පුළුන් වගේ සුදු රැවුල දිගයි – ලස්සන ඇඳුම හැඩයි කදිමයි

නත්තල් සීයා
දෙසැම්බර් 25, 2020

යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උප්පත්තිය සිහිපත් කරනු ලබන නත්තල ආගමික උත්සවයකි. ලොව පුරා කිතුනු බැතිමතුන් නත්තල සමරනු ලබනනේ මහත් ආගමික භක්තියකිනි. නත්තල් දින මධ්‍යම රාත්‍රී දොළහට පැවැත්වෙන දේව මෙහෙයන්ට සහභාගීවන කිතුනු බැතිමතුන් ඉන් අනතුරුව නව වසරට සුබ පැතුම් එක්කරමින් සතුට සමාදානය බෙදා ගනිති.

නත්තල් උදාවත් සමඟ දූ දරුවන්ගේ මතකයට නැඟෙන අපූරු තැනැත්තෙක් ඇත. ඒ වෙන කිසිවකු නොව නත්තල් සීයාය. රතුපාට දිගු ලෝගුවක් හැඳගෙන උල් තොප්පියක් හිසේ පැලඳ ගෙන සිටින නත්තල් සීයාගේ මුහුණ පුරා සුදු දිග රැවුලකි.

තෑගි මල්ලක් කරේ එල්ලා ගෙන පිණිමුවන් යෙදූ හිම කරත්තයක නැඟී රීදි සීනු හඬවමින් පැමිණෙන මොහු පිළිබඳව නොයෙක් අයුරු විවිධාකාර රස කථා පවතී. හතරවන සියවසේදී තුර්කියේ මයිරා නගරයේ විසූ ඉතා ධනවත් ජුවානා සහ එවියා යුවළට පුතෙකු ලැබුණ. මොහු නිකලස් නමින් ප්‍රසිද්ධියට පත් විය. මේ අතර නිකලස් කුඩා කලදී ම පියා සහ මව ඔහුට අහිමි විය. ඒ වසංගත රෝගයක් වැලඳී මෙන් ඔවුන් මියගිය බැවිණි. මේ වන විට නිකලස්ගේ වයස අවුරුදු අටකි. දෙමාපිය ඇවෑමෙන් දෙමාපියන් සතුව තිබූ විශාල ධනස්කන්දයක උරුමකාරයා වූයේ නිකලස් ය. දිනක් නිකලස් තම නිවස අස්පස් කරමින් සිටියදී රන් කාසි මලු තුනක්ද සම්බ විය. ඒ වන විට මයිරා නගරයේ විසූ ධනවත් සැප සම්පත් විඳිමින් සිටි පවුලක් අන්ත දුගී දුප්පත් තත්ත්වයට පත්ව ඇති බව නිකලස්ට දැනගන්නට ලැබිණ.

රෝග පීඩා හා යම් යම් හේතු නිසා මහත් අසරණ තත්වයට පත් වූ එම පවුලේ සිටියේ දූවරු දෙදෙනා හා වයස්ගත පියාත් පමණකි. රෝගීව සිටි පියාගේ කටයුතු සිදු වූයේ ද දූවරු දෙදෙනා අතිනි. දිනෙන් දින මහත් අසීරු තත්වයට පත්වන මොවුන් ගැන දැනගත් නිකලස් හොර රහසේම ඒ ගැන සොයා බැලුවේය. ඔවුන්ගේ තත්වය දුටු නිකලස් එම ගෙදර අයට හොරා කවුලුවකින් රන් මල්ලක් දමා පැමිණියේය. කෑමට බීමට පවා මුදල් නොමැතිව අසරණව සිටි මොවුන්ගේ කාමරයේ රන් මල්ලක් තිබෙනු දැක මහත් පී‍්‍රතියට පත්ව දෙවියන්ට ස්තුති කරමින් පියාට බෙහෙත් ගෙනැත් දෙමින් ඔවුන් සතුටින් ජීවත් වූහ. ඒ අතර එම මල්ලේ කාසි අවසන්වීමෙන් නැවතත් අසරණ තත්ත්වයට පත් විය. එම තත්ත්වය ද දැනගත් නිකලස් තවත් රන් කාසි මල්ලක් පෙර මෙන්ම හොර රහසේ කූඩුව තුළට දමා ආවේය. එදින එක් දියණියක් එම රන් කාසි මල්ල ද දැක තම රෝගී වූ පියාට එය පවසා තිදෙනාම එක්වී දෙවියන්ට ස්තුති කරමින් යාඥා කළහ.

