තොග ගණනට ගුරුකම් කළාට හරියන්නෙ නැහැ

ඔක්තෝබර් 2, 2020

ඡ්‍යොතිෂය, ගුරුකම් කිරීම, සෙත්කවි, වස්කවි, නිමිති වගේ ශාස්ත්‍ර වැඩිපුරම පැවතියේ ගමේ පන්සල්වල වුණාට සමහර ඉපැරණි ගැමි ගෙවල්වලත් නොපැවතුණා නොවේ. ඒ හැම එකක්ම එකල කළේ එක්තරා පිළිවෙළකට. 

ගණන්කාරකම්වලට, බලපුළුවන්කාර කමට මේ ශාස්ත්‍රය උපයෝගී කරගන්නේ නැහැ. විශේෂයෙන්ම මෙවැනි ශාස්ත්‍ර එකිනෙකාගේ ප්‍රයෝජනය සඳහාත්, ශාස්ත්‍ර දැනුම පෙන්වීම සඳහාත් තවකෙකුගේ මානය බිඳීම වැනි දෑ සඳහාත් යුක්තිය ඉෂ්ඨ කර ගැනීම පිණිසත් යෙදෙව්වා. 

තවද රටේ කුල හීනයෝ කියලා තවත් ජාතියක් ඇති වී තිබුණා. ක්‍රමයෙන් මේ අය රටින් වඳවී ගියේ හරියට භයානක සතුන් වඳවී ගිය ආකාරයට. අද ‘රොඩීන්’ කියන කුල වර්ගය ලංකාවේ එක්තරා සීමිත ප්‍රදේශවලට කොටු වුණා. රට පාලනය කළ පාලකයෝ එනම් ආරච්චිල, ගම් පාලක වැනි තනතුරු දැරූ මිනිසුන් මේ කුල වර්ගය කුල හීනයෝ බවට හංවඩු ගැහුවා. කිසිම උත්සව කටයුත්තක් සඳහා සහභාගි කරවා ගත්තේ නැහැ. කිසිම වැඩකට ප්‍රසිද්ධියේ වැඩකරන්නට හෝ පෙනී සිටින්නට ඉඩ ප්‍රස්ථාව දුන්නේ නැහැ. අදත් සමහර පලාත්වල නැතුවා නොවේ. ඒ අයත් සමාජයේ ගුප්තව වාසය කළා මිස කඩමංඩියට වත් ආවේ නැහැ. 

සභාවකට වත් නාවේ ඊට බලවතුන්ගෙන් අවසර නොතිබූ නිසාවන්ට ඇති. ඒ කාලවලදීම ඔවුන් එක් එක් ශිල්පයන් ශාස්ත්‍රයන් නිහඬව ඉගෙන ගත්තා. ගල් ආයුධ සෑදීම සතුන් දඩයම් කිරීම සඳහා මන්දවල් සැදීම, මී මැසි, දෙබර, බඹර වැල් කැඩීම වැනි දෑ ඉගෙන ගත්තා. සමහර මෙම පැවති වාතාවරණය මත කුමක් හෝ ශාස්ත්‍රයක් දැන සිටීම අවශ්‍ය වූ නිසා ගුප්ත ශාස්ත්‍රය සුළුවෙන් වුවත් ඉගෙන ගත්තා. විශේෂයෙන්ම වන සතුන් තමා වෙත හඹා ඒම නැවැත්වීම, අමනුෂ්‍ය දෝශ සඳහා, අකාලයේ හැදෙන කිසියම් රෝග සඳහා ද මේ ශාස්ත්‍රය උපයෝගී වුණා. සාමාන්‍ය උදාහරණයක් වශයෙන් කිසියම් මන්ත්‍රයක් අතට මතුරා මී මැසි, දෙබර, බඹර වැල් කැඩීමේ දී එම සතුන් අතට දෂ්ඨ කරන්නෙ නැහැ. ඒ මන්ත්‍ර බලය නිසා බව ඔවින් වටහාගෙන සිටියා. 

