සිහිනෙන් දකින හෙට දවස

නොවැම්බර් 20, 2020

ජීවිතය සිහිනයක් බඳුයැයි ප්‍රසිද්ධ කියමනක් ඇත. මිනිස් ජීවිතයේ ඇති මායාකාරි අනිත්‍යය ස්වභාවය නිසාම බොහෝ දාර්ශනිකයින් විසින් මෙලෙස ජීවිතය සිහිනයකට සමාන කර ඇත. දැනට වසර 20000 පෙර ඉන්දියාවේ විසූ නාගර්ජුන පඬිවරයාගේ මතය වූයේ සැබෑ ජීවිතයත් සිහිනයත් අතර කිසිදු වෙනසක් නැති බවයි. සිහිනයෙන් දකින සිදුවීම් තරම් ජීවිතය නිස්සාරය යන්න නාගර්ජුනගේ මතවාදයේ හරයයි. ඔබ දකින සිහිනවල වැදගත්කම කුමක්ද? හුදෙක් ඒවා අර්ථ විරහිතද? නැතිනම් සිහිනවලින් වැදගත් පණිවිඩ ගෙන එයිද? මේ පිළිබඳ දැනගැනීමට ස්වප්න විද්‍යාව හැදෑරිය යුතුය. සිහින පිළිබඳව පර්යේෂණ කරන අධිමානසික විද්‍යාඥයෝ රාත්‍රියෙහි සිහින දකින කාල පරාසයන් තුනක් වෙන් කර දක්වති. 

 

01.නින්දට පිවිස මුල්පැය දෙකක පමණ කාලය

මේ කාලසීමාව තුළ එදිනෙදා සිදු වන කටයුතුවල මතක සටහන් දිගහැරීම වැඩිපුර සිදුවේ. ඔබට අද දවසේ සම්පූර්ණ කිරීමට අතපසු වූ කටයුතු සාර්ථකව නිමකරන ආකාරය එම කාලවකවානුව තුළදී සිහිනෙන් පෙනී යා හැකිය. රාත්‍රී නින්දේ මුල් කොටසේ දකින සිහින තුළ අනාගතයට වැදගත් දේ අඩංගු වන්නේ මද වශයෙනි. රාත්‍රී දකින මුල්ම සිහින තුළින් ඔබගේ දිගුකාලීන මතක ගබඩාව තුළට මතක සටහන් ඇතුළත් කිරීම බොහෝ විට සිදු වේ.

02.නින්දේ මැද කොටසේ දකින සිහින

අප රාත්‍රී කාලයේ නිදියහනට පිවිසි විට කිසිදිනක ඒකකාරී නින්දක් නොලැබේ. සෑම අයෙක්ම අවදියෙන් සිටින අවස්ථාව අඩනින්ද, තද නින්ද යන අවස්ථා අතර කීපවරක් මාරුවෙයි. මෙලෙස අඩ නින්දේ ගතවන කාලසීමාව කීපයක්ම මධ්‍යම රාත්‍රිය තුළදී අලුයමට පෙර ඇති විය හැකිය. මේ කාලසීමාව ‘ආශාවේ කාලය’ ලෙස නම් කළ හැකිය. අපගේ යටි හිතේ තැන්පත්ව තිබූ තෘප්තිමත් නොවූ ආශාවන් මේ කාලය තුළ සිහිනයක් ලෙසින් එළිදැකීමට හැකිය. අවිවාහකයෝ විවාහ වී කම්සැප විඳින ආකාරය නිතර නිතර සිහිනෙන් දකිති. දරුවන් නැති විවාහක පිරිස් සිහිනෙන් දරු සුරතල් බලති. සමහරු තම මිය ගිය ඥාති පිරිස් සිහිනෙන් දකිති. මැදියම් රැයේ පෙනෙන මෙබඳු සිහිනවලින් වැඩි ප්‍රමාණයක්ම අනාගතය හා සම්බන්ධ ඒවා නොවේ.ඒවා මානසික සමබරතාවය ඇතිකර ගැනීම සඳහා මනස විසින්ම නිර්මාණය කරනු ලබන චිත්‍රපටි වැනි දෑය.

03.අලුයම් කාලයේ දකින සිහින

අලුයම් කාලය වන විට පෙර දින මතක සටහන් සිත තුළ ඇති අතෘප්තිකර හැඟීම් ආදිය සිහින තුළට එක් වී අවසන්ය. මේ කාලසීමාව තුළ පෙනෙන සිහින අනාගතය සම්බන්ධයෙන් වැඩි වැදගත්කමක් දරයි. ඔබ මුහුණපාන අනාගත සිදුවීම් ඍජුවම හෝ සංක්තාත්මකව අලුයම් කාලයෙහි සිහින ලෙසින් පෙනීමට වැඩි ඉඩක් ඇත. කෙසේ නමුත් අලුයම දකින සෑම සිහිනයක්ම අනාගතය හා සම්බන්ධ වේ යන වැරදි නිගමනය වෙත නොඑළඹිය යුතුය. සිත තුළ නළියමින් පවතින අතෘප්තිකර ආශාවන් තවදුරටත් සිහින ලෙස පෙනී සිටින්නට බොහෝ ඉඩකඩ ඇත. විවාහ අපේක්ෂකයෙකු අලුයම් කාලයෙහි මංගල උත්සවයක් සිහිනෙන් දුටු පමණින් තම විවාහය ළංවී අති බව තීරණය කිරීමට හදිසි විය යුතු නැත. සිත තුළ තැන්පත්ව ඇති බිය, සැකය, අනාරක්ෂිත බව යන හැඟීම් බොහෝ විට සිහින ලෙස ඉස්මතු වෙයි. තම නිවසට සොරුන් පැන වස්තුව කොල්ලකාගෙන යාම හුදෙකලා ජීවිත ගත කරන අය නිතර දකින සිහිනයකි. මෙවැනි සිහිනවලට හේතුව යටි සිතේ තැන්පත්ව ඇති බිය සැක ජවනිකාවන් ලෙසින් ඉදිරිපත් වීමයි.