එසේ ලැබුණු දෙවැනි රන් කාසි මල්ල ද අවසන් වන තෙක් හොඳින් කමින් බොමින් තම රෝගි වූ පියාට ද සලකමින් දූ දරුවන් දෙදෙනා ජීවත් වූහ. නැවතත් ඔවුන් අසරණ විය. එහිදී ඔවුන් යාඥා කරමින් දෙවියන්ට ස්තුති කරමින් ඉල්ලා සිටියේ ඔවුන්ගේ අසරණ තත්වයට පිහිටවන ලෙසයි. ඒ වන විට ද ඔවුන් පත්ව සිටි අසරණ තත්වය ගැන දැන සිටි නිකලස් තම ගෙදර ඉතිරිව තිබු රන්කාසි මල්ල ද රැගෙනවිත් හොර රහසේම කවුලුවෙන් කාමරයට දැම්මේය. ඒ සමගින්ම එය දුටු දූවරුන් දෙදෙනා හා ඉදිරියට පැමිණ නිකලස්ට දහස් වාරයක් ස්තුති කළේය. රෝගී වූ පියා ද නිකලස් ඉදිරියට අවුත් නිකලස්ට ප්‍රශංසා කරමින් කරනු ලැබූ සත්ක්‍රියාවේ බලයෙන් ඔහුට දෙවියන් වහන්සේගේ පිහිට ලැබෙවායි ප්‍රාර්ථනා කළහ. එමෙන්ම නිකලස් සිහිකරමින් ඔහුව රැක දෙන ලෙසට ද සංග්‍රහ කළේය. කුඩා කල සිටම දුප්පතුන්ට පිහිට වෙමින් රෝගීන්ට අනුකම්පා කරමින් අසරණ සරණ සේවාවේ යෙදී සිටි ඔහු පූජකවරයකුවීමේ අධිෂ්ඨානයෙන් යුතුව ඉගෙනීමේ කටයුතු ආරම්භ කළේය. ඔහුගේ එකම බලාපොරොත්තුව වූයේ දේව සේවාවෙන් ජනතාවට කළ හැකි උපරිම සේවාව කිරීමටයි. මේ අයුරින් ජනතා සේවයට කැප වී කටයුතු කළ නිකලස්ට තම ප්‍රාර්ථනාව ඉටු කර ගැනීමට වැඩි කලක් ගතවූයේ නැත.

පූජකවරයට පත්වූ නිකලස් පියතුමා කුඩා දරුවන්ට උදවු උපකාර කරමින් තෑගි භෝග ලබාදෙමින් දරුවන් සතුටු කිරීම නොනවත්වාම කරගෙන ගියේය. එමෙන්ම රෝගී වූවන්ට යාඥා කරමින් ඉක්මන් සුවය පැතූ අතර, බෙහෙත් වර්ග ද ලබා දුන්හ. දුප්පතුන් සඳහාම තම ජීවිතය කැප කරමින් දේව සේවාවේ නියැළුණු නිකලස් පියතුමාට පසු කලෙකදී බිෂොප්වරය කැපීමේ භාග්‍යය ද උදා විය. ඒ වන විට රෝමයේ අධිරාජ්‍ය වූ ඩයොක්ලීටස්ගෙන් කිතුනු භක්තිකයින්ට බොහෝ කරදර හිරිහැර මෙන්ම අසාධාරණකම් ද සිදුවෙමින් පැවතින. ඉන් කිතුනු භක්තිකයින් බේරාගැනීම සඳහා පෙරමුණගෙන ක්‍රියා කිරීමට නිකලස් බිෂොප්තුමා තීරණය කළේය. ඒ අනුව අධිරාජ්‍යයට විරුද්ධව කිතුනුවන් රැකගැනීමේ කාර්ය දියත් කළේ කිතුනුවන් ගේ ද සහාය ඇතිවය. ඉන් කෝපයට පත් ඩයොක්ලීස් අධිරාජ්‍යයා බිෂොප්තුමා සිරභාරයට ගත්තේය. එහෙත් කාන්ස්ටන්ටයින් අධිරාජ්‍යයා විසින් බිෂොප්තුමා නිදහස් කළේය. නිදහස්වීමෙන් පසුව ද බිෂොප්තුමා පෙරමෙන් දුප්පතුන්ට හා දූදරුවන්ට උදවු කරමින් දේව සේවාවේ යෙදුණාහ. මෙසේ තම සේවාව දරුවන් වෙනුවෙන්ම කැප කරමින් කටයුතු කිරීම නිසා ජර්මන්වාසීහු බිෂොප් තුමා නත්තල් සීයා යනුවෙන් හැඳින්වීමට පියවර ගත්තේ එම සේවාව අගය කරමිනි.

