වත්මන් විවාහයේ අග මුල

ජනවාරි 22, 2021

සොබාදහමට එකඟ වූ මුළු මිනිස් වර්ගයාගේම මෙන්ම සියලුම සජීවි සත්වයින් හට උරුම වූ ආශ්වාස ප්‍රශ්වාස, ආහාර, නිදා ගැනීම හා මෛථුනය සතර වැදෑරුම් ක්‍රමවේදය අනුගමනය කිරීමද සොබාදහමේ අපූර්වතම ක්‍රියාවලියකි. ගස්වැල් තෘණ ශාකයන් පැවැත්ම උදෙසා අම්ලකර නිෂ්පාදනය කරනු ලැබේ. ගස්වැල් සමූහය මෙන් වැසි වනාන්තර මෙලොවින් තුරන් වූ දිනයක සත්වයන්ගේ වැනසීම ඇතිවෙනු නිසැක ය.

 

පොළොවේ වැඩි ප්‍රමාණයක්ම ජලයෙන් ආවරණය වී තිබේ. පොළොව මතුපිට වැවී ඇති ශාක වර්ගයන් මෙන්ම මහ සයුරේ පත්ලේ විවිධ වර්ණ කදම්භයකින් සෑදුන විවිධ ශාක පැළෑටි වර්ගයන්ද තිබෙන බැව් පෙනේ. මිනිසාගේ වනචාරි සහ දඩයම් යුගයේ ආරම්භයේදීම ප්‍රජනනය හෙවත් තම වර්ගයා බෝ කිරීම ඇතිවිය. එය තුරුලතාවලටත් ආවේණික වන්නේ ය. අණ්ඩජ, ජලාබුජ, සංසේදිත, හා ඕපපාතික වශයෙන් ය.

මිනිසාගේ ශිෂ්ටාචාරයත් සමඟම ගැහැනු හා පිරිමින්ගේ සහ සම්බන්ධතාවයේ මූලාශ්‍රය වූ විවාහයකට පදනම වැටින.

ආදිවාසීන් මෙකී විවාහයකදී අද මෙන් නොව නීතිමය රාමුවකට කොටු නොවී ඔවුන් අතර කායිකමය සබඳතාවයට අනුගතව දරු සම්පත් ලැබීමේ වාසනාව හිමි විය. ක්‍රමක්‍රමයෙන් මිනිසාගේ සමාජීය හා සංස්කෘතික හර පද්ධතිය තුළින් විවාහයේ ක්‍රම විකාශනයක් පැතිර ගිය බැව් පැහැදිලි ය. කායික තෘප්තියේ අවසන් ප්‍රතිඵලයක් ලෙස විවාහයේ දී දරුවන් බිහි කිරීම ඇති වූ බැව් පැහැදිලි කරුණකි.

විවාහය පිළිබඳව ගැඹුරින් නිරීක්ෂණය කිරීමේ දී, එකම පවුලකට අයත් සහෝදර සහෝදරියන් අතර කිසියම් ශාරීරික සම්බන්ධතාවයක් ඇති නොවූ බැව් ද සත්ව සන්තතිය ගැන විපරම් කර බලන විට දී පැහැදිලි වී ඇත්තේ ය.

එයට මූල හේතුවක් වූයේ ඔවුන්ට ජානමය උරුමයන්ගෙන් ප්‍රදානය වන කිසියම් ද්‍රවයක් නිසා ය. ගල් යුගයේ දී පවා තම එකකුස උපන් අය සමඟ සහවාසයකට මනසින් ඉඩකඩක් විවෘත වී ඇති බවට සාධක තිබේ.

පසුකාලීනව ඉඩිපස් සංකීර්ණය තුළින් ද හෙළිවන්නේ කිසියම් මානසික ආතතියට සම්මිශ්‍රණය වූ සියුම් පළිගැනීමක් බැව් පෙනේ. මිනිස් සිත් තුළ කාමරාගය පහළවීම සොබාවිකයි. එයට මනාව පැහැදිලි වන්නේ අපේ ජාතක කතා සංග්‍රහයේ දැක්වෙන අසාන මන්ත්‍ර ජාතකය වේ. තවද මහා කපි ජාතකය දේශනා කිරීමට හෝ ප්‍රදර්ශනය කිරීම වස් චිත්‍ර නිර්මාණය කිරීමට කිසිසේත්ම කළ නොහැකි මාතෘකාවකි.

