ගස්වැල් සමග කතා බහ කිරීම මල්ඵල දැරීම කඩිනම් කරවයි

ජුනි 26, 2020

ගස්වැල් අජීවී වස්තුන් ලෙස සැළකුවත් ගස්වල මල්ඵල දැරීම, වර්ධනය, හා එහි විවිධ ක්‍රියාකාරකම් හේතුකොටගෙන  එම ශාකයන්ට ද ජීවයක් පවතින බව අවිවාදයෙන් පිළිගත යුතුව තිබේ. පාසල් යන සමයේ දී ගස්වැල්වලට ප්‍රාණයක් නොමැත යන අර්ථයෙන් අප්‍රාණවාචී ලෙස හැඳින්විණි. 

අප වවනු ලබන ගස්වැල්වල සමහරක මල් පල දරනු ලැබුවත් සමහර ගස්වැල් වල මල්පල නොදරන බව අප දැක තිබේ. එහිදී අප පුරුදු වී ඇත්තේ එම ගස්වැල්වලට දෝෂාරෝපණය කිරීමට ය. 

එහෙත් මෙහිදී ගැඹුරින් අධ්‍යයනය කිරීමේ දී ඇතැම් ගස්වල මල් පල දැරීමටත්, ඇතැම් ගස්වල මල්පල නොදැරීමටත් හේතුවූ කරුණු අනාවරණය වී තිබේ. ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ ගස්වැල් සමග කතා බහ කිරීම හා කතා බහ නොකිරීමයි. 

ගස්වැල් සමග කතාබහ කිරීමේ දී ගස්වැල්වලට ජීවයක් නැතැයි කියා එය විහිළුවට ලක් කිරීමට ඇතමකු පෙළඹී ඇතත් එහි ගැඹුරු සත්‍යයක් පවතී. එනම් නිතර ගස්වැල් සමඟ කතා කිරීමෙන් එම ගස් වැල් මල්පල දැරීම කඩිනමින් සිදුවන බවකි. 

ඒ.එම්.ආර්. බෝපෙගෙදර මහතාගේ “විද්‍යාවෙන් ඔපවෙන අපගේ විශ්වාස හා ඇදහිලි“ සහ “සතුන් හා ගහකොළ සතු ඓශ්චර්යමත් අධ්‍යාත්මික බලය විද්‍යාවෙන් ඔපවෙන හැටි. (පළමු කොටස) යන කෘතීන්වලට අනුව ගහකොළ සමඟ කතා කිරීමේ රහස් පහසුවෙන් අවබෝධ කර ගත හැකි වනු ඇත. 

රුසියන් විද්‍යාඥයින් පිරිසක් ප්‍රමුඛ බටහිර විද්‍යාත්මක පර්යේෂණ ක්‍රියාවලියකට අනුව ඉහත සඳහන් අනාවරණය සඳහා ප්‍රවිශ්ට වීමට අවකාශය සැලසිණි. අමෙරිකානු ජාතික ජේම්ස් ස්ටෙග්නර් “එයා ප්ලාන්ට්” නම් මල් නොපිපෙන බව පැවසෙන පැළයකින් මලක් ඉල්ලා සිටියේ ය. සියල්ලන් විසින් ඔහුට පැවසූ මල් නොපිපීමේ ස්වාභිවික තත්ත්වය පරදවමින් මල් නොපිපෙන ගසට ස්ටෙග්නර් විසින් කළ සුහද ඉල්ලීමට අනුව එම ගසෙන් අත්‍යාලංකාර වූ පුෂ්පයක් ලබාදීම විශ්මය ජනක ප්‍රවෘත්තියක් විය. ඊට ප්‍රධාන හේතුව වූයේ ස්ටෙග්නර් විසින් එම මල් නොපිපෙන බවට සැළකූ ගස වෙත ගොස් කරන ලද සාත්තු සප්පායම් හා එම ගස සමග නිරන්තර සුහදව කතා කිරීම බව එමගින් සනාථ කර ඇත. 

පැළෑටි පිළිබඳ විවිධ පර්යේෂණ සිදුකළ වෛද්‍ය ජෝන් මෙයර්ස් පවසන්නේ මිනිස් කටහඬට ගස්වැල් ක්ෂණිකව ප්‍රතිචාර දක්වන බවත්, ගසත් අයිතිකරුත් අතර ඇතිවන සබඳතාවය හා බැඳීම මත ගසෙහි වැඩීම තීරණය වන බවත් ය. 

1974 දී “පැළෑටි සතු අධ්‍යත්මික බලය” නමැති කෘතිය ලියා පළ කළ ජෝන් පිටමන් ආසියාතික ජනතාව වචනයට බලයක් ඇති බව විශ්වාස කරන නිසාත්, පෙරදිග ආගම් විසින් සත්‍යයට කතා කිරීමට පෙළඹීම නිසාත්, ඔවුනට ගහ කොළ සමඟ මුළු හදවතින්ම සම්බන්ධ වීමට හැකිවන අතර එසේ ගස් සමඟ කරනු ලබන ආත්මීය සල්ලාපය අතිශයින්ම ප්‍රතිඵලදායක වන බවත් පෙන්වා දෙයි. 