වයස්ගතව සිටි නිකලස් බිෂොප්තුමා තමන් සතුව තිබු ධනය මෙන්ම මිල මුදල් ද දුප්පතුන් අතර බෙදාදී ක්‍රි.ව. 341 වසරේ දෙසැම්බර් මස හයවනදා ස්වර්ගස්ථ වූයේ තමාට කියා කිසිවක් ඉතිරි කර නොගනිමිනි.අනතුරුව බිෂොප්තුමාගේ භෂ්මාවශේෂ දකුණුූ ඉතාලියේ බාරි නුවර ශුද්ධ වූ ස්ටීවන්තුමාගේ දේවස්ථානයේ තැන්පත් කරන ලදී.පසුව නිව්යෝර්ක් කොළොම්බියා විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙකු වූ ක්ලේමන්ඩ් සී. මුවර් මහතා නත්තල් සීයා පිළිබඳව කවි පන්තියක් ලොවට හඳුන්වාදෙනු ලැබීය. ඔහු 1822 නත්තල් සීයා මෙන් සැරසී අශ්ව කරත්තයක නැඟී තම හිතුවතුන් කීපදෙනෙකු සමඟ නගරයේ හිමෙන් පිරුණු වීදිවල යමින් අවට ළමයින්ට තෑගි භෝග බෙදාදෙනු ලැබීය. එම මුවර් මහතා විසින් රචිත පුළුන් වගේ සුද රැවුල දිගයි. මේ එන්නේ නත්තල් සීයයි කියන ගීතය ලොව පුරා පැතිර ගිය අතර, එය කාගේත් ප්‍රශංසාවට ද ලක්විය. ශාන්ත නිකලස් බිෂොප්තුමා හා මහාචාර්ය ක්ලේමන්ඩ් සී. මුවර් මහතා විසින් නත්තල වෙනුවෙන් කුඩා දරුවන් ඇති කළ ඒ අසීමිත පී‍්‍රතිය අද පවා නත්තල් දිනයේදී නත්තල් සීයාගේ පැමිණීමෙන් දරුවන් බුක්ති විඳියි. නත්තල් සීයා ලොවට දුන් ආදර්ශය වූයේ කරුණාව , දයාව පෙරදැරි කරගෙන දරුවන්ට අනේකවාරයක් සතුට ලබාදීමයි.

යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උප්පත්තිය සිහිපත් කරනු ලබන නත්තල ආගමික උත්සවයකි. ලොව පුරා කිතුනු බැතිමතුන් නත්තල සමරනු ලබනනේ මහත් ආගමික භක්තියකිනි. නත්තල් දින මධ්‍යම රාත්‍රී දොළහට පැවැත්වෙන දේව මෙහෙයන්ට සහභාගීවන කිතුනු බැතිමතුන් ඉන් අනතුරුව නව වසරට සුබ පැතුම් එක්කරමින් සතුට සමාදානය බෙදා ගනිති. සුබ නත්තලක්ම වේවා.

බත්තරමුල්ල පැළවත්ත

රාජපුර වෙද මැදුරේ, ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය

එම්.පී. සුමිත් රාජපුර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.