අන්නප්‍රාශනය හෙවත් බත් කැවීම

ජුනි 26, 2020

බත් කැවීමේ සිරිත හෙවත් ඉඳුල් කට ගෑම ගොහිල හා බදිරාදීන් සලකා නැතත් මානවාදී ගෘහ්‍ය සූත්‍රකරුවන්ගේ හා මනු ආදී ස්මෘතිකරුවන්ගේ සැලකීමට භාජන වූ දෙයකි. “ෂෂේටන්නප්‍රාශනං මාසි දේවෙෂ්ටං මංගලං කුලෙ” යි මනු මේ චාරිත්‍රය උපතින් සවන මාසයේ දී කළයුතු යයි කියන අතර මානව ගෘහ්‍යයෙහි 5, 6 මාස ඒ සඳහා දක්වන ලදී. 

අන්න ප්‍රාශනං කාය¸ං මාසි ෂෂෙටප්ටමෙ බුධෛඞ 

ස්ත්‍රිණාන්තු පංචමෙ මාසෙ සප්තමෙ ප්‍රජගෞ වුනිඞ 

යනුවෙන් වාචස්පති ප්‍රකාශයෙන් අන්නප්‍රාශනය සඳහා පිරිමින් හට 6, 8 වන මාසත් ස්ත්‍රීන් හට 5, 7 මාසත් ගත යුතු බව කියවේ. කාල විධාන පද්ධතියේ උපතින් පස් මසකින් පසු පිරිමින්ට 6, 8, 10, 12 යන මාසයක සඳු, බුධ, ගුරු, කිවි දිනයක කළ යුතු බව පැවසේ. අපරාර්කයෙහිද කියන්නේ සමසකින් හෝ වසරකින් එය කළ යුතු බවයි. එහිම මේ චාරිත්‍රය කරන සැටි සාංඛ්‍යයන් සඳහන් කරන්නේ මෙසේ ය. එළු හෝ කුරුලු මසින් නැතහොත් මාළු සමග බත් දිය යුතු ය. ඉදින් සෞඛ්‍ය පිරිසුදුබව, මෘදුත්වය, සූරත්වය, කැමති නම් කිරි මී ගිතෙල් මුසුකර  මන්ත්‍ර කියමින් දරුවාට කැවිය යුතු ය. අනතුරුව මන්ත්‍ර කියා ගින්න පුදා කුස තණ මත දරුවා හිඳුවා මව ඉතුරු  ආහාර කෑ යුතු ය. මානව කාඨක වෛක් යන මොවුහු ගිතෙල් බත් හෝ කිරිබත් මිස මස් ගැන සඳහන් නොකරති. මෙහි ප්‍රධාන කරුණ දරුවාට ආහාර රස ගැන්වීම ය. සමහර ලේඛකයන් හෝමය සහ බමුණන් වැළඳවීම කියන ලදහ. මාර්කණ්ඩය පුරාණයෙන් ගෙන අපරාර්කයෙහි මේ ගැන වැදගත් කරුණක් සඳහන් කර ඇත. එනම් ගෙයි පුදන දේව රූපය ඉදිරිපස කලාත්මක කෘතිවලින් යුත් භාජන හා ශාස්ත්‍රීය උපකරණාදිය අතුරා දරුවාට ඒවා අතගෑමට ඉඩදී එයින් දරුවා පළමුව කුමක් ස්පර්ශ කෙරේදැයි බලා ඔහුගේ අනාගතය ප්‍රමාණ කරන බවය. ඉතා වැදගත් මේ චාරිත්‍රයෙන් අදහස් කරන්නේ උපතින් සවෙනි මාසෙදී මස්, මාළු හා බත් කටක් කැවීමත් පසුව කිරි, මී, ගිතෙල් මුසුව කැවීම සහ ගිතෙල් ගින්නට දැමීම ය. ලක්දිව සාමාන්‍යයෙන් වසරකින් බත් කැවීමේ චාරිත්‍රය සිදු කරති. එහිදී කෑම වර්ග දරුවා ඉදිරිපිට තබා පළමු කී සේ ඔහුට කැමති දෙයක් ගැනීමට ඉඩ හැරීමේ සිරිත ද වේ. 

ලක්දිව වසන හින්දුන් අතර පහත සඳහන් සිරිත් ද තිබේ. ඔවුහු පිරිමි දරුවකුට නම් තනි නූලක් ද ගෑනු දරුවෙකුට නම් කොළයක හැඩය ගත් ලෝහයෙන් කළ ‘පැන්ඩන්’ එකක් සහිත නූලක් ද පළමුව ඉණ බඳිති. පිරිමි දරුවන්ට 6, 8, 10, 12 යන ඉරත්තේ මාසද ගෑනූ දරුවන්ට 5, 7, 9, 11 යන ඔත්තේ මාසද අන්නප්‍රාශනයන්ට ගනිති. මව හෝ ආතම්මා දුඹුරු සීනි හා කිරි මුසු මෘදු ආහාරයක් ද පිළියෙළ කර ඒ සියල්ල කෙසෙල් කොළයක තැන්පත් කරයි. 

ඔවුන් දරුවාට පළමු ආහාරය ගන්වන්නේ එයිනි. දුඹුරු සීනි ගන්නෙ සුදු සීනි ආගමික චාරිත්‍රවලදී නුසුදුසු යයි සලකන නිසා ය. බොහෝ විට මෙහිදී මාපියෝ දරුවාත් රැගෙන දෙවොලේ පූජකයා වෙත යති. ඔහු ඇඟිලිතුඩුවලින් ආහාර බිඳක් ගෙන දරුවාගේ මුව තබති. දරුවා දෙවොලට නොගෙනයන ලද නම් පවුලේ දැන උගත් නිරෝගි වැඩිහිටියකු හෝ අන්නප්‍රාශනය කරවයි. සෙසු ආහාර මව දරුවාට කවන්නීය. කිරෙන් වරනතුරු  මේ සිරිත අවශ්‍ය නොවේ. සමහරු වර්ෂ දෙක තුනක් හෝ මව් කිරෙන් වැඩේ. මවට කිරි නැත්නම් කිරි මවුන්ගේ කිරි හෝ එසේත් නැත්නම් එළකිරි හෝ දෙති. 

දමිළ ජාතිකයින් දක්වන විශේෂයක් නම් දරුවාට කෑම දෙන පිත්තල බඳුනේ මන්ත්‍ර කීපයක් සඳහන් කිරීමත් පසුව දරුවා දෙවොලට ගෙනගොස් දෙවියන්ට පිදීමත් ය. බුරුමයේ ද මේ සිරිත අනුගමනය කරති. සුබ නැකත් ගැනීම ඒ කාගේත් සිරිත ය. සමහරවිට සිංහලයන්ද ඉහතකී අපාර්ක විස්තරයට අනුව මේ සිරිත කරන බව පෙනේ. දන්දීම, පැමිණි නෑයින්ට සංග්‍රහ කිරීම නෑ මිතුරන් විසින් දරුවාට පස්ලෝ පංචායුධාදී ආභරණ තෑගි දීම හා භික්ෂූන් ලවා සෙත් ශාන්ති කරවීමත් හෙළදිව පවත්නා සාමාන්‍ය දේ බව කිව හැකි ය. මෙහිදී කිරිබත  උයන්නේ පිරිමියෙකි. පියා හෝ මාමා කෙනෙකු ඉන් බිඳක් දරුවාගේ මුවග තබන බවද කියනු ලැබේ. එසේ කිරීමේ දී නැගෙනහිර දකුණ බටහිර දිශා බැලීම වැදගත් කරුණකි. 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>> 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
15 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.