සිරිපා වන්දනා සමයේ නිතර කියැවෙන සෝවාන් ඵල ලත් සුමන සමන් දෙව් රජ

ජනවාරි 29, 2021

ශ්‍රි ලාංකික වනිතා පරපුරට විමුක්තිය උදාකරලමින්, සුවිසල් මෙහෙයක් සිදු කළ ශ්‍රී සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේගේ ශ්‍රී ලංකා ආගමනය සිහිපත් කරවන උඳුවප් පුණු පොහොය සමනොළ සම්බුදු සිරිපා වන්දනා සමයේ ආරම්භය ද ගෙන දෙන සකල ලෝකවාසීන්ට අතිශය වැදගත් වන්නේය.

උඳුවප් පුණු පොහෝදින සිට වෙසක් පුණුූ පොහොය දක්වා කාලසීමාව ශ්‍රී පාද වන්දනා සමයයි. මෙම වකවානුවේ නිරතුරු කියැවෙන සමන් දෙවියන් පිළිබඳ කෙටි තොරතුරු ගෙනදීමකට අපි මෙහිදී උත්සුක වෙමු.

තිලෝගුරු බුදුපියාණන් වහන්සේ ඌව පළාතේ මහ වන මැද මහවැලි ගම තෙර මහානාල වනෝද්‍යානයෙහි මහ සටන්හි සැරසුණු යක්ෂයින් පලවා හැර රැස්වූ සමන්දෙවි ඇතුළු ලක්දිව බූමාටු දෙවි පිරිසට දහම් දෙසූහ.

“සොතාපත්ති වලං පත්වා

සෙලෙ සුමන කූටකෙ

මහා සුමන දේවින්දෝ

පූජායට යාචි පූජියං”

(මහාවංශ -1 පරිච්ඡේද 33)

යි සමන් දෙවියෝ සෝවාන් වූ හයි දැක්වේ.

සමන්දෙවි රද වැඳ පුදා ගැනීමට බුදුහිමිගෙන් වස්තුවක් ඉල්ලූ අතර, බුදු හිමි හිස පිරිමැද කේශධාතු මිටක් දෙවාලූහ. සමන් සුරිඳු ඒ කේශධාතු රන් කරඬුවක බහා බුදු හිමි පහසලත් මුල් ස්ථානය වූ මහියංගණය බිමෙහි සත් රියන් උසැති නීල මාණික්‍යමය දාගැබක් නිදන් කොට වන්දනා මාන කළහ. ඒ අද කාගේත් වන්දනාමානයට පාත්‍ර සුප්‍රසිද්ධ මහියංගණ චෛත්‍යයයි.

සුමන දෙව්රද සමනළ පර්වතයට අධිගෘහිත ය. ප්‍රාදේශීය දෙවියෙකු ලෙස ජන ප්‍රසාදයට ගෞරවයට වන්දනාමානයට ලක්වුහ. සමන් දෙවි ඇරයුම පරිදි බුදුහිමි සමනොළ පර්වත මස්තකයෙහි සිරිපා පිහිටුවූහ. එම නිසා සමනොළ කන්ද වඩ වඩාත් වැදගත් වන්නට විය. සසුන රැකීම භාරගත් දෙවින් ලෙස වන්දනාමාන ගෞරවයට පුද පූජාවනට පාත්‍ර දෙවියෝ වූහ.

ඇතැමෙකුගේ අදහස බුදු හිමි ලක්දිව වඩිද්දී පැමිණ මෙහි නතරවූ සැදැහැතියෙකු ලෙසට මහායානිකයින්ගේ අදහස සුමන දෙවි යනු සමන්තභද්‍ර බෝසතුන් බවය. සුමන දෙවි රජුට සමන්ත භද්‍ර බෝසතුන්හට මෙන් ඇත් වාහනයක් ද සමාන මුද්‍රාවක් ද ඇත.

රාම කුමාරයා ලංකාව ආක්‍රමණය කොට සියරට යද්දී සොහොයුරු ලක්ෂ්මනට සබරගමුව පැවරූ බවත් ලක්ෂ්මනගේ අභාවයෙන් පසු හේ මහානුභාව සම්පන්න දේවතාවකුව ඉපිද සමන්තකූට පර්වතයට අධිගෘහිතව සුමන දෙව් නම් වූ බවක් කියැවෙයි. හින්දු දේව බලය වූ ලාංකික දෙවිවරුන්ට ආරෝපණය කරන්නට ගත් උත්සාහයක් ලෙස සලකමු.

