ගැබිනි මවටයි මේ

දෙසැම්බර් 25, 2020

මෙලොව උපදින දරුවා දෙවියෙක් කරන්නේත් යක්ෂයෙකු කරන්නේත් ඔබයි. දරුවා ඔබේ කුසේ සිටින අවදියේ ක්‍රමවත්ව හදන්න. ඔබයි දරුවාගේ එකම නිර්මාණකරුවා. සියලුම ගැබිනි මාතාවන්ට වාසනාවන්ත දරුවෙකු මෙලොවට බිහිකිරීමේ මහා වාසනාව ලැබේවායි අපි ප්‍රාර්ථනා කර සිටිමු.

 

මේ වන විට ඔබ නව විවාහක යුවලක් නම් තාරුණ්‍යයේ එකම අපේක්ෂාව ඉටුවී ඇති බැව් පෙනේ. පේ‍්‍රමය, ආදරය, සෙනෙහස ,ආලය උතුරා යන සෑම නිමේෂයකම සිත තුළ රෝපනය වී ඇත්තේ දාරක සම්පතයි. සැමියා සේම බිරිඳගේ ගත සිත හැම විටම සූදානම් වන්නේ මෙලොවට දරු සම්පත බිහි කිරීමටයි.

සොබා දහමේ අසිරිමත්ම දායාදයද දරු සම්පතයි.විවාහය යනු හුදෙක්ම දරු සම්පතයි. විවාහය යනු හුදෙක්ම කායික මානසික උපරිම තෘප්තියට එහායින් ගිය වර්ගයා බෝ කිරීමේ ප්‍රවනතාවයයි.

අපේ පැරණි ගැමි සමාජයේ පෙම් සබඳතා මෙන්ම ඇවැස්ස නෑ කමටද විවාහ වූහ. වසරක් ඇතුළත දරු සම්පතක් ලැබිණ. අද වන විට විවාහ වී වසර කීපයක්ම වුවමනාවෙන් ගැබ් ගැනීම වළකන කලාවක්ද බිහිවී තිබේ.

මෙහි ප්‍රතිඵලයක් ලෙස වැඩි කාල පරාසයක් දරුගැබ් ගැනීම වළක්වා ලීම නිසා දරුවෙකු ලැබීමේ වාසනාව ද නොමැති වන අවස්ථා එමට යෙදී තිබේ.

තම රූ සපුව රැක ගැනීමට යටි සිතේ ඇති ආසාව නිසා ඉක්මනින්ම දරුවෙකු ලැබුණ විට මව්කිරි දීමට ද සමහර අය තරමක් මැළිකමක් දක්වන්නේය.

මවකගේ සිතින් උපදින ආදරය , කරුණාව, සෙනෙහස. සතුට, දාරක පේ‍්‍රමය නිසාම දරුවා බිහි කරන මොහොතේම කිරි එරෙණු ඇත. ලොව නිර්මාණය කිරීම කිසිම දිනක අපහසු එකම දෙය නම් මව් කිරිය. සිරුර පුරා දුවන රතුවන් රුධිරය ආදරය, සෙනෙහස, දයාව තුළින් ඇතිවන ශක්තීන් හරහා සුදු කිරි බවට හැරේ. එය පෝෂණයේ ඉහළම තැනක වැජඹේ. ගැබිනියකගේ මාස 7 යි දින 22ක් වන විට දරුවාට පිහිනීමට ජල බෑගයේ (Water Bag) ජල ප්‍රමාණය පිරී තිබිය යුතුවේ.

ගැබිනියන් නොව කිසිම කෙනෙකු දිනකට ජලය බෝතලයක්වත් පානය නොකරන්නේය. ශරීරය වියළි බවට පත්වේ (සමේ) රෝග ද පහසුවෙන් වැළඳේ. රූ සපුව ද නැති වේ.

ගැබිනි මවක් පැය 24 තුළම ඉතාම සතුටින් සොම්නසින් සිටිය යුතුමය. ඒ දරුවාගේ කායික හා මානසික වැඩීම සඳහාය. ආගමික වතාවත් කිරීම සෞන්දර්ය චිත්‍ර නැරඹීම. උසස් ගණයේ නාට්‍ය බැලීමේ හා අපේ ජනකවි මෙන්ම උත්තර භාරතීය රාගධාරී විවිධ හැඩතල තුළින් නිර්මාණය වූ සංගීතයන් සහ නායකයන්ට ඇහුම් කන්දීම සුවශේෂිතයි. දරුවෙකු සෑදිය යුත්තේ ගර්භාෂයේ දීය. සියල්ල උකහා ගන්නේ දරුවා මවගේ ගැබ තුළ සිටින අවධියේය. බාහිර සියලු ශබ්ද තරංග ඔහුට ඇසේ.

පැරණි අය අත්තිවාරම් දැමීම, බිත්ති බැඳීම, වහල ගැසීම, ගස් කැපීම් ආදී බාහිරින් හැගෙන කටුක ශබ්ද ඇසීම වළක්වන ලද්දේ දරුවාගේ වැඩීම උදෙසාය.

බිරිඳ ගැබ්ගත් විට සිය දෙමාපියන් වෙත බිරිඳ යවන්නේ ආදරය සෙනෙහස, දයාව, කරුණාව, මව සහ පියාගෙන් ලැබෙන නිසාමය.

