කුජ මිථුනයට

මැයි 10, 2019

* යුරේනස් සමග ග්‍රහ යුදයෙන් බුධ හා සිකුරු පරාජයට

* ගුරු හා ශනි වක්‍ර අසුබ ගමනක

* රටට දැනෙන සිදුවීම් රැසක්

වත්මන් ග්‍රහ ගෝචරය අනුව ග්‍රහ ලොව සෙන්පති හෙවත් පුරුෂ කාරක අඟහරු ග්‍රහයා පසුගිය මස 13 වන දින සිට වෘෂභ රාශිය තුළ ගමන් ගත් අතර, එම කුජ ග්‍රහ තාරකාව එළඹෙන 2019 මැයි මස 07 වන කුජ දින පෙ.ව. 6.53 ට බුධ ට අයත් මිථුන රාශියට පිවිසුණි. එසේම මැයි 08 හා 18 ග්‍රහ යුද්ධයන්ගෙන් බුධ හා සිකුරු පරාජයට පත්වනු ඇත.

මෙම ග්‍රහ තත්ත්වය හේතුවෙන් මැයි 07 ත් ජූනි 22 ත් අතර කාලය තුළ නායයෑම්, භූමි කම්පා, සුළි සුළං තත්ත්ව, හදිසි පිපිරීම් හා ගිනි ගැනීම්, බරපතල රිය අනතුරු, හදිසි අනතුරු තත්ත්වයන්, හේතුවෙන් මිනිස් ජීවිත හානි වීම් මෙන්ම ගුවන් යානා අනතුරු ඇතිවීමේ අවධානමක් පවතී. පොදුවේ ගත් කල මෙම ග්‍රහ ගෝචරය අප රටට මෙන්ම ලෝකයට අපල හා පීඩා කාරී තත්ත්වයන් උදා කර දෙයි. මුළු භූමි තලයටම අපල කාලයකි. ජනතාවට දැඩි පීඩාකාරී තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවන කාලයක් වනු ඇත. මෙම ග්‍රහ තත්ත්වය හේතුවෙන් වෘෂභ, මිථුන, සිංහ, කන්‍යා, වෘශ්චික හා ධනු, යන ලග්නවලට මධ්‍යස්ථ ප්‍රතිඵල උදාවන අතර මේෂ, කටක, තුලා, මකර, කුම්භ හා මීන යන ලග්නවලට තරමක් අසුබ ඵල ද උදා වනු ඇත.

කුම්භ ලග්න කේන්ද්‍රය හිමි අප රට දෙස අවධානය යොමු කිරීමේ දී මෙම කාලය තුළ දහ වැන්නේ ගුරු වක්‍රවත් 11 වැන්නේ ශනි වක්‍රවත් කුජගේ 5 වැන්නේ සතුරු බලපෑමත්, ශනි හා කේතු ගේ හා කුජ හා රාහු ගේ බලපෑමත් හේතුවෙන් ඉදිරි මාස 2 කට ආසන්න කාලය තුළ අප රටට පමණක් නොව මුළු මහත් ලෝකයටම යම් බාධාකාරී කාලයකට මුහුණ දීමට සිදුවනු ඇත. මහජනතාවට යම් යම් අසහනකාරී තත්ත්වයන්ට ලක්වීමට සිදුවන කාලයකි. ස්වභාවික විපත් බහුලවම සිදු වෙයි. රහස්‍ය කටයුතු බහුලව සිදුවන කාලයකි.

ජනතාවගේ මානසික සෞම්‍යයතාව බිඳ වැටීම හේතුවෙන් ජනතාව අතර නොයෙක් වසංගත රෝග, ප්‍රචණ්ඩත්වය හා නොසන්සුන්තා ඇතිවනු ඇත. විශේෂයෙන් පරිපාලන ක්ෂේත්‍රයේ හා රාජ්‍ය පාලන කටයුතුවලට නොයෙකුත් බාධා හා පීඩාකාරී තත්වයන් ඇතිවනු ඇත. රාජ්‍ය පාලන කටයුතුවලදී රජයට මහත් වූ අසීරු තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවන කාලයකි. අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගැටලු හා ප්‍රශ්න බහුල වන කාලයකි. උසස් ප්‍රභූන්ට මෙන්ම කුඩා දරුවන්ට අපල දායකය. විශේෂයෙන් ම අප රටේ ගව සම්පතට අපල දායක වනු ඇත. පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට නොයෙක් ගැටලු හා කරදර ඇතිවනු ඇත.

මෙම අපල තත්ත්වයන්ගෙන් මිදීමට ආගමික ස්ථාන තුළ ආගමික වතාවත්වල යෙදීමත් අකුසල් උපදවන කටයුතුවලින් ඈත්ව කුසල් ජනිත වන කටයුතුවල නිරත වීමත්, ධාර්මික ජීවිත ගත කිරීමත් ඉරිදා, අඟහරුවාදා හා ශනිදා යන දිනවල බෝධි පූජා පවත්වා එම පිං විෂ්ණු, කතරගම, පත්තිනි ශිව (ඊශ්වර) දෙවියන්ට අනුමෝදන් කිරීමත් ඉතාමත් සුබදායක වනු ඇත.

ඡ්‍යොතිෂවේදී, බණ්ඩාරගම - සම්පත් එස් කල්පගේ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.