වසංගත රෝග දුරු කරන පිරිතේ තෙදබල

ජුනි 5, 2020

රටට පැමිණෙන සියලු අන්දමේ ආපදාවලින් ව්‍යසනවලින් හා රෝගාබාධවලින් ආරක්ෂාවීම සඳහා දේශනා කරනු ලබන පිරිත් දේශනයට ඇත්තේ දීර්ඝ ඉතිහාසයකි. විසාලාමහ නුවරට ඇති වූ තුන් බිය අවස්ථාවේ රතනසූත්‍ර දේශනාව පැවැත්වීමෙන් රෝගාබාධ දුර්භික්ෂ දුරුවී රට යථා තත්ත්වයට පත් වී සශ්‍රීකවූ බව ඉතිහාසයෙන් පෙන්වා දෙයි. සමහර ලෙඩ රෝග බෙහෙත්වලින් සුව කළ හැකිය. එහෙත් බෙහෙත්වලින් සුවනොවන ග්‍රහ අපල භූත දෝෂ අමනුෂ්‍ය දෝෂ ද පවතී. මෙවැනි සමහර රෝග පිරිත් බලයෙන් මෙන්ම බුගුණ කියවෙන ශාන්තිකර්ම තුළින්ද සුව වේ. කායික රෝග බොහොමයක් සුය කිරීමට වෙදකමට හැකිවූවත් මනසෙහි හටගන්නා රෝග සුව කිරීමට පිරිතේ ඇති බලය පුදුමාකාරය. මේ අතර ස්ථිරවශයෙන්ම රෝග සුවය සඳහා පිරිත් දේශනවල පවතින සූත්‍රධර්මයෝ අපමණය. එම පිරිත් දේශනා අතර රෝග සුවය සඳහා මහා කෂ්සප තෙරුන් වහන්සේ මහා මුගලන් තෙරුන් වහන්සේ ද මහා චුන්ද තෙරුන් වහන්සේද සප්ත බොජ්ජංග පිරිත් දේශනාව තුළින් සුවපත් වූහ.

රෝගීව සිටි දීඝායු කුමාරයා අමනුෂ්‍ය උපද්‍රවයකින් මියයන බව දැනගත් දෙමාපියන් බුදුරජාණන් වහන්සේ වෙත ගොස් ඒ බව සැළකිරීම නිසා බුදුන් වහන්සේගේ උපදෙස් පරිදි නිවසෙහි මණ්ඩපයක් කරවා සොළොස් නමක් හිමිවරු වැඩමවා තුන්යම් රාත්‍රීයක් පිරිත් දේශනයක් පැවැත්වූහ. සත්වන දිනයේ දී බුදුන් වහන්සේ ද එහි වැඩමවා තුන්යම් රාත්‍රියක්ම එහි වැඩ සිට ආශිර්වාද කරවූහ. ඉන් දීඝායු කුමරු සුවය ලැබූ අතර ඉදිරියට සියක් වසරක්ම ජීවත් වූ බවත් සඳහන්. එමෙන්ම ඉහතින් සඳහන් කළ රතන සූත්‍ර දේශනාව බුදුන්වහන්සේ විසින් දේශනා කළේ විශාලා මහනුවරට පැමිණි තුන්බිය දුරුකරලීම සඳහා වූ පිරිත් දේශනාවක් වශයෙනි. පිරිත් දේශනය ගැන සැළකීමේ දී අනුරාධපුර රාජධානියේ විසූ රජදරුවන් දවස පටන්ම පිරිත් දේශනා පවත්වා ඇති බව වංශ කතාවල මැනවින් දක්වා ඇත.

ක්‍රි.පු. දෙවන සිවයසේ දී මිලින්ද ප්‍රශ්නයේදී ද රත්නමාලී ථූපපයට මුල්ගල් තබන අවස්ථාවේ දී ද පිරිත් දේශනා පවත්වා ඇත. දෙවන සේන රජතුමා ද රන්පත් ඉරුවල රතනසූත්‍රය ලියවා පිරිත් දේශනා කරවා ඇත. සතරවන අග්‍රබෝධි රජතුමා ද නිතර නිතර පිරිත් දේශනා පවත්වා ඇත. පස්වන කාශ්‍යප රජතුමාද පිරිත් දේශනා පවත්වා ඇති අතර මහා පරාක්‍රමබාහු රජතුමා පිරිත් පැන් පිරිත් නූල් ලබාදීම සඳහා පිරිත් දේශනා කිරීමට නව ගෘහයක් ඉදිකරවා ඇත. දෙවන පැරකුම්බා රජතුමා පිරිත් කතිකාවක් පවත්වා ඇති අතර පිරිත් දේශනය තුළින් රටට ආශිර්වාද ලබා ගෙන තිබේ. ඉන් අනතුරුව රාජශි‍්‍රයට පැමිණි සියලුම රජවරු පිරිත් දේශනා පැවැත්වීමෙන් වරින්වර පැමිණි ආපදාවලදී සෙත ශාන්තිය උදාකර ගෙන ඇත. මහරහතන් වහන්සේලා වැඩ සිටි කාලයේ දී හෙළ රජ දරුවන් පිරිත් ජාතියටම ආශිර්වාදයක් කරගනු ලබමින් පවත්වා තිබේ.

