ඡ්‍යොතිෂය හා බැඳි සමාජ සබැඳියාව පිරිහෙන හැටි

ජනවාරි 8, 2021

පැරණි ගොවි ජනතාවගේ සිට අද වර්තමාන තාක්ෂණය මධ්‍යයේ ගමන් කරන සමාජය දක්වා ඡ්‍යොතිෂය සමඟ ඉමහත් සබැඳියාවක් ජනතාව තුළ වර්ධනය වෙමින් පැවතුණේය.

එදා අප මහ බෝසතාණන් වහන්සේ මව්කුසින් බිහිවූ මොහොතේ ශරීරගත ඡ්‍යොතිෂමය අංග ලක්ෂණ හා අහසේ දිස්වූ ග්‍රහ තාරකා අනුවත්, පරිසරයේ ඇතිවූ විවිධ වෙනස්වීම් මුල් කර තුන් ලෝකයට අධිපති වන්නාවූ වාසනාවන්ත චක්‍රවර්ති දරු උපතක් බව පඬිතුමන්ලා පැවසුවේ ඡ්‍යොතිෂමය සිද්ධාන්ත නියමාකාරව පැහැදිලි ලෙස විග්‍රහයක යෙදීමෙනි. එසේ නොමැතිව වර්තමානයේ වාගේ තාක්ෂණ විදුලි මොළයක් ක්‍රියාත්මක කර බැලුවේ නැත.

පැරණි යුගයේ ගොවියෝ යල මහ දෙකන්නයට වී ගොවිතැන් සඳහා වර්ෂා ජලය ලැබෙන බව තීරණය කර ගත්තේ අමාවකින් පසු චන්ද්‍රයා දෙස බැලීමෙනි. ඒ අනුව පුරන් කුඹුරුවල ඇළ වේලි සුද්ධ කර සකස් කර තබා ගත්තේය.

මව්කුසෙන් බිහිවන දරුවාගේ උපන් වේලාව රැගෙන ගමේ සිටින නැකැත් මාමා ළඟට ගොස් දරුවාගේ උපත සම්බන්ධව විස්තර විමසන්නේ බුලත් අත සමඟ තුටු පඬුරු සොච්චමක් තබමිනි. උපන් වේලාව අනුව ඉපදුනේ ගැහැනු දරුවෙක්ද, පිරිමි දරුවෙක්ද යන්න නිවැරදිව නැකැත් මාමා පවසන්නේ ඉතා ගාම්භීරත්වයෙනි. මෙම හාස්කමට දක්ෂකමට එදා විදුලි මොළ තිබුණේ නැත. අද බොහෝ දෙනා විදුලි මොළෙනුත් මේ බව පවසන්නේ වැරදුණොත් විනාඩි කීපයක් උපන් වේලාවට එකතු කර හෝ අඩු කරලාය.

පැරණි යුගයේ දෛවඥ මහත්වරු යම් අයකුගේ කේන්ද්‍රයට පලාපල පැවසුවේ අංශ දෙකක් පදනම් කරගෙනය. එනම් පැමිණෙන අයගේ අංග චලන ක්‍රියාවලිය හා තත්කාලය මුල් කරගෙන ය. ඉන්පසුව කේන්ද්‍රය අතට ගෙන තමන්ගේ ගණිතමය පළපුරුද්දෙන් සියලු කරුණු කාරනා තොරතුරු මුල් කරගෙන කිරි ගහට ඇන්නා වගේ පලාපල කීවේය. අද තත්ත්වය කෙසේද කියා ඔබටම වැටහෙනවා ඇති. කෙසේ නමුත් පාරම්පරික ඡ්‍යොතිෂ මහත්වරු ඉහත පැරණි ක්‍රම අනුගමනය කිරීම හා නිවැරදි පලාපල ප්‍රකාශ කිරීම සතුටට කරුණක්. එසේ වුවද දැනට තැන තැන ඡ්‍යොතිෂ ඉස්කෝල දමාගෙන ඡ්‍යොතිෂ කඩ විවෘත කර විදුලි මොළය ළඟට වී කරන විගඩම් නම් හොඳ නැත.