නින්දෙන් බිය වීම බොහෝ විට සිදු වන්නේ අනාගතයේ ඇතිවන බියක් නිසා නොවේ. මොළයට ගමන්කරන රුධිර ධාරාවේ ඇතිවන හදිසි වෙනස්කම් නිසාය. වැරදි ඉරියව් සහිතව නින්දට යාම නිසා ගෙල පෙදෙසෙහි ඇතිවන නැවීම් මගින් මොළයට ගමන්කරන රුධිර ප්‍රමාණය සීමා කරයි. එම තත්ත්වය ඔබ අත් දකිනුයේ භයානක සිහිනයක් ලෙසය. මෙවැනි අවස්ථාවලට මුහුණපාන බොහෝ දෙනෙක් උසකින් ඇද වැටීම, තමා මරණයට පත්ව සිටීම වැනි සිහින දකිති. සමහරුන්ගේ මොළයෙහි රුධිර නාල නින්දේදී හදිසියේම හැකිළෙයි . මේ තත්ත්වය නිදි වලිප්පුව නම් වේ. නිදි වලිප්පුව සෑදුණු රෝගියා තමා මියගොස් සිටින ආකාරය හෝ මහමඟ සිහිසුන්ව සිටින ආකාරය සිහිනෙන් දකිනු ඇත. ශරීරගත රෝගවලින් පීඩා විඳින අය විකාර සිහින දකිති. තද උණෙන් පෙළෙන අය බොහෝ විට දකිනුයේ අසාමාන්‍ය සිදු වීම් සහිත සිහිනයන්ය. කලාතුරතින් අවස්ථාවක ශරීරය තුළ ඇති බරපතළ රෝගාබාධ සිහින තුළින් සංකේතාත්මකව පෙන්නුම් කළ හැකිය. ස්වප්න විද්‍යාඥයන් කියන පරිදි තමාගේ දත් හැළී යන ආකාරය හෝ දත් සියල්ල දිරාගොස් ඇති ආකාරය සිහිනෙන් පෙනෙනුයේ කායික රෝගවලට පෙර නිමිත්තක් වශයෙනි.

සිහිනවලින් සීමිත කොටසක් පමණක් අනාගත සිදුවීම් හා සම්බන්ධ බව පැහැදිලිය. අනාගත සිදුවීම් සිහිනෙන් පෙනෙන ආකාර දෙකකි.

01.අනාගත සිද්ධිය ඍජුවම පෙන්නුම් කිරීම

02.අනාගත සිද්ධිය සංකේතාත්මකව පෙන්නුම් කිරීම

අනාගත සිදුවීම් ඍජුව පෙන්නුම්කරන අවස්ථාවට වඩා සංකේතාත්මකව පෙන්නුම්කරන අවස්ථා වැඩි බව ස්වප්න විද්‍යාඥයෝ කියති. එබැවින් සිහින තුළින් අනාගතය දැකීමට නම් ඔබ පළමුකොට සංකේතාත්මකව පෙනෙන දෙයින් අරමුණු වන සැබෑ අර්ථය වටහා ගත යුතුය. එවැනි සිහින කීපයක අරුත ස්වප්න විද්‍යාව අනුව මෙසේය.

විදේශ ගමන් දැකීම

අතපසු වූ කටයුත්තකින් ළඟදී ජය අත් වන බව කියවේ. ව්‍යාපාර රැකියා ආදියේ දියුණුව අත ළඟ කියවේ.

අනතුරකට මුහුණපෑම :– ඔබ සිහිනෙන් අනතුරකට මුහුණපෑවේ නම් ඉන් ඇඟවෙන්නේ සතුරු බලවේගයකට ලක් වන බවයි. ඉදිරි කාල සීමාව තුළ මිතුරන් ප්‍රවේශමෙන් ඇසුරු කළ යුතුය.

මිතුරෙක් මරා දමනු දැකීම – ඔබ විසින් ඔබට සමීප පුද්ගලයෙකු මරා දමන අයුරු සිහිනෙන් දුටුවේ නම් ඉන් ඇඟවෙන්නේ ළඟදීම ඔබ ඒ පුද්ගලයා සමඟ ඇති සබඳතා අත්හැර දමන බවයි.

දෙවියන් දැකීම – මෙය ඉතා සුබ සිහිනයකි. අවිවාහකයෙකු මෙවැනි සිහිනයක් දුටුව හොත් ළඟදී විවාහ වන බව ඇඟවේ. විවාහකයෙකුට නම් ධන ලාභයක් හෝ වාසියක් අත්වන බව කියවේ.

පන්සල්, පල්ලි ආදිය දැකීම – දැනට පවත්නා කරදර බාධක මඟහැරේ.

ආගාධයක් දැකීම – නුදුරු අනාගතයේ ඇතිවන විපතක පෙර සලකුණකි.

ආගාධයකින් පහතට වැටීම :– නිදන ඉරියව්වේ ඇති වරදක් නිසා මෙවැනි සිහින පෙනෙයි.

ගුවනින් යනු දැකීම – ව්‍යාපාරවල පාඩු සිදුවන බව

දානයක් දෙනු දැකීම :– ඉදිරි වසර තුළ තමාගේ උසස් දියුණුවක් බලාපොරොත්තු විය හැකිය.

සුරතල් සතුන් දැකීම – ජීවිතය සැපවත් වන බවට නිමිත්තකි. ස්වප්න විද්‍යාව යනු ගැඹුරු විෂයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
17 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.