ශී‍්‍ර දළදා වහන්සේ පුදන දෛනික තේවා අසිරිය

ජූලි 31, 2020

ශ්‍රී දළදා වහන්සේ උදෙසා මහනුවර රජ මාලිගාවේ දළදා මැදුරේ දිනපතා පැවැත්වෙන නිල පුද පුජා විධි ක්‍රමය “දළදා තේවාව” ලෙස හඳුන්වයි. මෙම තේවාව උදෙසා දිනපතා සහභාගි  වන නිලධාරි මණ්ඩලයක් වේ.

 දළදා වහන්සේ තැන්පත් කර ඇති ගන්ධ කුටිය තුළ අස්ගිරි හා මල්වතු පාර්ශවයේ පන්සල්වලින් පත් කළ භික්ෂුන් වහන්සේලා මින් ප්‍රධාන වේ. දළදා පුද පූජා සඳහා භික්ෂුන් වහන්සේ  තුන්නමක් සහභාගි වන අතර මෙයින් දෙනමක් දළදා හිමි වැඩ සිටින ගන්ධ කුටියේත් එක් නමක් පල්ලේ මාලෙත් වශයෙන් පූජා කටයුතු වල නිරත වෙති. තේවාව සිදු කෙරෙන අතරවාරයේ දළදා වහන්සේ ට දානය පිළිගැන්වීම, ශබ්ද පූජා පැවැත්වීම, සිදුවන අතර, තේවාව අවසානයේ දානය පිරිනැමූ බඳුන් යළි පිරිසිදු කර සකසා තැබීම ගන්ධ කුටිය (ගඳකිළිය) පිරිසිදු කිරීම යනාදිය සිදුකෙරේ. 

ශ්‍රී දළදා වහන්සේ වෙනුවෙන් සිරිලක විවිධ පළාත්වල බොදු ජනයා විසින් දිනපතා දාන පූජාව බාරගෙන සිටිති. වසරේ සෑම දිනකම එලෙස දළදා වහන්සේ වෙනුවෙන් බාරගත් දාන පූජාවන් නිසි ලෙස ඉටු කෙරෙයි. පුජාව බාරගත් බැතිමතුන් නියමිත දිනයට හා අදාළ පූජා වාරයට අයත් බඩු බාහිරාදිය හා කළමනා දළදා මැදුරේ මුළුතැන්ගෙට බාර දෙති. දාන පූජාව සඳහා දානය පිසින්නේ දළදා මාලිගාවේ මුළුතැන් රාළ විසිනි. මේ සඳහා දළදා මාලිගයේ නවීන පහසුකම් සහිත අංග සම්පූර්ණ මුළුතැන්ගෙයක් වර්තමානයේ ඉදිකර ඇත. පිසීම සඳහා අවශ්‍ය  ගෑස් ලිප් ද ආහාර ගබඩා කර තිබෙන ශීතකරණ ද දළදා වහන්සේට පූජා කරන වෑංජන 32 උණුසුම්ව තබාගත හැකි නවීන උපකරණ ද මෙම නව මුළුතැන්ගේ සතුය. දළදා තේවාව දිනකට වාර තුනක් පැවැත්වේ. ඒ මෙසේය,

අලුයම තේවාව

නවපෑ තේවාව

හැන්දෑ තේවාව

අලුයම තේවාව

අලුයම තේවාව ඇරඹෙන්නේ දිනපතා පෙරවරු 5.30ටයි. බුදුන් වහන්සේට හීල් දානය පිරිනැමීමේ කටයුතු හා වත් පිළිවෙත් මෙහිදී සිදු කෙරේ. (මෙහිදී ජීවමාන බුදුන් වහන්සේ නියෝජනය කරන්නේ බුදුන් වහන්සේගේ වම් දන්ත ධාතුවයි.) 

අලුයම තේවාවට ගන්නා දාන වස්තු

කැඳ කිරිබත් සමඟ හාල් සේරු 32ක බත්

වෑංජන 32ක් (එළවළු) 

කැවුම්, අතිරස හා දැති කැවුම් එකකින් 05 බැගින් 

පැන් දැහැත් විට හා දැහැටි

පලතුරු යුෂ

 

අලුයම් තේවාවේ සිරිත් විරිත්

හේවිසි හොරණෑ සහිත ශබ්ද පූජාව සමඟ ආරම්භ වන අලුයම හා නවපෑ තේවාවේදී තූර්ය වාදන සමඟ දාන පූජාව සඳහා පළමුව භික්ෂුන් වහන්සේලා වඩිති. මෙම භික්ෂුන් දළදා මාලිගාවේම ඇති නේවාසිකාගාරවල වාසය කරති. එක් වසරක මල්වතු පාර්ශවයේ භික්ෂුන් වහන්සේලා  තුන් නමක් ද ඊළඟ වසරේ අස්ගිරි පාර්ශවයේ භික්ෂුන් වහන්සෙලා තුන්නමක්ද මේ සඳහා පත් කෙරේ. දළදා තේවාවේ යෙදෙන මේ භික්ෂුන්ගේ සිවුරට උඩින් වම් උරහිසින් පහළට රූරා හැළෙන සේ දිගු සළු පටක් දවටා ඇත. එම සළුව තැන තැන දිව යාම වැළැක්වීම සඳහා බදට සිරවන සේ පුළුල් බද පටියක් පැළද සිටිති. (ක්‍රමානුකූලව පුජා සිදු කිරීමට මෙමගින් කදිම සහායක් සලසයි.) යම් හෙයකින් සිවුරේ පොටක් දාන වස්තුවක ගැටී බිම වැටීම, විසිරීම, අපවිත්‍ර විම මෙමගින් වැළකේ. උත්තරීතර බුද්ධ පූජාවේ ගෞරවනීයත්වය ආරක්ෂා කෙරෙන මෙම පිළිවෙත දළදා පුජාවට සහභාගි  වන සෑම භික්ෂුවක් විසින්ම පිළිපැදිය යුතුය. දළදා හිමි වැඩ සිටින මාලිගාවේ (ගන්ධ කුටියේ) යතුර තිබෙන්නේ මෙම භික්ෂුන් වහන්සේලා තුන් නම අතරින් එක් නමක් සතුවය. මෙම යතුරද සමඟ මෙම භික්ෂුන් දළදා වහන්සේ වැඩ සිටින ගන්ධ කුටියට කැඳවාගෙන එන්නේ වට්ටෝරු රාළයි. වට්ටෝරු රාළගේ සහයට පන්දම් කරුවෙක් ද මේ කටයුත්තට එක්වෙයි. 