ඒ සමඟම මැණික් ගල් ව්‍යාපාරය ද ඡ්‍යොතිර්වේදීන් අතට දැනට ගෙන ඇත. යම් අයෙකුගේ කේන්ද්‍රයක් බැලූවිට අපල බොහෝ වැඩි බව පෙන්වමින් කෙසේ හෝ ගලක් විකුණා ගැනීමට මාන බලන ඡ්‍යොතිර්වේදින් ද මේ අතර සිටින බව කනගාටුවෙන් හෝ කිව යුතුය. මේ සම්බන්ධව පත්තර විකුණන වෙළඳ සැල්වල යම් යම් අය කරන විවේචනයක් මගේ මූණටම ලක්විය. මේ තත්ත්වයට ඡ්‍යොතිෂය දැන් දැන් පත්ව තිබීම අපටම ඉමහත් ලජ්ජාවකි.

නිවාස නැකැත් සෑදීමේදී ඡ්‍යොතිර්වේදීන් බොහෝ දෙනා ආවට ගියාට කිසිම වගකීමකින් තොරව නැකැත් සාදා ඇති අවස්ථා හමුවේ. මෙයින් නිවාස හිමියා ධන හානිවී වැඩ අතරමග නැවතී අතරමං වී සිටින අවස්ථා දැක ඇත්තෙමි. එම නිවසේ නැකැත් විස්තර මා පරික්ෂා කර බැලුවෙමි. ගෘහ හිමියාගේ උපන් නැකතට එදින සුබ නැකත “වධ” නැකතක් වන අතර රවි සිටින නැකතේ සිට අට වැන්න විය. මුල් ගල තබා ඇත්තේ උපන් රාශියෙන් 12 වන රාශිය මුල්කර ගෙනය. උපත ලැබූ ධනු ලග්නයෙන් දොළොස්වැන්න වෘශ්චික රාශිය මුල් ගලේ තත්කාල ලග්නය විය.

එපමණක් නොව ස්ත්‍රී පුරුෂ පොරොන්දම් ගැලපීම ද ඉතාමත් පහත් තත්ත්වයකට පත්කර ඇත. ස්ත්‍රි කේන්ද්‍රයේ අටවැන්න අධිපතියා 22වන දෙර්කාණාධිපතියාවී එම ග්‍රහයාට හිමි “වධ” නැකතකට පුරුෂ කේන්ද්‍රය ගලපා පොරොන්දම් සියයට අසූවක් හොඳ බව පෙන්වා විවාහයට සුදුසු බව පවසා තිබූ අවස්ථාවන් මා හට හමුවිය. කෙසේ නමුත් පුරුෂයාගේ කේන්ද්‍රයේ ගුරු හත්වැන්නට පැමිණීමත් සමඟ එම විවාහ යෝජනාව පුරුෂයා ගෙන් ඈත්වී ගියේ පෙර පිනකටය. ගුරුගේ බලයෙන් සුදුසුම විවාහ යෝජනාවක් ඉදිරිපත්වී නියමාකාරව පොරොන්දම් හා බාහිර ගැලපීම් ඉතා සුබවීම නිසා විවාහ දිවියට පා තබා දැන් හොඳින් ජීවත් වේ.

මරු සිටින දිසාව සමහර ඡ්‍යොතිෂ මහත්වරු ගණන් නොගන්නා අවස්ථා මා හට හමුවිය. එක්තරා අලුත් නිවසකට ගෙවදීමේ සුබ නැකත ගුරු දිනක යොදා තිබුණි. සුබ දිසාව දකුණට ගෙන කිරි ඉතිරවීමට පිළියෙල කර තිබුණේය. මේ මොහොතට සහභාගිවීමට මා හටද ආරාධනා කර තිබුණේය. එම සුබ වේලාවට චාරිත්‍ර කිරීමට නැකත සෑදූ ඡ්‍යොතිෂ මහතා පැමිණ දකුණ බලා කිරි උතුරවා කටයුතු කළේය. ඉඳුල් කිරීමේ නැකතද යොදා තිබුණේ දකුණ බලාය. මා විසින් මෙය සුදුසු නැති බව ප්‍රකාශ කළ නමුත් එතුමා මා සමඟ ගැටීමට ලක්විය. කෙසේ නමුත් ගෙදර මූලිකයා මේ කිසිම චාරිත්‍රයකට සහභාගි නොවි මග හැර කොහේදෝ ගියේය. බිරිඳ සියලු චාරිත්‍රවලට අත ගසා කටයුතු කළාය. කෙසේ නමුත් එදා සිට අද දක්වා එම නිවසේ පුරුෂයාත් භාර්යාවත් ඉතාම ව්‍යසනකාරි තත්වයකට පත්විය. භාර්යාව අද වන විට දරුණු රෝග තත්ත්වයකට පත්වෙමින් සිටී. පුරුෂයාද බලවත් ලෙස රෝගි විය. ත්‍රීවීල් රැකියාව කරමින් සිට අද ඒ එකක්වත් නැත. විකුණා මුදල් විනාශ වී ඇත. අන්තිම අසරණ තත්වයට පත්විය. දරුවන්ද නැත. ඔන්න, මරුවා දෙස බලා කිරි උතුරවා නිවසට පදිංචිවීමේ කෙරුවාවේ සුබ නැකතක හැටි.