ඒ ක්‍රියාවම සඳහා සමහරු කිසියම් ද්‍රාවනයක් අතේ ආලේප කරගත්තා. පැරන්නෝ එම ක්‍රියා කෙම් ගුරුකම වශයෙන් ගුප්තව කළා. ඉතා ස්වල්ප වශයෙන් වුවත් කළ මේ ගුරුකම් නිසා ගුප්ත ශාස්ත්‍රය ඇති වූවා විය හැකියි. මෙම කරුණු නිසා මෙම ශාස්ත්‍රය ඉතා වටිනා ශාස්ත්‍රයක් බවට පත් වුණා. ගුප්ත ශාස්ත්‍රය ආරම්භ වූ එම වකවානුවෙදි කිසිවෙකු රිදවීමට හෝ පලිගැනීමට මෙම ශාස්ත්‍රය උපයෝගි කරගත්තෙ නැහැ. විශේෂයෙන්ම වන සතුන්ගෙන් බේරෙන්න, උරඟ වැනි සතුන්ගේ පැමිණීම වැළැකීමට මෙම මන්ත්‍ර පාවිච්චි කළා මිස කිසිදු මනුෂ්‍යයෙක් තව එකෙකු හෙළීමට මෙම ශාස්ත්‍රය පාවිචිචි නොකළ බවට සාක්ෂි තිබෙනවා. කැලේදි කොළ අතු කඩා  එල්ලීම ඉන් එකක් විය හැකියි. එවැනි දෑ අදත් පවතිනවා. පැරණි උන්අතර තද බැඳීමක් ඇතිවී තිබුණා. ගමේ ආරච්චිල එසේ නොමැතිනම් නඩේ ගුරු ආරච්චිලගේ තීරණය කාටත් පොදු එකක් වුණා. ක්‍රමයෙන් සමාජය වෙනස්වීමේ දී කෙනෙක් තව  කෙනෙකු වැනසීමට පවා මේ ශාස්ත්‍රය නපුරු වුණා. සමහර අය මෙම කුලය පවා වෙළඳාම් කරන්ට පටන්ගත්තා. මුදලට ගුරුකම් කිරීම ප්‍රධාන තැනක් ගත්තා. 

ගුප්ත ශාස්ත්‍රය නොහොත් ගුරුකම් කිරීමට පෙර ඡ්‍යොතිෂය සම්බන්ධව දැනුමක් තිබිය යුතුමය. එසේ නොමැතිව කොණ්ඩය  කඩාගෙන ඔලුව කැරකූ පමණින් කිසිදු ශාස්ත්‍රයකින් ප්‍රයෝජන ගැනීමට නොහැකි බව වගකීමෙන් කිවයුතු වනවා. සිදුවන්නෙ වංචාව පමණි. බොහෝ තැන්වල ආතුරයා පරල කරවනවා වෙනුවට කරන්නේ ඇදුරා පරලවීමක් ය. සාමාන්‍ය සිහියෙන් සිටීමට නොහැකි වන්නේ මන්දැයි. ඔහුට නොදන්නවා විය හැකි ය. 

කරදරයකට පත් වූ ඕනෑම කෙනෙක් එම කරදරයෙන් මිදීමට මේ ස්ථාන සොයා යති. ඉන් ප්‍රයෝජනය ගත් කපටි ඇදුරා කූඨ ලෙස මුදල් උපයති. කරුණු හරිහැටි නොදැන මුලාවේ වැටෙති. වරු තුනෙන් ප්‍රාතිහාර්යය පාන බව කියන දැන්වීම් කෙලවරක් නැත. මේ සම්බන්ධව අප බොහෝ දේ දැනුවත් විය යුතු ය. 

‘රොඩී’ යනු ඉපැරැණිව පැවැති එක්තරා කුලයකි. එකල ඔවුන් විසින් ම එය පහත් යැයි සලකා සමාජයෙන් බැහැරව සීමිත ශාස්ත්‍රයන් කරමින් ජීවිතය ගෙවු බව පැහැදිලි වේ. එකල ඔවුන් සමීපයේ සත්‍ය ගුරුකම් නොතිබුණා නොවේ. එකල ජීවත් වූ බමුණු වර්ගයා මොවුන් සිඟමන් යැදීමේදී ස්වකීය දූ වරුන් එළියට නොගත්තේ ‘නිල ස්පර්ශ’ ක්‍රමයට මේ රොඩීන් දක්ෂ වූ බැවිනි. මේ ශාස්ත්‍ර ක්‍රමය අදත් පවතින අතර ප්‍රායෝගික කිරීමේ දක්ෂයෝ ඉතා අල්පය. 

ඕනෑම ගුරුකමක් කිරීමට පෙර පිළිපැදිය යුතු කරුණු කාරණා බොහෝමය. සමහර ගුරුකම් ස්ත්‍රීන්ට කිරීම අකැපය. සිදුකළත් ඉන් යහපත් ප්‍රතිඵල දීමක් නැත. එය මන්ත්‍ර රීතියකි. තවද ගුප්ත ශාස්ත්‍රය කරන කිසිවෙක් කොඩිවින කිරීමට ඉතා මැලිකමක් දක්වයි. කටුගැසීම එසේමය. ඒ ‘මනොපුබ්බං ගමා ධම්මා’ නිසා විය හැකි ය. ගුප්ත ශාස්ත්‍රය තව කෙනෙකුගේ අයහපතට කිරීම සුදුසු නොවේ. නමුත් යුක්තිය ඉෂ්ඨකර ගැනීම මෙය නොවේ. බොහෝ දෙනා වග විභාගයකින් තොරව ගුරුකම් කරයි. ගුරුකම් කරන ඕනෑම කෙනෙක් කාල, තිථි නීතිය අනුගමනය කළ යුතු වේ. එනම් පුර තිථිය පවතින කාල සීමාවේදී එනම් පුර දින 14 තුළ යහපත් ගුරුකම්ද අව තිථිය පවතින කාලයේ දී අයහපත් ගුරුකම්ද කළ යුතු වේ. මේ බව නොදැන පුරා මාසය තුළම ගුරුකම් කරන අය එමට ය.මෙම තිථි නීතිය හුවා දැක්වූයේ ඡ්‍යොතිෂයේ කලාව අනුරූපි ගතව ය. එනම් චන්ද්‍රයා මුල් කරගෙන ය. 