බාහිර කරදර, හිරිහැර, තාඩන පීඩන කම්කටොලු, චිත්ත පීඩා, කායික පීඩාවන්ගෙන් නිරන්තරයෙන්ම ආරක්ෂා විය යුතුයි. ගැමියන් එදා ගර්භ ශාන්ති කර්මයන් කරන ලදී. මෙය එක්තරා පූජාමය මානසික හා කායික බලය ඔප් නංවන මනෝමය ක්‍රම වේදයකි.

අපේ දේශිය පාරම්පරික ශාන්තිකර්ම යාග හෝම තුළ අන්තර්ගත වී ඇත්තේ මනස සුවපත් කිරීමේ ක්‍රමයකි. ජාන රූපක බලිය. මල් හා දිය කොරහේ බලිය තුළින් මවගේ බාහිර ආරක්ෂාව සැලසේ. අමු කහ, හීරැස්ස, පළු වලින් දුම්මල කීලයෙන් හා බෙර හඬින් ද , විෂබීජ නැසේ. එය විද්‍යාත්මක සංසිද්ධියකි. පුලුක්ගොබ, කෙසෙල් පතුරු, පුවක් හා පොල්මල් හරහා ශාරිරික වැළදෙන සියලු විෂබීජ නැසිය හැකිවේ. ශාන්ති කර්මයන් විද්‍යාත්මකයි. බලි යාග කර්ම සුවිශේෂී වේ.

රංගනාත්, හීන්බබා ධර්මසිරි, ලිචා ගුරුන්නාන්නසේ වැනි අපේ පාරම්පරික බලි ශාන්ති කර්මයන්හි ඇති දක්ෂයන්ය. නාට්‍යාචාර්ය ජේ.ඊ. සේදරමන් ශූරීන් පැවසූ පරිදි අපේ දේශීය බලිශාන්ති කර්මය, ලොව කිසිදු රටක නොමැත. මනස මූලාශ්‍රිතව කයට බෙහෙත් කරන එකම වෙදකම ශාන්ති කර්මය වේ.

නොනවතින අධිවේගකාරි සංගීතයට වඩා බෙරහඬින් මානසික රෝග සුවකර ගැනීමට හැකි බැව් හෙළයේ මහා නාට්‍ය ශිල්පී පණීභාරත ශූරීන් වරෙක පවසා ඇත.

පියවි කනට ඇසෙන මියුරු සංගීත නාද රටාවෙන් ගර්භිණී මාතාවකගේ දෙකන් පිනවීමට සමත්වන අතර කුස තුළ සිටින දරුවා ද ඒ නාද ස්වර වට දෙකන් යොදා සතුටක් ලබන බව ඇත්තකි. ඝෝෂාකාරී මහා රළු සංගීත අධිවේගකාරී සංගීතය කුස තුළ වැඩෙන දරුවාට අතිශයින්ම අහිතකරය. මේ ලිපිය කියවන ඔබ ගැබිනි මාතාවක් නම් නිතර සොම්නසින් යුක්තව ආගමික වතාවත් වල යෙදී රාගධාරි සංගීතකයට ගායන හා වාදනයන්ට සවන් දෙන්න. සැහැල්ලු මනසකින් අවට පරිසර තුළ ඇති සෞන්දර්යාත්මක පැතිකඩ ඔස්සේ රස විඳින්න.

ක්‍රෝධය, වෛරය, පලිගැනීම, ඊර්ෂ්‍යාව , කුහකකම, තරහව, ආවේගය, වැනි මනසට හානිකර දේවලින් වළකින්න. එය ගර්භයේ වැඩෙන දරුවාට අතිශයින් අහිතකරය.

මවගේ සිතුවිලි ජාලය තුළ ඔබ මොබ හැසිරෙන දරුවාගේ මනස අතිශයින්ම සෞන්දර්යාත්මක පැත්තට නැඹුරු විය යුතුමයි.

සිනහවන්ට බැරි ගැබිනියකට ප්‍රසන්න රූමත් බුද්ධිමත් දරුවෙකු බිහිකළ නොහැකි යැයි කියමනක් තිබේ.

පංච මහා සම්පත්තියෙන් පිරි ශ්‍රේෂ්ඨතම අභීත දරුවෙකු මෙලොවට බිහිකිරීමට ඇති පූර්ණ බලශක්තිය ඇත්තේ පියාට නොව මවටයි.

මෙලොවට බිහිවන්නට පෙර ඔබේ කුසේ සිටින ඒ දරුවාට පංච මහා සම්පත්තියම (දීඝායු, වර්ණ, සැප, බල, ප්‍රඥා) හිමිකර දීමට ඔබ නිතර අධිෂ්ඨාන කරන්න. එය පාරමිතාවක් සේ පුරන්න ජප කරන්න.

මෙලොව උපදින දරුවා දෙවියෙක් කරන්නේත් යක්ෂයෙකු කරන්නේත් ඔබයි. දරුවා ඔබේ කුසේ සිටින අවදියේ ක්‍රමවත්ව හදන්න. ඔබයි දරුවාගේ එකම නිර්මාණකරුවා. සියලුම ගැබිනි මාතාවන්ට වාසනාවන්ත දරුවෙකු මෙලොවට බිහිකිරීමේ මහා වාසනාව ලැබේවායි අපි ප්‍රාර්ථනා කර සිටිමු.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
16 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.