අලුත් අවුරුදු චාරිත්‍ර

අප්‍රේල් 12, 2019

අලුත් අවුරුද්ද සඳහා නව සඳ බැලීම

බෞද්ධ සම්ප්‍රදාය අනුව දින ක්‍රමය සකස් වන්නේ චන්ද්‍රයාගේ ගමන අනුවය. චන්ද්‍රයා දින 25 ක ගමන් කාලය තුළ පූර්ණත්වයට පත්වේ. වේද ග්‍රන්ථ අනුව මහා බ්‍රහ්මන් විසින් ඖෂධ පැළෑටි, බීජ හා නැකැත් තාරකාවන්හි අධිපති ලෙස නම් කර ඇත්තේ චන්ද්‍රයාය. චන්ද්‍රයා පරිපූර්ණ බව මෙන්ම සෞම්‍ය බවද සංකේතවත් කරයි. එළඹෙන අවුරුද්ද සඳහා නව ආලෝකයක් සහ ඉදිරි වැඩ කටයුතු සාර්ථකව කර ගැනීමට අධිෂ්ඨානයක් ඇති කර ගැනීම නව සඳ බැලීමේ අරමුණකි. නව සඳ බැලීම හේතුවෙන් ඇතිවන චිත්ත ප්‍රසාදය, වසර පුරා නීරෝගී බව හා දීර්ඝායුෂ ලැබීමට ඉවහල් වන බවද විශ්වාස කෙරේ. මෙවර අභිනව චන්ද්‍රවර්ෂය සඳහා අපේ‍්‍රල් 07 වන ඉරිදා ද, අභිනව සූර්ය වර්ෂය සඳහා මැයි 09 වන බ්‍රහස්පතින්දාද නව සඳ බැලීමට නියම කර ඇත.

පරණ අවුරුද්දේ ස්නානය

නව වසරට සූදානම් වීමේදී නා පිරිසුදුවී සුබ කටයුතුවල යෙදීම අතීතයේ සිට පැවත එන චාරිත්‍රයකි. එළඹෙන වසරෙදී නීරෝගිමත් ජීවිතයක් ගත කිරීමේ අපේක්ෂාවෙන් කරනු ලබන චාරිත්‍රයක් වශයෙන් නැකැත් වේලාවට අනුව ඖෂධීය ගුණ සහිත ශාකවලින් පිළියෙල කරගත් ශාකසාර හිසෙහි තවරා දිය නෑම කරනු ලැබේ. මෙම වර්ෂයේ අපේ‍්‍රල් 13 වන සෙනසුරාදා නුගපත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කිරීමට නියම කොට ඇත.

වැඩ ඇල්ලීම හා ගනුදෙනු කිරීම ආහාර අනුභවය

මෙය තමා නියැළෙන ජීවන වෘත්තියට අදාළ වැඩ ඇරඹීම සුබ මොහොතින් කෙරෙන වටිනා චාරිත්‍රයකි. ගනුදෙනු කිරීම සොබාදහම සමඟ ඇති සම්බන්ධය සිහි ගන්වමින් සිදු කරන්නකි. මෑත අතීතය වන තෙක් ළිඳ සමඟ ගනුදෙනු කිරීම සම්ප්‍රදායිකව පවත්වාගෙන ආ සිරිතකි. ජලය සමඟ ගනුදෙනු කිරීමෙන් එළඹෙන වසර අගහිඟතාවයෙන් තොරව ගත කිරීමට හැකිවේවායි විශ්වාස කරයි. බුලත් කොළයක ඔතන ලද කාසියක් හුවමාරු කර ගැනීමෙන් ගනුදෙනු කිරීම සිදු කරයි. ධාර්මික අයුරින් මුදල් උපයන හා ජීවිකාව ගෙන යන සාමකාමී සිතුම් පැතුම් ඇති පුද්ගලයෙකු සමඟ ගනුදෙනු කිරීමෙන් නව වසරේ තම ජීවිතය වාසනාවන්ත බව මෙම චාරිත්‍රය ආශි‍්‍රත වූ පිළිගැනීමයි. සුබ නැකතට ලිප ගිනි දල්වා පිසින ලද ආහාර අනුභවයද සුබ නැකතට සිදු කෙරේ. මෙම චාරිත්‍රය සිදු කෙරෙන්නේ පවුලේ පියාගේ මූලිකත්වයෙනි. පවුලේ සියලු දෙනාට යස ඉසුරින් පිරි නිදුක් නීරෝගී වසරක් වේවායි ප්‍රාර්ථනා කරමින් පළමුව ගෘහමූලිකයා විසින්ද ඉන්පසුව බිරිඳ සහ පවුලේ අනෙකුත් සාමාජිකයන් විසින්ද පළමු කිරිබත් පිඬ ඉඳුල් කිරීමෙන් අනතුරුව සියලු දෙනාම එක්වී ආහාර අනුභව කරති. අප්‍රේල් මස 14 වැනි ඉරිදා අපරභාග 3.54ට රතු සහ කහ මිශ්‍ර තඹ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා සිදුකෙරේ.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
16 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.