අද බොහෝ දෙනා විභාග සමත්කරන්නට ඒ අයගේ ධාරණ ශක්තිය වැඩිදියුණු කරන ශාන්ති කර්ම හා මන්ත්‍ර ගුරුකම් තිබෙනවා. එයින් ලොකු පිහිටක් තිබෙනවා. ඔය සරස්වතී දැහැන, සරස්වතී යන්ත්‍රය, නවනාථය මුල් තැන ගන්නවා. හැබැයි ඒ යන්ත්‍ර ඒ නමින් දැම්මට වැඩක් නැහැ. නියම ජප මන්ත්‍ර නියම වාර ගණන ජප නොකළොත්, ගුරුකම යන්ත්‍ර මන්ත්‍ර ඉතා ගැඹුරු ශාස්ත්‍රයක්. මේ ශාස්ත්‍රයෙදී ඉතාම ලොකු ඉවසීමක්, සංයමයෙන් කරන්න ඕනෑ. විශේෂයෙන් මතුරන කොට, අඩුම ගානේ පැය 3 ක් හතරක් එකතැන වාඩිවෙලා ඉන්න ඕනෑ. සමහරුන් ජන්ම පත්‍රය නොබලාම යන්ත්‍ර දමනවා. කොහොම  කරනවද කියල මටම වැටහෙන්නෙ නැහැ. 

ඡ්‍යොතිෂය බැරිනම් ජන්ම පත්‍ර බලන්නෙ කොහොමද? එහෙනම් යන්ත්‍ර දමන්නට බැහැනේ. හැම කෙනෙකුටම හැම යන්ත්‍රයක්ම උචිත නැහැ. කතරගම දෙවියන්ට බැන වදින අයට ස්කන්ධ කුමාර භූපර යන්ත්‍රය ගුණ දෙන්නෙ නැහැ. අනික තොග ගානෙ යන්ත්‍ර කරන්න බැහැ.දින 14 කට වැඩිම උනොත් යන්ත්‍ර 03ක් පමණයි කරන්න පුළුවන් වන්නේ. මොකද යන්ත්‍ර සීරුවෙන් අඳින්න ඕනෑ. පේ කරන්න ඕනෑ. ඖෂධ ගල්වන්න ඕනෑ. මතුරන්න ඕනෑ. පළඳවන්න කාලය ඕනෑ. 

තවත් හිත කම්පා කරන දෙයක් තමයි බුද්ධ චීවරය දරාගෙන සමහරු වශී ගුරුකම් පවුල් කැඩීම් යන ගුප්ත මන්ත්‍ර කර්ම කරන බවට දැන්වීම් පළ කරනවා. මේ ගැන මහ සඟරුවන අතරට කතිකාවක් වනවා නම් බොහොම හොඳයි. මොකද සීල සම්පන්න අයත් සාසනයේ ඉන්න නිසා. සැරියුත් හාමුදුරුවන්ගේ උපදෙස් මතක් වනවා මට මේ වෙලාවේදී, 

අද ලංකාවේ ඉන්දියානුවන් ගෙන් වූ ගුප්තවේදියෝ ගුරුකම් කරනවා. හරි තේජස් පෙනුම රැවුල බ්‍රහ්මයෝ වගේ. සමහර අය ජටිලයෝ වගේ. ටිකක් විපරම් කරල බැලුවම හොඳට සිංහල කියන්න ලියන්න හැකි ලංකාවේම නොදියුණු පළාත්වලින් කුලියට ගෙන්වාපු අය. අපේ අය අපිවම මුලා කරනවා. ඒ අය කතා කරන භාෂාව තැරැව්කාරයෝ හැරෙන්න කවුරුත් දන්නෙත් නැහැ. අද ගුරුකම් කිරීම විහිලුවක් වෙලා. ගුරුකම අහක ගියාම බොරු බොරු කියනවා. නරක අශුභ වෙලාවල කිව්දේ කළේ නැහැලු. සමහරු දුරකතනය විසන්ධි කරනවා. මේවා නතර කරන්න හැකි පියවර ගත්තොත් මේ වටිනා ශාස්ත්‍රය රැකේවි. මේ ගුරුකම්වලට නොරැවටි දක්ෂයා සොයා යන්න. අනික නාම් භන්ධන ගුරුකම්, මේ අනිත් ප්‍රෝඩාව. 

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.