සමන් දෙවියන් හෙවත් සුමන දෙවියෝ කවරහු දැයි විවිධ මත ඇතත් මෙරට මහත් බලසම්පන්න පුද්ගලයෙකු බවත් බුදුරදුන් සරණ ගිය ආර්ය ශ්‍රාවකයකු බවත්, පරලෝක ප්‍රාප්තියෙන් පසු දේවත්වයෙන් සැලකූ බවත් කිව හැකිය. බුදුසිරිපා පහසින් අතිපාරිශුද්ධත්වයට පත් සමනොළ පර්වතයට අධිගෘහිත සමන් දෙවිදු සියලු බෞද්ධයින්ගේ මහත් ගෞරවයට ලක්වූවෙකි.

බුදුසසුනේ ධ්‍රැතරාෂ්ට්‍ර, විරූඪ , විරූපාක්ෂ, වෛශ්‍රවණ යන සතර වරම් දෙවිවරු වෙති. විෂ්ණු , කතරගම, සමන්, විභීෂණ යනුවෙන් මෙරට වාසින් අතර සතරවරම් දෙවිවරු කියැවෙයි. සබරගමුවාසිහු මෙම දෙවිවරුන් සිව්වරම් දෙවිවරුන් ලෙස සලකන අතර, මින් වඩාත් වැදගත් තැන් සමන් දෙවිඳුන්ට දෙති. වදන් කවපොතේ සතරවරම් දෙවිවරු හා සමන් දෙවිඳු ගැන මෙසේ එයි.

‘සිද්ධ කිහිරැලි සමන් බොක්සල් විභීෂණ සිව්වරම් රජ නිති”

සමන් දෙව් උයන

සිරිපා කන්ද අසල සමන් දෙව් උයන ඇති බවත් සිරිපා වන්දනාවේ ගොස් පාරතොට මඟහැරුණු වූත් සමන්දෙවි පිහිටෙන් මෙම ස්ථානය වෙත ළඟාවන බවත්, ඒ මත ඔවුන්ගේ සොයා ගැනීම සිදුවන බවත් අදහසය.

වාහනය

සමන් දෙවිඳුන්ගේ වාහනය සුදු ඇතෙකි. සමනළ ප්‍රදේශයේ සැරිසරන සුදු ඇතෙක් ගැන ද ජනතාව තුළ විශ්වාසය පවතී.

“සුද්ද ලෙසින් නිතිගත බබළන්නේ

සුද්ද ඇතා පිටවද වැඩ ඉන්නේ

බුද්ධ ශාසනේ දියුණූ කරන් නේ

සුද්ද සමන් දෙවියෝය වඩින් නේ

 

දේවාලය

සමන් දෙවියන් වෙනුවෙන් ප්‍රධාන මහා දේවාලය රත්නපුරයේ පිහිටි මහ සමන් දේවාලයයි.

කන්ද උඩින් බසින කලට පෙනේය උළු මාලිගාව

රෑ දාවල් අඳුර නැතිව රන් කොත් බබළන සුබාව

දුම්බරකින් සෙනඟ ඇවිත් රුවට කෙරුව මාලිගාව

ලංකාවට තිලකයක්ය සබරගමුව මාලිගාව

 

සබරගමු මහ සමන් දේවාලය බොහෝදෙනාගේ වර්ණනාවට පාත්‍ර විය.

බිම්බරකට සෙනග ඇවිත් සෑදෙව් උළු මාලිගාව

මුළු රටටම පාරට්ටුයි සබරගමුව මාලිගාව

සබරගමු මහ සමන් දේවාලය බොහෝ අනුහස් ඇති ස්ථානයක් ලෙස පිළිගැනේ. ඒ ස්ථානයෙන් යන එන කවුරුත් පුද පඬුරු පුදා සමන් දෙවියන් වැඳ යාම සිරිතය.

දවසින් දවසට ලියලා ගෙන එන ගලක් තිබුණි

කිව් මැදමා ලේ

එම ගල සතියක් තව ලියලනවද උතුම්

සබරගමු දේවාලේ”

හාස්කම් ගැන කියයි.

ආර්ය කාමදේව නම් අමාත්‍යවරයෙක් මැණික් ගැරීමට යාමට සමන් දෙවිඳුගෙන් පිහිට ඉල්ලමින් භාරහාර වූ බවත්, ඔහුට කැකිරි ගෙඩියක තරම් විශාල වටිනා මැණිකක් හමුවූ බවත් ඒ වෙනුවෙන් භාරය ඔප්පු කිරීමට මහ සමන් දේවාලය ඉදිකළ බවත් පැවසේ.