දඩයම් යුගයෙන් පසුකාලීනව මිනිසාගේ ශිෂ්ටාචාරයේ පෙර ගමන් මගෙහි වැදගත්ම සන්ධිස්ථානය බවට පත්වූයේ විවෘත වූ විවාහයයි. අද අපි කතා බහ කරන්නට අදහස් කරනුයේ වත්මන් යුග දිවිය ගැනයි. මහා භාරතයේ බමුණු මතවාද තුළින් අප රටට උරුම කරන ලද එක්තරා විවාහ ක්‍රමයක් අදවන තෙක්ම අපි අනුගමනය කිරීමට පෙළඹී සිටිමු.

ලොව වැඩි පිරිසක් මේ වන විට ඡ්‍යොතිෂ්ශාස්ත්‍රයට ගරු කරති. ඒ හරහා සිය දෛනික ජීවිතයේ හුදෙක්ම තම වැඩකටයුතුවලට ඡ්‍යොතිෂය උපකාරක කරනු ලැබේ.

විශේෂයෙන්ම ශ්‍රී ලාංකීය බෞද්ධ ජනතාවගෙන් වැඩි පිරිසක් සියලු සුබ කටයුතු උදෙසා නැකත් ඇසුරකට යොමු වී තිබෙන බැව් ඇත්තකි. උපතේ සිට මියයනතෙක්ම තමාගේ සියලු කටයුතුවලට නැකත් අනුගමනය කරනු ලැබේ. විශේෂයෙන්ම දරුවෙකුගේ උපතේ දී එකී වේලාවට කේන්ද්‍රයක් සහ ඉන්ඉක්බිතිව ඉඳුල්කට ගෑම, හිසකෙස් කැපීම, කන් විදීම මෙන්ම අත්පොත් තැබීම හෙවත් අකුරු කියැවීම ගැහැනු දරුවෙකුගේ මල්වර නැකත් අනුගමනය කිරීම කරනු ලැබේ.

තාරුණ්‍යයට පත් වෙත්ම කරකාර බැඳීම හෙවත් ආවාහ විවාහ කටයුතු කිරීම සඳහා දෙදෙනාගේම ජන්ම පත්‍ර පිරික්සා බැලීමත් පොරොන්දම් පරීක්ෂාවත් කරනු ලැබේ. අපේ පැරණි ගැමියන් නැකත් ඇදුරාවෙත ගොස් විවාහයට පොරොන්දම් බලා දෙදෙනාගේම කායික මානසික තත්ත්වය හොඳ නම් ගැළපේ නම් යුගදිවියකට මං පෙත් සලසා ගනු ලැබේ.

ක්‍රම ක්‍රමයෙන් සමාජ පරිවර්තනයන් සමගම ප්‍රේමයට මුල් තැන දී පෙම්’ සබඳතා මත විවාහ වීම ද ක්‍රම ක්‍රමයෙන් වර්ධනය විය. භාරතය හා ඒ ආශි‍්‍රත පෙරදිග රටවල විවාහ ක්‍රම අටක් පැතිර ගියේ ය. බ්‍රහ්ම විවාහය, දේව විවාහය, අසුර විවාහය, ප්‍රජාපතී විවාහය, ගාන්ධර්ව විවාහය, ස්වයංවර විවාහය, රාක්ෂ විවාහය සහ ප්‍රේත විවාහය වේ. මේ කුමන විවාහයක් වුවත් විවාහ දිවියට ඇතුල්වීමේ මූලිකම අපේක්ෂාව ලිංගික සබඳතාවය ගොඩනඟා ගැනීමයි.

කවුරු කෙසේ කුමක්, පැවසුවත් විවාහයේ මූලිකම මනෝ විද්‍යාත්මක සංසිද්ධිය කායික එක්වීමයි. කුමන අයුරකින් හෝ විවාහ වූවත් තමාට සුදුසු ගැළපෙන තරුණියක් හා තරුණයෙකුගේ එක්වීම තමාගේ සිතුම් පැතුම්වලට ගැළපීමක් තිබීම අනිවාර්ය වේ.

දෙදෙනෙකුගේ අදහස් විවිධයි. නමුත් එක් වහලක් යට සාමයෙන් සතුටෙන් ආදරයෙන් සමගියෙන් ලෙන්ගතුව ජීවත්වීම විවාහයේ අන්තර්ගතයේ අරමුණයි. අපේ රටේ විවාහ වීමට පොරොන්දම් පරීක්ෂා කර බලන අතර ඇතැම් අපරදිග රටවල ඔවුන්ගේ රුධිරය පිරික්සා බලන ක්‍රමවේදයක් ද ඇත්තේ ය. එය ලිංගිකමය වින්දනයට පමණක් නොව උපදින දරුවන්ගේ ශරීර සෞඛ්‍යයටම සෘජුවම බලපාන අයුරු විද්‍යාත්මකව සොයා ගැනීමේ පිළිවෙත අනුගමනය කිරීමෙන් ය.

