නව වසරක උදාව සමරණ රටින් රට නව අවුරුදු පැවතුම්

ජනවාරි 8, 2021

2021 ජනවාරි පළමුවනදාට එළැඹි මධ්‍යම රාත්‍රී දොළහෙන් පසු ලෝක ජනතාව නව වසර උදාවිය. ඒ අනුව නව වසරේ ලිත ඇරඹෙන්නේ ජනවාරි පළමුවනදාට වුවත් සමහර රටවල නව වසරේ ආරම්භය සිදුවන්නේ ඒ ඒ රටවල පැවත ආ මාස හා දින මුල්කර ගනිමිනි. අප රටේ මෙන්ම ලෝකයේ බොහෝ රටවල නව වසර ආරම්භ වනු ලබන්නේ ජනවාරි මාසයේ වුවත් සමහර රටවල අවුරුද්ද ආරම්භ වන්නේ මාර්තු අප්‍රේල් හෝ සැප්තැම්බර් මාසවලදී ය.

වසරක් ගෙවී තවත් වසරක් ලබන දෙසැම්බර් තිස්එක්වන දා රාත්‍රී කාලයේ දී ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් උත්සව පැවැත්වීම බොහෝ රටවල සිරිතකි. ශ්‍රී ලංකාවේ ලිත් ක්‍රමයට අනුව අප්‍රේල් මැද භාගයේ දී සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වන අවස්ථාවේ දී රටපුරා සෑම ස්ථානයකම රතිඤ්ඤා පත්තු කරමින් රබන් ගසමින් සිංහල අලුත් අවුරුද්ද සමරති.

එහෙත් සෑම වසරකදී ම නව වසරක උඳාව සමරමින් ශ්‍රී ලංකාවේ සර්වරාත්‍රික පිරිත් දේශනා බෝධි පූජා දේව පූජාව මෙන්ම කෝවිල්වල පූජා කටයුතු ද දේවස්ථානවල දේව මෙහෙයන්ද යාඥ ද පවත්වති. එසේ පවත්වනු ලබන සෑම ආගමික කටයුත්තකදීම උදා වන්නා වූ වසර සාමයෙන් සමගියෙන් හා සශ්‍රීකත්වයෙන් පිරි රටක් මේවායි ප්‍රාර්ථනාකරති. සෑම වසරක් අවසානයේ දීම නව වසරට සෙත්පතා අප රටේ නිදහස් චතුරශ්‍රයේ දී මුළු මහත් රටටම සෙත්පතා සර්වරාත්‍රික පිරිත් දෙසුමක් පවත්වන ලදී. එමෙන්ම විහාරස්ථානවලදී ශ්‍රී දළදා මාලිගාවේ මෙන්ම කතරගම දේවාලයේද විශේෂ පූජා පවත්වා රටට සෙත් පැතීම් සිදුකරන ලදී. එම සියලුම ආගමික කටයුතු රූපවාහිනී හා ගුවන්විදුලිය මගින් ද විසුරුවා හැරීමට කටයුතු යොදා තිබිණි.

රුසියාවේ නව වසර සමරනු ලබන්නේ මොස්කව් නුවර දී ය. දෙසැම්බර් තිස් එක්වන දා උත්සවය ආරම්භ කොට මහත් උත්සවාකාරයෙන් පවත්වයි. ක්‍රෙම්ලින් මන්දිරයේ ඔරලෝසු කණුව දෙසැම්බර් තිස් එක්වනදා මැදියම් රැයේ දී දොළොස්වරක් මහ හඬ දෙමින් පතුරුවා හරින විට රුසියාණු මුළු ජනතාවම එම ශබ්දයෙන් පිබිදී නව වසරට සූදානම් වේ. එරට පවත්වනු ලබන නව වසරේ විශේෂ ලක්ෂණයක් වන්නේ නව අවුරුදු ගසයි. එම ගස ඉදිකරනු ලබන්නේ ක්‍රෙම්ලින් භූමියේ ය. ෆැම්පින් පානය සව්දිය පිරීම සුබ පැතුම් පැතීම ත්‍යාග ලබදීම ද මෙහිදී සිදු කෙරේ. නව අවුරුද්ද උදාවන රාත්‍රියෙහි ජනතාව වීදිබැස සතුට ප්‍රකාශ කරමින් සුබ පතමින් යන එන අයට ආසිරි ගන්වයි. ගෙන් ගෙට යමින් උසුළු විසුළු කරමින් ද විනෝද වෙති. මෙසේ විනෝද වන මොවුන් උදාවන ජනවාරි පළමුවනදා හිරු මුදුන් වී හිරු රැස් ගෙට ලැබෙන විට උත්සව අවසන් කෙරේ.