තවත් අපූරු සිදුවීම් අද වන විට සිදුවේ. දේවාරූඪ ඇදුරුකම් කරන ගුප්ත විද්‍යාධර ඡ්‍යොතිෂ මහත්වරු අද වන විට ගමේ ගොඩේ බිහිවී සිටිති. කවුරු හෝ කේන්ද්‍රයක් බැලීමට ගියහොත් මේ අය දේවාලයේ පහන දල්වා ඉන්පසුව කේන්ද්‍රය අතට ගෙන අපස්මාර රෝගය සෑදුන අයෙකු මෙන් වෙව්ලමින් පවසන්නේ මෙලෙසය. “දරුවා, තොපට දැන් පවතින්නේ දරුණුූ මාරක ඒරාෂ්ඨකයක්, මාස තුනක් යන්ට මත්තෙන් දරුවාට බිහිසුනු මාරකයක් තිබෙනවා. මෙයින් ගැලවෙන්න බොහොම අමාරුයි. ස්ථානෙට නපුරු විණ දෝෂයකුත් තිබෙනවා. දරුවාගේ නමට කරපු ඒ නිසා මෑණියන් කියා සිටිනවා මා හට දින 3 ක් කන්නලව් කරන්න අවසාන දිනයේ විණය කපා ආරක්ෂක යන්ත්‍ර රාජයෙක් පලඳන්න. මේ කටයුතු ටිකට ගුරු පඬුරු 20,000/- ක් දෙන්න” මෙහිදී එම පුද්ගලයා බලන්ට දීපු කේන්ද්‍රය ඔහුගේ පියාගේය. කිසිම ගණිතමය පරික්ෂාවකින් තොරව පලාපල ප්‍රකාශ කරල මා හට යන්ත්‍රයකුත් නියම කළා. මාරකය තිබෙන්නේ තමන්ට ද පියාට ද, කොහොමද වැඩේ. යන්නෙ කොහෙද, මල්ලෙ පොල්. කිව්ව වගේ නේද? මෙම දේවාලය දැනට නැත. ඡ්‍යොතිෂවේදියාත් නැත.

මෙවැනි සිදුවීම් අද බොහෝ තිබේ. මෙයින් සිදුවන්නේ කුමක්ද? කියා ඔබම සිතා බලන්න.

බුදු දහමේ පෙන්වා දෙන ලෝකෝත්තර සැප හා ලෞකික සැප විග්‍රහය. පිරිහීමේ කරුණු, පින් පවු පලදීම, දෙමාපිය හිංසනය දුක්ඛිතභාවය, ජරාවට පත්වී දුක්විඳීම, ආයුෂ අඩු වැඩිවීම මේ ආදි බොහෝ කරුණු ජන්ම පත්‍රය නැමති තල්කොළ සටහනකින් පැරණි විද්වත් දෛවඥ මහත්වරු ස්වකීය ඥාණය මෙහෙයවා ගණිතමය ක්‍රම ඇසුරු කරමින් යම් අයෙකුට පලාපල ප්‍රකාශ කළේ කිරිගහට ඇන්නා වගේය. එයින් ඡ්‍යොතිෂය කෙරෙහි එදා සමාජ සබැඳියාව තිතට තහවුරු විය. නමුත් අද වන විට එය ක්‍රමයෙන් පිරිහෙමින් පවතී.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.