ආහාර සංස්කරණ විධි

පෙබරවාරි 5, 2021

ආයුර්වේද දර්ශනය අනුව ආපෝ ,තෝජෝ, වායෝ, පඨවි, ආකාශ යන පංචභූතවලින් හා පැණී රස ඇඹුල් රස, ලුණු රස, කටුක රස. තිත්ත රස, කෂාය රස යන රස හයෙන් යුතු ශරීර වර්ධනයද පුද්ගලයකුගේ පූර්ණ සෞඛ්‍ය (නිරෝගීකම) සඳහාද උපකාරි වන ශාක හෝ සත්ත්ව ද්‍රව්‍යවලින් නිර්මාණය වූ දෙය ආහාරය ලෙස සැලකිය යුතුය.

 

ආහාරයක් යනු කුමක්ද?

ආයුර්වේද දර්ශනය අනුව ආපෝ ,තෝජෝ, වායෝ, පඨවි, ආකාශ යන පංචභූතවලින් හා පැණී රස ඇඹුල් රස, ලුණු රස, කටුක රස. තිත්ත රස, කෂාය රස යන රස හයෙන් යුතු ශරීර වර්ධනයද පුද්ගලයකුගේ පූර්ණ සෞඛ්‍ය (නිරෝගීකම) සඳහාද උපකාරි වන ශාක හෝ සත්ව ද්‍රව්‍යවලින් නිර්මාණය වූ දෙය ආහාරය ලෙස සැලකිය යුතුය.

 

නිසි ආහාර සංස්කරණයෙන් ලැබෙන පංච කල්‍යාණ සම්පත්ති මොනවාද?

දන්ත කල්‍යාණය (නිරෝගී දත්)

කේශ කල්‍යාණය ( නිරෝගි කෙස්)

මාංශ කල්‍යාණය (නීරෝගී මාංශ පේශී)

ඡවි කල්‍යාණය ( නීරෝගී සම)

වයං කල්‍යාණය (වයසට අනුව පෙනුම)

 

ආහාර සංස්කරණය යනු

ආහාර සංස්කරණ ක්‍රමවේදයනට ආහාරයක් ලෙස උයන පිහන ක්‍රමය පමණක් ඇතුළත් නොවේ. පෝෂ්‍යදායි ආහාරයක් නියමිත පරිදි සකසා ගෙන එය තමාට හා අන් අයට හිත ලෙස අනුභවය මෙන්ම ආහාර කල්තබා ගැනීම, ගබඩා කිරීම යන කාරණා සියල්ල මෙයට ඇතුළත් වෙයි. එයට ආහාරය සකසන මුළුතැන්ගෙය ආහාරය තබන මේසය හා මේසය මත ආහාර තැන්පත් කිරීම. අනුභව කරන පිළිවෙළ වත් පිළිවෙත් යනාදී කාරණා සියල්ලම ඇතුළත්ය.

ආහාර සංස්කරණය හි අරමුණු

ආහාර සංස්කරණයකින් ප්‍රධාන ලෙසම බලාපොරොත්තු වනුයේ පුද්ගල ශරීරය තුළ ඇති වාතය, පිත හා සෙම යන ප්‍රධාන සාධක තුන සමතුලිතව පවත්වාගෙන යාමත් ඒමගින් නීරෝගී ජීවිතයක් ගොඩ නගා ගැනීමත් නිරෝගී අනාගත පරපුරක් (නව ජනිතයන්) බිහිකිරීමත් මෙලොව වශයෙන් පංචකාම සම්පත්තිද පරලොව වශයෙන් මෝක්ෂය (නිර්වාණය)ලබා ගැනීමය.මේ සඳහා ආහාරයක් සංස්කරණයේදී ෂඩ් රසය නියම ලෙස ලබා ගැනීමට උත්සාහ කළ යුතුය.

ආහාර සංස්කරණ ක්‍රම

1.ජලය එක්කිරීම

පොල්වලට ජලය එකතු කර කිරි මිරිකා ගැනීම. ජලය දොඩම් යුෂට එක්කර බීමක් සකසා ගැනීම හීල්බතට ජලය සහ අනෙකුත් ද්‍රව්‍ය එක්කර දිය බත් සැකසීම ය.

