ධනවිනාශයට අපකීර්තියට මෙන්ම රෝගියකුවීමට හේතුවන රහමෙර පානය

අගෝස්තු 14, 2020

සමහර දෙමාපියන් වැඩිහිටියන් තම දරුවන්ට අද වගේ හොඳ දවසක අරක්කු ටිකක්, බියර් ටිකක් බීවාට මුකුත් වෙන්නේ නැත කියා අරක්කු, බියර් පොවති. බයිට් එකට හොඳ මේවා කියා කුකුළු මස්, හරක් මස් හෝ තෙලෙන් බදින ලද ඌරු මසුත් කවති. දෙමව්පියන් වෙත  ගොස් අද වගේ දවසකවත් පොඩ්ඩක් බොන්න කියා ඔවුන්ටත් බලෙන්ම අරක්කු පොවති. ස්වාමිපුරුෂයා මත් වතුරෙන් සූර් වුණාම තම බිරිඳට පමණක් නොව දූවරුන්ටත් පොවති. මෙන්න මේ විදියටයි සමහරු හොඳ දවස ගෙවන්නේ. ඒ දවස නොඑන්නට නම් ගෙදරට කිසිම මත්පැනක් නොගෙනිය යුතුයි. කල්තියා නිවසේ මත්පැන තහනම් කළ යුතු යි. හොඳ දවසක් කියා දරුවන් විෂ මත් පැනට පුරුදු කර අනාගත බේබද්දන් නොකළ යුතු යි.

යමක්කමක් ඇති පොහොසත් අය විස්කි, බ්‍රැන්ඩි අරක්කු බොන අතර දුගී දුප්පත් අය කසිප්පු බොති. කසිප්පුවලට දැන් දැන් බොහෝ දෙනකු පුරුදු වී ඇත. මේ අනුව බලන විට මධ්‍යසාර පරිභෝජනය බෙහෙවින් වැඩි වී ඇත. එහි ප්‍රතිඵලය වී ඇත්තේ නිරෝගීකම නසමින් රෝගීකම වර්ධනය කරලීමය. මත්පැන් මධ්‍යසාර පානය කිරීමෙන් වැඩියෙන්ම විනාශ වන්නේ අක්මාවයි. දිගින් දිගටම මධ්‍යසාර බීමෙන් අක්මාවේ මේද තැන්පත් වී මේද අක්මා තත්ත්වයට පත්වේ. පුරුද්දක් වශයෙන් මධ්‍යසාර දිගින් දිගටම ගැනීමෙන් සිරෝසීස් තත්ත්වය ඇතිවේ. මේ නිසා අක්මා ශෛල දිරාපත්වේ. උදරය කළ ගෙඩියක් මෙන් ඉදිමේ. නොනවත්වා මත්සාර ගැනීමෙන් මොළයද හෘර්දය ද ස්නායු ද දුබල වේ. උග්‍ර වුවහොත් ලේ වමනය කර මිය යයි. කාලයක් තිස්සේ මධ්‍යසාර ගැනීමෙන් ශාරීරික හා මානසික රෝග ඇතිවේ. 

සුරා පානය කිරීමෙන් ශරීරය පුරා යෑමට එතරම් වේලාවක් ගත නොවේ. ඇල් කොහොල් හෙවත් මධ්‍යසාර රුධිරය උරාගැනීම සිදුවේ. ආමාශය සහ කුඩා අන්ත්‍රවලින් පමණක් නොව විදුරුමස් සහ දිවෙන් ද සීග්‍රව උරා ගැනීම සිදුවේ. එම මධ්‍යසාර රුධිර ධාවනය ඔස්සේ මොළයට ඇතුළුව මුළු ශරීරය පුරාම විහිදී යයි. මධ්‍යසාර ශරීරගතවූ විටම හෘදයේ ගැස්ම හෙවත් ස්පන්දනය වැඩි වේ. සමේ සහ මාංශපේශී තුළ පිහිටි රුධිර නාලිකා පුළුල්වීමෙන් රුධිරය ගලාඒම අධික වේ. මේ නිසා මධ්‍යසාර බොන්නන්ගේ මුහුණු රතු පැහැ ගැන්වේ. අධික ලෙස මත්පැනට ගිජුවීම නිසා කුසගින්න පවා නොදැනේ. එනිසා තව තවත් මධ්‍යසාර බීමට කෑදර වේ. දිගින් දිගටම සුරාවට ලොල් වීම නිසා පිත කුපිත වේ. පිපාසය ඇතිවේ. එයට ද බොන්නේ මධ්‍ය සාරමය. පමණට වඩා මත්පැන් ගැනීම නිසා ක්‍රෝධය හටගනී. පරණ තරහ මරහ මතුවේ ආරවුල් වියවුල්වලට පෙළඹේ. 

මධ්‍යසාර පාවිච්චි කිරීමෙන් සමේ රෝග මොළය ආශි‍්‍රත රෝග ප්‍රතිශක්තිකරණය අඩුවීම හා අක්මා රෝග ද ඇතිවේ. කාන්තාවනට නම් විෂ මත්පැන් පානය කොහෙත්ම සුදුසු නැත. ප්‍රධාන වශයෙන් එය ආබාධිත දරුවන් බිහිකිරීමටද හේතු වේ. ඊට අමතරව ඔවුන්ට අමතකවීම ආහාර පි‍්‍රයක් නොමැතිවීම හා ශරීර අභ්‍යන්තරයෙන් රෝගාබාධවලට ද හේතු වේ. හෘදයාබාධ වයසට වඩා වයසට යෑමේ පෙනුම වර්ධනය කෙරේ. මානසික අසහනකාරී තත්ත්වයන් මෙන්ම මුඛ පිළිකා ඇතුළු පිළිකාද ලිංගික බෙලහීනතාවයද ස්නායු දුර්වලතාවයන් ද ඇතිවේ. මත්පැන් පානයට ගිජු වීම නිසා අතපය පවා වාරු නැතිවේ. ඇවිදීමට නොහැකි වී ඒ මේ අතට විසිවේ. ඇසට ද ප්‍රබල ලෙස හානි පැමිණේ. කතාව ගොත වේ. වමනය කෙරේ. 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.