රත්නපුර මහා සමන් දෙවාලය සමන් සුරිඳු පිළිබඳ ප්‍රධාන දේවාලය වන්නා සේ ශ්‍රී පාදස්ථානය, මහියංගණ සහ දිවයිනේ බොහෝ තන්හි සමන් දේවාල දක්නට ඇත. දේවාල පවතිනා සෑම තැනකම සමන් දෙවියන් වෙනුවෙන් දේවාලයක් දක්නට ලැබෙන අතර, බෞද්ධ දෙවියෙකු වූ සමන් දෙවි සබරගමු පළාතට , ශ්‍රී පාදයට පමණක් නොව සමස්ත දිවයිනට සෙත සලසමින් වැඩ වෙසෙත්.

දේවාල පෙරහර

සමන් දෙවියන් පිළිබඳ වාර්ෂිකව මහා පෙරහරක් රත්නපුර මහ සමන් දේවාලය ප්‍රමුඛ කරගෙන සිදු කෙරේ. මෙම පෙරහර කාලයට නොයෙක් ප්‍රදේශවලින් ජනතාව රත්නපුරයට ඇදී එති. මිනිරන් පතල් කවිකරුවන් පෙරහර බැලීමට ඒම නිසා මිනිරන් පතල් අතර මඩු පාළු වෙයි.

සබරගමුව එළියයි පෙරහර දාට

කබරගොසින් එනවා වැහි පොද දාට

සබරගමුව පාළුයි අපි නැති දාට

දබරේ ගල් වෙයන් හෙට එන පෝලි මට

සබරගමුව මහා සමන් දේවාල මහා පෙරහර පිළිබඳව පොදු ජනතාව ව්‍යවහාර වන්නා වූ පද බොහෝ වෙති.

බෞද්ධ අබෞද්ධ සකල විධ ජනයා සිරිපා වන්දනාවේ යති.

සුමන සමන් දෙව් රජුගේ විමානෙ ට

වැස්ස අපේ මුනි සත ගලවන්න ට

තැබුව සිරිපා ඒ පරුවත පිට

අපි සැම වදිනෙමු ඒ සිරිපා දෙට

යනුවෙන් ජන කවියා අප වඳින සිරිපා ගැන කියයි.

ආරක්ෂාව

ශ්‍රී පාද වන්දනාවේ යන සියල්ලෝම සමන් සුරිඳුගේ පිහිට ආරක්ෂාව පතති. ශ්‍රී පාද සමයේ මුළු වා තලයම පිහිට ආරක්ෂාව පතති. ශ්‍රී පාද සමයේ මුළු වාතලයම කරුණාවයි කරුණාවයි සමන් දෙවිඳු කරුණාවයි යන හඬින් පැතිරේ.

ඉහළ නඟින මේ කෝඩුට

සුමන සමන් දෙවි පිහිටයි

කිරිකෝඩුව වන්ද වන්න

සමන් දෙවිඳු පිහිටවන්න

පළමුවරට සිරිපා වැඳුමට යන්නෝ කෝඩුකාරයන්ය. ඔවුන් රැක දෙන ලෙස ඉල්ලීම සිරිතය.

දම්වැලෙ එල්ලී දඹේ නඟින්නේ

සමන් දෙවිඳුනේ අප රැකදෙන්නේ

ඉහළ නඟින පහළ බසින වන්දනා කරුවෝ එකිනෙකාට සමන් දෙවි පිහිට පතති.

“වඳින්ට යන මේ නඩේට

සුමන සමන් දෙවි පිහිටයි“

වැදල බහින මේ නඩේට

සුමන සමන් දෙවි පිහිටයි

තමන්ට පිහිටවන සමන් දෙවිඳුන්ට ශ්‍රී පාද වන්දනාකරුවෝ පුණ්‍යානුමෝදනා කරත්.

ඉඳිකටු නූලත් සුරතට ගන් නේ

ගෙත්තම් කර දෙවිඳුට පින් දෙන්නේ

පුද පූජා කොට පින් ලැබ ගන්නේ

සුමන සමන් දෙවි මේ පින් ගන්නේ

සාධු සාධු මතු නිවන් දකිනවා

සාධු දිදී දෙවිඳුට පින් දෙනවා

බුදුපියාණන් වහන්සේගේ වාම ශ්‍රී පාද ලාංඡනය මහත් සැදැහැයෙන් බැතියෙන් දැක සිත් පිනා නළල බිම ඔබා දොහොත් මුදුන් තබා සාධු නාද පවත්වමින් මහත් කුසල් සම්භාරයක් අත්පත් කර ගැනීමට මහෝපකාරි වූ ශ්‍රී සුමන සමන් දෙව් රජුට කවුරුත් ණය ගැතියහ. මහත් බැතියෙන්

අපිදු සමන් සුරිඳුන්ට පින් අනුමෝදනා කරමු.

 

ආචාර්ය

සිරිපාල මාදුවගේ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.