ජපානයද නව වසරේ ලබන අවුරුද්ද උත්සවාකාරයෙන් පවත්වයි. එම උත්සවය හඳුන්වනු ලබන්නේ ඕෂෝගයිට්සු නමිනි. මෙහි විශේෂත්වයක් වන්නේ ජපන් ජාතික හැම දෙනාම එකට මුන ගැසෙන අතර මාපිය වැඩිහිටියන්ගේ නිවස්වලට ගොස් සමගියෙන් සමාදානයෙන් ගත කිරීමයි. දෙසැම්බර් මස තිස් එක්වන දා පවුලේ අය එකට එක් වී නූඩ්ල්ස් ආහාරයට ගැනීමත් චාරිත්‍රයකි. ඉන් අනතුරුව ඒ සෑම කෙනෙක්ම විහාරස්ථානවලට රොක් වේ. එසේ යන අය හමුවන අයට නව වසර වාසනාවන්ත වේවායි ප්‍රාර්ථනා කරමින් යයි ජනවාරි පළමුවනදා දරුවන්ට ත්‍යාග භෝග ලබා දෙමින් සතුටින් ගමන් කරමින් විනෝද වෙති. වියට් නාමයේ නව වසරේ උදාව පවත්වනු ලබන්නේ චන්ද්‍ර මාසය අනුව ජනවාරි අග හෝ පෙබරවාරි මාසය මුලදී ය. අවුරුදු දිනට පෙර දිනයේ සෑම කෙනෙක්ම ඒ ඒ ස්ථාන මල්වලින් සරසති. මේ නිසාම හැම තැනැක්ම දකින්නට ලැබෙන්නේ එකම මල් තෝතැන්නක් ලෙස ය. එමෙන්ම නිවෙස් තුළ කෑම මේසයක්ම මල් බඳුන්වලින් පිරී පවතී. ගෙවල්වල බිත්ති ආදර්ශ පාඨවලින් හා අලංකාර චිත්‍රවලින් ද සරසනු ලබති. ලබන්නා වූ අවුරුද්ද මිතුරන් හා එක්ව සමරනු ලබන්නේ පීච්ගහක ඵලබර අත්තක් තෑගි දීමෙනි.

ඉරානයේ නව අවුරුද්දට පිවිසෙන්නේ මාර්තු මස විසි දෙවනදා සිට ය. එදින ගම්වල තුවක්කුවලින් නිකුත් කෙරෙන වෙඩි හඬින් පළාතම ගිගුරුම් දෙයි. ඒ ශබ්දය සමඟ හැම දෙනාම රිදී කාසි අතට ගනී. එසේ එම වේලාවේදී කාසි අතට ගැනීමට නොහැකිවුවහොත් මුළු මහත් අවුුරුද්දම රටින් පිට වාසය කිරීමට සිදුවෙතැයි විශ්වාස කරති.

නව වසර ලැබූ විගසම ගේ තුළ තිබූ පරණ හැලි වලං බිඳ දමා අලුත් භාණ්ඩ පාවිච්චියට ගනිති. අවුරුදු භෝජනයට පැළවේගෙන එන ධාන්‍ය ඉරිඟු සහ තිරිඟු යුෂ විනාකිරි යෙදූ ආහාරයක් සකස්කර ගන්නා අතර බීමට කුඩා මසුන්ගෙන් යුත් පානයක් සකස් කර ගනී. බ්‍රිතාන්‍යයේ දෙසැම්බර් තිස් එක්වනදා මධ්‍යම රාත්‍රියෙහි ඔරලෝසුවේ දොළහ වැදුණු සැණින්ම නිවෙස්වවල දොරවල් ඇර තබති. ඒ අවුරුද්දට හා පුරා කියා නිවෙස්වලට එන අය පිළිගැනීමටයි. එසේ එන අයගේ හිස කෙස් දුඹුරුපාට හෝ රතුපාට නම් එය වසර වාසනාවන්ත වන බවට විශ්වාස කරති. ශ්‍රී ලංකාවේ නව වසර ජනවාරි මස පළමුවනදා ප්‍රථමයෙන් ම නිවෙස්වල කිරි ඉතිරවූහ. කිරිබත් පිස විහාරස්ථානවලට ගොස් බුද්ධ පූජා තබා ආශීර්වාද ලබා ගනිමින් ස්වාමීන් වහන්සේලාට දාන ලබාදීමෙන් පිරිකර ලබාදීමෙන් රටට සාමය ප්‍රාර්ථනා කළහ. එදින සවස්වරුවේ දී බෝධි පූජා පවත්වනු ලැබූ අතර වැඩිහිටියන් නැමදීමද සිදු කෙරිණි. තායිලන්තය, මියන්මාරය, ඉන්දියාව ආදී රටවලට නව වසර සමරනු ලබන්නේ ආගමානුකූල කටයුතුවලට මුල් තැන දෙමිනි.

ලැබූ නව වසර සෑම දෙනාටම නිරෝගිමත් වසරක් වේවායි ප්‍රාර්ථනා කරමි.

බත්තරමුල්ල, පැලවත්ත, රාජපුර වෙද මැදුරේ ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය

සුමිත්.එම්.පී. රාජපුර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.