සියලුම දෝෂ භංග වන ප්‍රබල ග්‍රහ යෝග

අගෝස්තු 14, 2020

රවි, චන්ද්‍ර දෙදෙනාම පෘථිවියේ කාර්ය සිද්ධ කෙරෙන ස්ථානයන් යන තුන්තැන ඒකාබද්ධවන ත්‍රිකෝණය කිනම් කටයුත්තකදී වුවද මුහුර්තයක් තෝරා ගැනීමේ දී මූලික වේ. ත්‍රිකෝණ හටගන්නා විට සුබ අසුබ යෙදේ. රවි, චන්ද්‍ර සුබ අශුභ මූලික වශයෙන් තෝරා ගැනේ.  විවාහ කටයුතුවලදී විශේෂයෙන්ම මේ ගැන වඩාත් නිරීක්ෂණය කළ යුතුයි. 

නව යුවලකගේ විවාහය ලියාපදිංචි කිරීම මංගල පවුරු චාරිත්‍රය හා වෙනත් සුබ කාර්යයන් සඳහා ගැනෙන මුහුරුති අතිශයින්ම ධනාත්මක පැතිකඩක් නියෝජනය කළ යුතු වේ. සම්පූර්ණ දෝෂ නැති මුහුර්තියක් තෝරා ගැනීම දුෂ්කර වුවද තෝරා ගන්නා මොහොත තුළ ඇතිවන දෝෂයන් භංගවන අයුරින් මනාව සැලසුම් කළ යුතු වේ. දෝෂ භංග වී යන ක්‍රමවේද තිබේ. සෘෂි භාෂිතය අනුව දෝෂ භංගවන අයුරු අපවිසින් අධ්‍යයනය කළ යුතු යි. එවැනි දෝෂ භංග වන ආකාරය ගැන විමසා බලමු. 

පුරපක්ෂ සඳු බලවත්ව සිටින විට නැකත් සීහුම් දෝෂ භංග වේ. තත්කාල කේන්ද්‍රයේ ලග්නයේ පහ, හය, එකොළහ තුළ සෞම්‍ය ග්‍රහයෙක් හෝ ග්‍රහයින් කීප දෙනෙක් සිටි විට චන්ද්‍රයා වර්ගෝත්තම වූ විට සියලු විෂ්ඨි දෝෂ භංග වේ. පුරසඳ කාලය තුළ ශකට දෝෂය භංග වේ. ශුභයෙකු ලෙස සඳු ලග්නයේ සිටින විට ගුරු හතර කේන්ද්‍රයේ තැනක සිටි විට ලග්න විෂ දෝෂ භංග වේ. බලවත් ගුරු ග්‍රහයාගේ පෙනීම ලැබීමෙන් දෝෂ තැන් ශුද්ධ වේ. මුහුර්තිය ගන්නා කාලය තුළ තත්කාල කේන්ද්‍රයේ 11 වැන්නේ දිවා කාලයේ නම් රවි ද රාත්‍රියේ නම් සඳු ද සිටීමෙන් කෝටියක් දෝෂ භංග වේ. 

බුධ බලගතුව ලග්නයේ සිටින කාලය තුළ පන්දහසක් දෝෂ භංග වන බැව් පැවසේ. සිකුරු ලග්නයේ සිටියදී දහසක් දෝෂ භංග වේ. ගුරු ලග්නයේ සිටීමෙන්ද සකල දෝෂ භංග වේ. 

තත්කාල කේන්ද්‍රයේ 5,6,4 කේන්ද්‍රයේ (1, 4,7,10) හෝ සුබ ග්‍රහයින් බලවත් නම් දෝෂ භංග වේ. 

