පුරුෂයාට අපල ගෙන දෙන ස්ත්‍රී කේන්දරේ

පෙබරවාරි 15, 2019

කිසියම් ස්ත්‍රියකගේ හෝ පුරුෂයෙකුගේ ජීවිතයේ වැදගත්ම අවස්ථාව වනුයේ විවාහයයි. එය අපේ පැරණි සම්ප්‍රදායානුකූල විය යුතු බව අපේ විශ්වාසයයි. ලෝකයේ අනෙක් රටවල ඒ සඳහා සලකණු ලබන කරුණු කෙසේ වුවද අපේ රටේ පිළිගැනීම ඡ්‍යොතිෂයයි. ස්ත්‍රී පුරුෂ කේන්ද්‍ර ගැළපීම සිරිතයි. මෙහිදී නොගැලපෙන කේන්ද්‍ර හිමිකාරියක හා විවාහයට ලැබුණොත් එය තම ජීවිතය අහිමි වීමට තරම් අපල ගෙන දෙනු ඇත. මේ අයුරින් ස්ත්‍රී කේන්ද්‍රයකින් පුරුෂයාට අපල ගෙන දෙන අයුරු ඡ්‍යොතිෂයේ දක්වා ඇත.

විවාහය ගැන පරික්ෂා කිරීමේදී වඩාත් විමසිලිවත් වන්නේ එවැනිම ග්‍රහ පිහිටීමක් ඇති කේන්ද්‍රයක් සොයා ගැනීමටයි. පොරොන්දම් පරීක්ෂණයේ විසි පොරොන්දම් සුබ වුවත් භෞම හෙවත් කුජ දෝෂයෙන් යුක්ත නම් එය දෙදෙනාටම අපල ගෙන දෙන බව සඳහන් වෙයි. ස්ත්‍රී කේන්දරයක 1,2,4,7 ,8,12 යන මෙකී භාවයක කුජ සිටියේ නම් එවැනිම ස්ථානයක කුජ සිටින කේන්ද්‍රයක් විවාහය සඳහා සොයාගත යුතුය. එසේ නොවූ විට ස්ත්‍රී කේන්ද්‍රයේ මෙම යෝගය සිටි විට පුරුෂයාගේ මරණය ද පුරුෂයාගේ මෙම යෝගය පිහිටි විට ස්ත්‍රියගේ මරණය ද සිදුවන බව සඳහන් කර ඇත.

භාව කුතුහලය සඳහන් කරන පරිදි යම් ස්ත්‍රියකගේ උපතෙහි රවි, කුජ, ශනි, රාහු යන මෙම ග්‍රහයන් සඳුගෙන් හත්වැන්නේ ලග්නයෙන් හතේ හෝ අටේ සිටි විට ඇගේ ස්වාමි පුුරුෂයා අකාලයේ මිය යන බව දක්වා ඇත.

ලග්නය පාපයෙකුවී සඳු පාපයකුගේ රාශියක පාපයන් සමඟ සිටි විට එහි ලග්න දෙදෙන සුබයන්ගේ දෘෂ්ටියට අසු නොවේ නම් එවැනි අවස්ථාවක උපන් ස්ත්‍රිය පුුරුෂයන් කීපදෙනෙකු මරණයට පත්කරවන තරම් අවාසනාවන්ත ස්ත්‍රියක් වනු ඇත. අටවන හෝ දොළොස්වන භාවයන් මේෂ හෝ වෘශ්චික වී එයින් එක භාවයක රාහු සමඟ පාපයන් සිටි අවස්ථාවක උපන්නියද පුරුෂයාගේ අභාවයෙන් වැන්දඹුවක් වනු ඇත.

පුරුෂ කේන්ද්‍රයේ දෙක මෙන් ස්ත්‍රී කේන්ද්‍රයේ අටද බලවත් ස්ථානයක් වේ. ආදායම් පෙන්වා දෙන්නේ අටෙනි. දෙවැන්නාධිපති අටේ නම් ස්වාමියාගේ ධනයට ස්ත්‍රිය හිමිකාරිය වනු මිස ඇයගෙන් ස්වාමියාට දායාද නොලැබෙයි. එවැනි තැනැත්තිය විවාහ වන්නේ ද සත්‍ය වශයෙන්ම දායාද එපා යයි කියවූ අයෙකු සමඟය. ස්ත්‍රියකගේ හෝ පුරුෂයෙකුගේ කේන්ද්‍රයක ඉතා බලවත් ස්ථානය නමයයි. මන්දගාමීව යන්නා වූ ග්‍රහයන් නමයේ සිටීමෙන් විවාහය කල්දමන යෝග යෙදේ. ඒවා බලවත් බවත් ඔප්පු වී ඇත. පුණ්‍යස්ථානයේ සිටින ශනිට සිකුරු පෙනේනම් එම සිකුරු සිටින්නේත් රාශියක නම් අන්‍ය යෝග ඉක්මවා විවාහය කල් පසු වේ.

ලග්නාධිපති හා හත්වැන්නාධිපති පාප ග්‍රහයන්ගේ වැඩි වර්ග ගණනක සිටියොත් හෝ ලග්නයේ උදාවන අංශකය හා හතේ එම අංශකයද පාපයන්ගේ වර්ග නම් ස්වකීය ස්වාමි පුරුෂයා නසන්නියක් වේ යයි කියා ඇත. මෙහිදී වැඩිම වර්ග ගණන පාපයන්ගේ විය යුතු වෙයි.

හිඹුටානේ පියතිලක ද අල්විස්

දු.අංකය 2419574,0716212020

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.