2. සේදීම

සේදීම මගින්ද ආහාර සකස් කළ හැකිය. හල් පිට්ටු සැකසීමේදි එහි ඇති මත්වන ගතිය අඩු කිරීමට හා තිත්ත රස දුරු කිරීම සඳහා වක්කඩේ බැඳීම, එළඟිතෙල්වල ගුණ වැඩිකිරීම සඳහා උණුසුම් ජලයෙන් හැකි වාර ගණනක් සේදීම

3.ගින්න යෙදීම

ආහාර ද්‍රව්‍ය මතය කෙළින්ම ගින්න යෙදීම මගින් හෝ රත්වූ ද්‍රව එක්කිරීම මගින් තම්බා ගැනීම මෙයට අයත්ය.

සහල් ගින්දර මගින් තම්බා බත් සැකසීම තේ කොළ මතට උණු ජලය දමා තේ වතුර සැකසීම පිටි මිශ්‍රණයක් උදුනක තබා කේක් සැකසීම ආදිය මෙම ක්‍රමයට අයත්ය.

කැලතීම

මෙහිදී ද්‍රව්‍ය එකක් හෝ කිහිපයක් ගෙන එකට කලතා ගැනීම දැක්විය හැක.

උදා :–කිරිවලට ජලය එක්කර කලතා මෝරු සැකසීම

සිසිල් කිරීම

මෙය අපට බොහෝ හුරු පුරුදු ක්‍රමයකි. දැනට මෙම ක්‍රමය ආහාර කල්තබා ගැනීමට මෙන්ම ඉතා ප්‍රනීත ලෙස රස විදීමටද උපයෝගි කර ගනී.

උණුසුම් කිරීම

ආහාර මඳ වශයෙන් උණුසුම් කර භාවිතයට ගැනීම මෙයට අයත් වේ.

සංයෝග කිරීම

මෙහිදී ද්‍රව්‍ය එකක් හෝ කිහිපයක් එකට එකතු කර හා ඉහත දක්වන ලද ක්‍රම වේද යොදාගෙන ගුණ ඇතිවන ලෙස හා සිතට පි‍්‍රය උපදවන ලෙස ආහාරයක් සකසා ගැනීමය.

සහල්වලට ජලය එක්කර ගින්න යොදා තම්බාගෙන එයට ගා මිරිකා ගන්නා ලද පොල්කිරි එකතුකර කිරිබත් සකස්කර ගැනීම දැක්විය හැකිය.

කැඳ වර්ග සැකසීම

බැදි හාල් කැඳ

අජීර්ණ අතීසාර ආදි රෝගවලින් පෙළෙන අයට යෝග්‍යය .

කැකුළු සහල් මිටක්

ජලය අඬුකෝප්ප හතරයි

ලුණු ස්වල්පයක්

සහල් පළමුව කබලේ බැද බත් ඇට හොඳින් තැම්බෙන තෙක් හැදිගාමින් කැඳ සැකසිය යුතුය.

කොළ කැඳ

සෙංගමාල සහ අක්මා රෝගීනට යෝග්‍යය

කැකුළු සහල් මිටක්

හීන් බෝවිටියා කොළ මිටක්

සිහින්ව ගාගත් පොල් මිටක්

ජලය අඬු කෝප්ප හතරයි.

 

බත් ඇට හොඳින් තැම්බෙන තෙක් හැඳිගාමින් කැඳ සකසා බෑමට ආසන්නයේදී කොළ යුෂ එක්කර කිතුල් හකුරු සමඟ බීමට දෙන්න.

මුං ඇට කිරිබත

මන්ද පෝෂණයෙන් පෙළෙන දරුවන්ට හා බිලිඳුන්ට ඉඳුල් කටගෑමේදී සුදුසුය.

