමත් ඈට රටේ ඉහළම රක්ෂාවක් හිමි වුණා. කලවයසත් හොඳ නිසා මංගල යෝජනා ගලා ආවේ එකට එකක් නොවෙනස්වයි. මංගල දිනය තීරණය වුණා. එක් එක් වැඩ බෙදාගත්තා. පෝරු මාමා ඇයවත්, සහකාරයවත් පෝරු මස්තක ප්‍රාප්ති කරලා ශ්ලෝක වරුසාවෙන් සුබ පැතුම් එක්කළා. පෝරුවෙන් බහින්න කලින් ඔහු ලස්සන කවියක් කිව්වා. ‘එදා සිට මේ පැවැති සිරිතකි. මගුල් සක්වළ මේ ලෙසින් එකුන් පන්සිය කුමරු බිහිවි පසේ බුදු වූ අනුහසින් යසිං මේ දෙදෙනාව පෝරුවේ සිටුවමින් සෙත්කළ බලෙන් නොවී කරදර, නොවී ලෙඩදුක් ලැබී පින්වත් දූ පුතුන්’ ඔක්කොමලටම සතුටුයි. පෝරුවෙන් බැසයත්ම පොල්ගෙඩියක් බිඳ දැ සියලුම වස්දොස් නැතිවීමට බව පෝරු මාමා පැහැදිලි කළා. මෙදින අන්තිම චාරිත්‍රය උනේ යුවළ මදුසමයට පිටත්වීමයි. එය බොහෝ දෙනෙකුට සතුට ගෙනාවත් අම්මට තාත්තට දුක ගෙනදුන් බව දැන ගත්තේ ඔවුන් කඳුළු පුරෝගෙන හිටි නිසා. තඩි කාර්එකට නගින්නට ප්‍රථම දිලිසෙන සැරසිලි, කෑලි, ක්‍රේප් කෑලි දෙදෙනාගේ හිස මතට සුළඟේ පා කළේ ඇගේ පොඩි මල්ලි විසින්. නැවත යුවළ ගෙදර එන දිනයෙත් පුංචි උත්සවයක් මගුල් දා රිදී පාටින් වැඩ දැමූ සාරිය ඇඳගෙන සිටි ඇය අද රතුපාට දිලිසෙන සාරියකින් සැරසී සිටියා. ඈ යහපත් පතිනියක් වී හමාරය. හැමදෙනම සතුටට පත්ව සිටියේ ඇය අද දෙවන සන්ධිස්ථානය පසුකළ බව වටහාගත් හෙයිනි. යුවළ වෙනමම පදිංචියට ගියහ. වරෙක දුවනියගේ මව්ද, වරෙක පුතාගේ අම්මාද මේ යුවලගේ තනි නොතනියට සිටියහ. මෙසේ කලක් ගතවිය. දිනක් ඇය අම්මාට රහසක් කීවා ය. ගෙදරට අලුත් අමුත්තෙක් එන බවට ලකුණු පැහැදිලි විය. ඈ නොකඩවා වෛද්‍ය සායනවලට ඉදිරිපත් වූවා ය. වෛද්‍යවරුන්ගේ උපදෙස් පිළිපැදුවාය. වෙනදා සුපුරුදු හැමදෙයම ආහාරයට ගත් ඇයට සමහර දේවල් සීමා කරන්න සිදුවිය. නිදි වැරීම අධික වෙහෙස දැරීම තහනම් විය. සෑම දෙනාගේම සුබාශිංසන නොඅඩුව ලැබිණ. වෙසක් මහේ පුර තිථිය ලැබූ තෙවැනි සඳු දිනකට යෙදී තිබිණ. සඳ සිසිල ගලා එන එක්තරා පින්වත් දිනක ඇය වාසනාවන්ත පිරිමි පුතෙක් ප්‍රසූත කළා ය. මහා ප්‍රජාපතියගේ නිබ්බුත පද මට සිහියට නැඟින. ඇය අද ජීවිතයේ සතුට බෙදා ගනිමින් දුවනියකගේ තුන්වැනි සන්ධිස්ථානය පසුකළ යහපත් ස්ත්‍රියක් වූවා ය.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.