විද්‍යාඥයින් විසින් කරන ලද විවිධ පර්යේෂණවලින් මෙන්ම සාමාන්‍ය ජනතාවගේ අත්දැකීම් සම්භාරය අනුවද අප විසින් සිතින් හෝ වචනයෙන් හෝ වෙනත් අයුරකින් කරනු ලබන ආරාධනාවකට ගහකොළ නිසැකවම ප්‍රතිචාර දක්වන බව පැහැදිලි ය. 

මේ අනුව පාසල් අධ්‍යාපනයේ දී සිංහල භාෂා පාඩමේ දී ගස්වැල් අප්‍රාණවාචී වුවත් විද්‍යාත්මක පර්යේෂණයන්ට අනුව මනුෂ්‍යයා සේම තවත් දියුණු සත්ව විශේෂයක් ලෙස ගහකොළ සැළකීම වරදක් නොවන බවත්, ගහකොළ සමඟ කතා කිරීමෙන් ගහකොළ සුරැකීමෙන් හා ගහකොළට ආදරය සෙනහස දැක්වීමෙන් මිනිසාට යහපත් ධනාත්මක ප්‍රතිඵල අත්විඳිය හැකි බවත් අවබෝධ කටයුතු ය. 

ආයුර්වේදය තුළ වෘක්ෂායුර්වේදය වශයෙන් විශේෂ අංශයක් දක්වා ඇත්තේ ද ගහ කොළ ආයුර්වේදයේ ජීවය වශයෙන් පිළිගනු ලබන හෙයිනි. 

එදා අපේ මුතුන් මිත්තන් ගහ කොළ කැපුවේ එම ගසෙන් අවසර ලබා ගනිමිනි. ගස කැපීමේ අවශ්‍යතාවය ගසට පැහැදිලි කරමින් ගස කැපීමෙන් උරණ නොවන ලෙස ගසෙක් ඉල්ලා සිටිමිනි. බොහෝවිට කපන ගස වෙනුවට තවත් එම පැළයක් සිටුවීම ද බොහෝවිට සිදු කෙරිණි. තවද ගස කැපීමේ දී මුල් පැළයකින් නව පැළයක් ගෙන සකස් කරන්නේ නම් නව පැළය පෙනෙන පරිදි මුල් කාලයේ පැළයට සාත්තු කළ යුතු බවත්, දැක්විණි. 

අප සමාජයේ ගහකොළ සමඟ වෛර කරන පිරිසක් ද නැත්තේ නොවේ. ඔවුන්ට ගස් වැල් දෑසට පෙන්නන්න බැරි තරමටම ඇසට කටු අනින්නාක් බඳු ය. අවශ්‍ය වුවහොත් ගසෙක් ලබා දෙන ප්‍රයෝජන හා වාසි නොතකා ගස කපා මුදල් කර ගැනීමටද ඔවුහු බොහෝ විට පෙළඹෙති. මුදල් නැති අවස්ථාවකදී මුදල් සොයා ගැනීමට වෙනත් සාධනීය මාර්ග පසෙක ලා තමන්ට මහමෙරක් සේ පිහිටට සිටි පොල් ගස හෝ කොස් ගස හෝ කපා මුදල් කර ගැනීමට තරම් ඔවුහු නිර්ලජ්ජි වෙති. ගස රැක ගැනීම වෙනුවට ඔවුන් කරන්නේ හිතුමතේ ගස් කපා මුදල් ඉපයීමයි. මිනිසුන් මෙන්ම ගහකොළ ද බිය, දුක, කෝපය ආදී විවිධ සිතුවිලි මාත්‍රා පහළ කරන බැවින් නිරතුරු තම ශාක වනසන්නන් ලෙස ශාප නොකරන්නේ දැයි කා හට නම් කිව හැකි ද? 

බුරුත, නා, කුඹුක්, කොස් වැනි වටිනා දැව වර්ග මුදල්වලට කෑදරකමට පරිසරය ගැන අබමල් රේණුවක් හෝ නොතකා හොර රහසේ කපා දමා ප්‍රයෝජනයට ගනු ලබන අවස්ථා ජනමාධ්‍ය මඟින් නිරතුරු අපට අසන්නට ලැබෙන්නේ මහත් පාප කර්මයක් සපුරා ගනිමිනි. තම හිසට සෙවණ දුන් ගස කපා මුදල් කර ගන්නේ කිසිම ආත්මීය හැඟීමක් නොමැති පරිද්නේ වීම කණගාටුවට කරුණකි. 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.