මුං ඇට ග්‍රෑම් 250

රතු කැකුළු හාල් ග්‍රෑම් 250

පොල් ගෙඩි එකක කිරි හෝ එළකිරි බෝතල් එකක්

ලුණු ස්වල්පයක්

මුං ඇට රැසක් පෙඟෙන්න තබා සහල් සමඟ එළකිරෙන් හෝ පොල් කිරෙන් නිසි පදමට බත උයා ගෙන කිතුල් හකුරු සමඟ ආහාරයට ගන්න.

සූතිකාවනට දෙන තැම්බුම් හොද්ද

ගම්මිරිස් මේස හැඳි 1

කොත්තමල්ලි මේස හැඳි 1

උළුහාල් තේ හැඳි 1

කරපිංචා ඉති 1

කුරුඳු පොතු කැබලි 1

සුදුළූනු බික් 5

ගොරකා කැබලි 4

සූදුරු මේස හැඳි 1

වසාවාසි ස්වල්පයක්

කරාබු නැටි 10

ගම්මිරිස් සූදුරු කොත්තමල්ලි තුන් වර්ගය අඹරා මැටි භාජනයකට වතුර අඬු කෝප්ප පහක් දමා දියකරන්න. උළුහාල් සහ අනෙකුත් ද්‍රව්‍යය ද ලුණු ස්වල්පයක්ද දමා ලිප තබා හැඳිගාමින් අඬු කෝප්ප තුන දක්වා සිද මඳ උණුසුමින් බීමට දෙන්න. මෙය දිනපතා නැවුම්ව සැකසිය යුතුය.

තැම්බුම් හොද්ද

(උණෙන් පෙළෙන අයට)

සූදුරු මේස හැඳි 1

සුදුලූනු බික් 5

ගම්මිරිස් ඇට 20

උළුහාල් තේ හැදි 1

කරපිංචා ඉති 1

උම්බලකඩ කෑලි 1

කොත්තමල්ලි මේස හැඳි 1

රතුලූණු ගෙඩි 10

ගොරකා කැබලි 2

වසාවාසි ස්වල්පයක්

කුරුඳු පොතු කැබලි 1

සියඹලා බොර ස්වල්පයක්

අලුත් මැටි භාජනයක් ගෙන සියල්ල දමා හොඳින් පොඩිකර වතුර කෝප්ප පහක් දමා කොප්ප එක හමාරකට සිදුවා ලූණු ඇඹුල් පදම බලා බීමට දෙන්න. බඩ විරේක වී දුර්වලව ඇතිනම් සියඹලා බොර නොදැමිය යුතුය. ඒ වෙනුවට ගොරකා යොදන්න. අවශ්‍ය නම් දෙහි එක්කර ඇඹුල් පදම ගත හැකිය.

සංස්කරණය කරන ලද ආහාර ගැනීමේදී

ආහාරය ගැනීමට බඩගින්න නිසි ලෙස ඇති විටම සුදුසු ස්ථානයකට ගොස් පිරිසුදු සිතින් යුතුව කය ඍජුව තබාගෙන පිරිසුදු සිත් ඇති අය සමඟ බෙදා හදාගෙන ආහාර අනුභව කළ යුතුය.

අතපය මුහුණ සෝදාගෙන පිරිසුදු වීම

පළමුව ආගමික ප්‍රජාවට ආහාර කොටසක් වෙන්කිරීම

මවපියන් සඳහා ආහාර වෙන් කිරීම

ආගන්තුක බාල, ගුරුන් යන අයට ආහාර වෙන් කිරිම

මෙහෙකරුවන්ට ගව, සුනඛ, පක්ෂි ආදී සතුන්ට ආහාර දීම

ගන්නා ආහාරය සෑම විටම රස හයෙන් යුක්තවීම හා තමාට සුදුසු වීම

ආහාරය සඳහා නිතර සැහැල්ලු භෝජන ගැනීම

සරල ආහාර ගැනීමට පුරුදු විය යුතුය.

 

උපදෙස්

වෛද්‍ය

ධම්මික අබේගුණවර්ධන

මධ්‍යම පළාත් ආයුර්වේද

කොමසාරිස් නුවර

වෛද්‍ය

දේවපි‍්‍රය අභයවර්ධන

 

සැකසුම

ජයන්ති කුරේ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.