සුබයෙකු උච්ච හෝ මුල ත්‍රිකෝණ මිශ්‍ර හෝ අංශකයක සිටි චන්ද්‍රයා අන්‍ය ග්‍රහයින්ට පෙනීමෙන් දෝෂ භංග වේ. බලවත් සඳු සිටින තැනින් 6, 7, 8 තැන්වල සුබයින් සිටීමෙන් ද සුබ ග්‍රහයෙක් සතු ද්වාදශාංශකයක සඳු වීමෙන්ද දෝෂ භංග වේ. 

සෞම්‍ය ග්‍රහයින්ගේ ද්‍රෙෂ්කාණයක සිටින සඳු ග්‍රහයා දෝෂ නසා සුබ ඇති කරයි. සඳු සිටින තැනින් 6, 7, 8 භාවයන්හි සුබයෙක් සිටීමෙන් ද දෝෂ භංග වේ. 

ලග්නාධිපති තත්කාල ලග්නයේ සිටියදී සුබයින්ට පෙනෙනවිටත් ශුභයින් ලග්නයේ හෝ 4 වැන්නේ හෝ සිටී නම් දෝෂ භංග වේ. සිංහ නවාංශකයේ සිටින රවි ස්වක්ෂේත්‍රව සඳු විසින් දකිනු ලබන්නේ නම් රවි සම්බන්ධ වී යෙදෙන සියලු අස්විද හෝ රෙහෙණ නැකතක සිටින වර්ගෝත්තම වූ කුජට තබා සකසාගත් සුබ මුහුර්තිය සියලු දෝෂ භංග කරයි. 

ලග්නයේ සඳු සිටියදී දෙපැත්තේ (2.12) තැන්වල සුබ (කර්තරී)  සුබ ග්‍රහයින් සිටියදී සැකසූ සුබ මුහුර්තය සකල දෝෂ නසයි. යම්කිසි මුහුර්තියකට ගන්නා තත්කාල කේන්ද්‍රයේ ලග්නයේත් 4, 5, 7, 9 තැන්වලත් ගුරු සිකුරු සහ පාප තැනට පත් නොවූ බුධ චන්ද්‍ර දෙදෙනා ද සිටින විට රික්තා දෝෂ විෂ්ටි දෝෂ භංග වේ. 

සඳු බලවත්ව තත්කාල ක්ෂේත්‍රයේ සිටි කාලයේ නපුරු මර යෝග දින දිග්ධ යෝග හැකි වේ. 

සිද්ධි යෝගය පවතින වේලාව තුළම යොදාගත් සුබ මුහුර්තිය විෂ දන්ධ විෂ්ඨි භූමි දෝෂ භංග කරයි. 

තත්කාලයෙන් 10 වැන්නේ අධිපතියා බලවත් වී සඳු පූර්ණ බලයෛන් යුක්ත වූ විට විෂම තැන්වල සිටි ග්‍රහයින්ගේ දෝෂ සහ තිථි කරණ නැකත් හෝරාදී දෝෂ නැති වේ. චන්ද්‍රයා බලවත් ව සුබ වර්ගයක ද සිටිය දී ගුරු 4 කේන්ද්‍රයේ කවර තැනක සිටියේ නම් විෂ දෝෂ භංග වේ. 

සතර කේන්ද්‍රවලද ත්‍රිකෝණවල ද බලවත් වූ සුබයින් සිටින කාලයෙහි රික්තා විෂ්ඨී දෝෂ භංග වේ. 

ඉතාම බලවත් වූ ශුක්‍ර නිසා ලග්නගතව සිටි රවිගේ ශනිගේ දෝෂ මගහැරේ. 

මංගල සුබ මුහුර්තිය සඳහා අංග සම්පූර්ණ ගුරු හෝරාත්‍රය යොදාගත් විට සියලු නැකත් දෝෂ නැති වේ. තත්කාල කේන්ද්‍රයේ ලග්නයට ගුරු පෙනීම නිසා නැකත් දෝෂ සමග රාශී දෝෂ හහා ග්‍රහ දෝෂ වහා භංග වේ. 

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.