උපතිස්ස රජ දවස සිදුවූ මහා දුර්භික්ෂ අවස්ථාවේ දී රජතුමා ප්‍රධාන රටවැසියා සිල්සමාදන් කරවා රට පුරා නගරය සරසවා මංමාවත් ඔස්සේ රතනසූත්‍ර දේශනාව පවත්වා දුර්භික්ෂය සමනය කළ බැව් සඳහන් වේ. එසේ පිරිතෙන් කළ අනුහස් හේතුවෙන් පිරිත් දේශනා පැවැත්වීමට රාජ ආඥාවක් පවා සිදුකළ බැව් මහා වංශයේ සඳහන් බව පිරුවානාපොත්වහන්සේහි සඳහන්ව ඇත. කලක් සැවැත්නුවර ජේතවනාරාමය අවට ප්‍රදේශයට දරුණු දුර්භික්ෂයක් හා නියන්තත්ත්වයක් ඇතිවිය. ඉන් ජනතාව මහත් පීඩාවට පත්ව දුක්විඳින්නට වූහ. ජේතවනාරාම පොකුණද නියගය නිසා සිඳී ගියේ ය. ජනතාව ජලය නොමැතිකමින් මහත් වූ පිපාසයෙන් පීඩා විඳින බව බුදුන් වහන්සේට පෙනුණි. එහෙයින් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ජේතවනාරාමයේ පොකුණ ළඟට වැඩමකර බුදුගුණ බලයේ සත්‍යානුභාවය මෙනෙහි කරන්නට වූ විට මහවැසි වසින්නට වූහ. එනුවරට මහවැසි ආනිසා, පොකුණ, පිරීගොස් සශ්‍රීකත්වයෙන් යුතු කලදවසක් රටට උදාවිය.

විශාලා මහනුවර ඇතිවූයේ තුන් ආකාරයක බියකි. නියගය නිසා දුර්භික්ෂය පැතිරෙන්ට වූහ. දෙවනුව මිනිසුන් රෝගාතුර වූහ. අනතුරුව මිනිසුන් මිය යන්නට වූහ. මේ නිසා නුවර පුරා මළ සොහොන් අමනුෂ්‍ය උපද්‍රවද පැතිරෙන්නට පටන් ගනී. මේ අවස්ථාවේදී සම්මා සම්බුදුරජාණන් වහන්සේ ආනන්ද තෙරුන් වහන්සේ අමතා රතන සූත්‍ර පිරිත් දේශනාවෙන් වතුර කළයක් පිරිත්කර නුවර ඉසින ලෙසට වදාළ බව පොතපතේ සඳහන් වේ. පිරිත් පැන් ඉසීමෙන් අනතුරුව තුන්බිය දුරු වී නුවර සශ්‍රීක වී ඇත. තුන්යම් රැයක් පුරාවට පවත්වනු ලබන්නේ මහ පිරිතයි. පිරිසුදුකර නිවසේ සාලයේ හෝ වෙනයම් ස්ථානයක අලංකාර ලෙස ඉදි කෙරෙන පිරිත් මණ්ඩපයට පළමුකොට වඩම්මනු ලබන්නේ තුන්රුවනයි. තථාගතයන් වහන්සේ වෙනුවට මැඩම කරනු ලබන්නේ සධාතුක කරඬුවත් ධර්මරත්නය වෙනුවෙන් පිරිත් පොත්වහන්සේත් හා පිරිත් හුයද මහා සඝරුවන දොළොස් නමක් ද වෙති. පිරිත් මණ්ඩපය මැද තබා ඇති මේසය මත පූජා භාණ්ඩ තැන්පත් කරනු ලබන අතර භික්ෂූන් වහන්සේ ඒ වටා වැඩ සිටිති. රාජගහ ධාතු කරඬුව පිරිත් පොත් වහන්සේ සහ පිරිත් පැන් කළයද තුන් පොටක් ලෙස සකස් කළ පිරිත් හුය ද පූජා භාණ්ඩ හා එකට එක සම්බන්ධ කරමින් යුග පුටුවෙහි හා වටා වැඩ සිටින භික්ෂූන් වහන්සේලාගේ සුරතෙහි රඳවාගනිති. පිරිත් දේශනය ආරම්භ වන්නේ පිරිසපන්සිල්හි පිහිටුවීමෙනි.

දේවාරාධනාව, පිරිත් පේ කිරීම, ශබ්ද පූජාව පවත්වා පිරිත් පිරීම සිදුකෙරේ. යුගල බැගින් පිරිත් දේශනාව පවත්වා මධ්‍යම රාත්‍රියෙහි එය අවසන්කොට ශබ්ද පූජා පවත්වා සූත්‍ර දේශනාව ආරම්භ කොට නැවත අලුයම් කාලයේ දී ශබ්ද පූජා පවත්වා ආටානාටිය සූත්‍ර දේශනාවත් උදෑසන සෙත් පිරිත් දේශනාවත් පවත්වා පිරිත අවසන් කෙරේ. එසේ අවසන් කරනු ලබන්නේ පින් අනුමෝදම් කිරීමෙන් අනතුරුව පිරිත් නූල් පිරිත් පැන් බෙදා දීමෙනි. අපල උපද්‍රව දුරුකර ගැනීමට සෙත ශාන්තිය උදාකරගැනීමට අවශ්‍ය වූ අවස්ථාවලදී වරුපිරිත දේශනා කරවා ගනිති. එය තුන් වරුවක් පස් වරුවක් හෝ හත් වරුවක් හෝ දිනපතා උදේ සවස නොකඩවා වරු පිරිත සිදුකරගනී. මෙහිදී මහාමංගල සූත්‍රය රතන සූත්‍රය හා කරණීය මෙත්ත සූත්‍රය යන තුන් සූත්‍රය දේශනා කරනු ලබයි. පිරිතේ බලයෙන් වසංගත රෝග දුරුවී සෙත ශාන්තිය උදාවී රට සශ්‍රීක වේවා.

පාරම්පරික ඡ්‍යොතිෂවේදී
ඡ්‍යොතිෂ් ප්‍රභාෂ්වර
මොරටුවේ තිස්සමහානාම

සටහන - බී.ඇල්. ප්‍රේමරත්න

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.