භික්ෂුන් පිරිවරාගෙන ගමන් ගන්නේ පන්දම්කරුය. ඒ සමඟම යතුර බාරගත් වට්ටෝරු රාළ එය විචිත්‍ර සළුවක ඔතා සුරතින් අල්ලා ගෙන එය දකුණු උරහිස මත තබාගෙන පැමිණෙයි. හේවිසි මණ්ඩපය අසල වැඩ සිටින මාලිගාවේ ප්‍රධාන දොරටුව අසලට පැමිණි පසු භික්ෂුන් වහන්සේලාගේ පා දෝවනය කෙරෙයි. මේ රාජකාරිය සඳහා අයෙකු පත්කර තිබේ. වැඩ සිටින ගෙට ඇතුළු වන ප්‍රධාන දොරටුව රැකවල්ලා සිටින දොරේආරච්චි ගෙන් අවසර ගෙන වට්ටෝරු රාළගෙන් යතුර ගෙන භික්ෂුන් වහන්සේ විසින් දොරටුව විවෘත කෙරේ. ඉන්පසු ඉහළ මාලයට යන පඩිපෙළ නැඟ දළදා කරඬුව  සහිත කුටියට භික්ෂුන් වහන්සේලා ඇතුළු වෙති. පල්ලේමාලේ දොර ද මේ සමඟම තේවා කටයුතු සඳහා විවෘත කෙරේ. ගන්ධ කුටියේ සළු මණ්ඩපය නම් කොටසේ පහන් දල්වන භික්ෂුන් වහන්සේලා දළදා කරඬුව ඉදිරිපස ඇති පූජාසනය මනාව පිරිසිදු කරති. ඉන්පසු ඇතිරිලි යොදති. පූජාව සඳහා කුඩා ගණ්ඨාවක් ද සිවුරු කට්ටලයක් ද රන් පැන් කෙණ්ඩි දෙකක් ද චාමරයක් හා විජිනිපතක් ද සූදානම් කෙරෙයි. මේ සමඟම හේවිසි නාද කෙරෙයි. ගෙපැල රාළ විසින් මුළුතැන්ගෙයි සිට රැගෙන ආ පැන් භික්ෂුන් වහන්සේලා පූජාසනය මත ඇති බඳුන් දෙකට දමති. ඉන් එක් ජල බඳුනක් බුදුන් වහන්සේගේ මුව දෝවනය නිරූපනය කරන අතර, අනෙක් පැන් බඳුන ආහාර පූජාව වෙනුවෙනි.

දළදා වහන්සේට අලුයම හා දහවල් දානය සූදානම් කරන බඳුන්

මහරන් පාත්‍රය (බත් පූජා කිරීම සඳහා)

කැඳ පාත්‍රය

වැංජන බඳුන් අසුරන තැටියක් (මණ්ඩාව)

කුඩා රීදි දීසි හතරක්

රිදී පාත්‍ර  2ක් 

පැන් පූජාව සඳහා බඳුන් දෙකක්

රසකැවිලි බෙදීම සඳහා දීසි හතරක්

ගෙපැල රාල හා කත්තියන රාළ (මුළුතැන්ගෙයි සිට බුද්ධ පූජාව සඳහා දානය රැගෙන එන්නා) තේවාව කරන භික්ෂුන් තුන්නම මෙම දාන පූජාවට දායක වෙති. පිළිවෙළින් කිරිබත් හා කැඳ වශයෙන් පවතින අහාර පංගුවක් වෑංජන 32 හා රසකැවිලි ද පුදා ඉන්පසු දැහැත්විට පිදීම මෙහි දී සිදු කෙරේ. මේ පූජා වලදී බුදුගුණ ගායනා (පාලි ගාථා) ගැයීම, භික්ෂුන් වහන්සේ විසින් සිදුකරයි. අලුයම තේවාව උදෑසන 6 වන විට නිමාවට පත්වන අතර, දළදා වහන්සේ වැදීමට දිග්ගෙයි පුරා එක්ව සිටින බැතිමත්තු මල්, සුවඳ දුම් ආදී පිදීම පූජා කටයුතුවල යෙදෙති. අලුයම් හා නව පෑ තේවාවේදී හාල්සේරු 32ක බත් හා වෑංජන පුජා කිරීම බුදුන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ උදෙසා කෙරෙන ගෞරව පූර්වක පිළිවෙතකි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.