මේ ගැන සොයා බැලීමේ දී පොරොන්දම් ගැළපීම් මෙන්ම දෙදෙනාගේම ග්‍රහ ගැළපීම්වලට මුල්තැන දීම අනිවාර්ය වන්නේ ය. මේ ගැන අපි විශාල ලෙස කතිකාවන්හි යෙදී ඇත්තෙමු. හුදෙක්ම බමුණු මතිමතාන්තර මෙකී පොරොන්දම් බැලීමට යාකර තිබේ. ඒ ගැන පසුව කතා බහ කරමු. මේ වන විට ඡ්‍යොතිෂ විද්‍යාව අන් කවර දෙයකටත් වඩා ශ්‍රී ලාංකීය බෞද්ධ පිරිස් අතර කිඳා බැස ඇති බැව් පැහැදිලි කරුණකි. නවීන පරිගණක මෙවලමේ ආධාරකයෙන් විවාහ ගැළපීම් නිරීක්ෂණය කරන බැවි පැහැදිලි ය. නමුත් මෙයින් සියයට සියයක්ම සත්‍ය කරුණු අනාවරණය කිරීමට හැකිවේද යන්න එක්තරා ගැටලුවකි.

විවාහ දෝෂ 20 ක් පමණ තිබෙන අතර දෙදෙනෙකුගේ කායික හා මානසික හැසිරීම් රටාව තුලනය වන ආකාරය විමසුම් ඇසින් නිරීක්ෂණය කළ යුතු යි. පොරොන්දම් ලකුණුවලට පමණක් සීමාවීම හුදෙක්ම එතරම් සාධාරණ නොවේ. දෙදෙනාගේම කායික හා මානසික හැසිරීම කුමන අයුරකින් දෝලනය වේදැයි ගැඹුරින් පිරික්සා බැලිය යුතු වේ.

මේ වන විට විවාහය හැකි ඉක්මනින්ම කඩාබිඳ වැටී යන තැනට පත්වී දික්කසාදයෙන් කෙළවර වේ. අසාර්ථක වන විවාහයකට එක පැත්තකින් වගකිව යුත්තෝ හුදෙක්ම ඡ්‍යොතිෂවේදීන් පමණක්ම නොව විවාහ වන දෙදෙනාත් වැඩිහිටියන්ද වේ.

කේන්ද්‍ර සිය ගණනක් මංගල යෝජනාවන්ට ලැබුණ විට දී ඡ්‍යොතිෂවේදියෙකුට මේවා පිරික්සා බැලීමට මිනිත්තු කීපයකින් හැකිවේද? නොහැකිය. කෙසේ හෝ තම දරුවාට සහකාරියක් හෝ සහකරුවෙකු හෝ තෝරා ගැනීම දෙමව්පියන්ගේ අරමුණයි. කඩිමුඩියේ තීරණ ගෙන කෙටි කලකින් විවාහයට තිත තබන තැනට පත්වන බව නම් පැහැදිලි ය.

විවාහය ගැන තොරතුරු රාශියක්ම එළි දැක්විය හැකි වුවත් අපි මේ පිළිබඳව විවාහාපේක්ෂිතයින් මව්පියන්ට ඉතාම කාරුණික දක්වන්නේ විවාහයකට දෙදෙනාගේම කේන්ද්‍ර පරීක්ෂා බලන විට දී අත්දැකීම් ඇති ඡ්‍යොතිෂ කරුණු කාරණා ගැන ගැඹුරින් පිරික්සා බලා හදිසි තීරණ නොගෙන විවාහ වන ලෙසයි. ඒ පිළිබඳව ඔබේ ඉක්මන් තීරණයට ඉඩ නොදෙන්න. තුන් කල්ම දක්නා සෘෂිවරුන් ලොවට හඳුන්වා දී ඇති මේ උත්තරීතර මහා සයුරක් බඳු ඡ්‍යොතිෂ විද්‍යාවේ හර පද්ධතිය මැනවින් තෙවැනි ඇසින් බලා අවසන් සාර්ථකම තීරණය ගැනීමට ඔබත් ඡ්‍යොතිෂ විද්‍යාව පිහිට කර ගන්න.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
15 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.