බලගතු නැකතක මහිමය

නැකැතට මුල් තැන දී රටත්,ජාතියත් බුද්ධාගමත් ලොව පුරා ප්‍රචලිත කළ මහාචාර්ය මලලසේකර පඬිවරයා
ජුනි 19, 2020

මාලමුල්ලේ සියදෝරිස් පීරිස් වෙද ආරච්චි රාළහාමි තමන්ට දෙවැනි දරුවා වශයෙන් උපත ලද, ජෝර්ජ් පීරිස් යනුවෙන් තමන්ගෙන් නම් ලද දරුවාගේ වේලාපත්කඩය සාදා බැලූ අවස්ථාවේ එතුමාට දක්නට ලැබුණේ මෙම දරුවා විශ්මිත ග්‍රහ පිහිටීමක්ද ඇතිව උපත ලබා ඇති බවය. පෙර පින් ඇති බවද එහෙයින්ම රටේද පමණක්ද නොව මුළු ලෝකයේම ප්‍රකට කීර්තියක් ලබන පඬිවරයකුද වන බවද එම ග්‍රහබල පිහිටීම් වලින් එතුමාට වැටහිණ. පෙර පින් ඇතිව උපත ලද මිනිසුන් අතරද මෙම දරුවා අමුතුම ස්ථානයෙහි සිටින බවද එයින් පළවිණ. 

අකුරු කියවන්නට නියමිත වයසේ දිනක නිවසේ කැවුම්, කිරිබත් සමඟ සංග්‍රහයකින් අනතුරුව බක්කි කරත්තයෙන් කුඩා ජෝර්ජ්ද සමඟ පානදුරේ උයන්කැලේ වෙද සාප්පුවට ගිය වෙද රාළහාමි දහවල් බතද කා සවස් යාමයේ පැවති නැකැත් වේලාවේ එහි පිටුපසවූ මුහුදු වෙරළට පුතා එක්කර ගෙන ගොස් වෙරළේ බිම වැලි සමතලා කොට “අද මම පුතාට සිංහල හෝඩිය කියලා දෙනවා” යනුවෙන් පවසා දරුවාගේ දබරැඟිල්ල ගෙන වැල්ලේ අකුරු ලියැවූහ. 

එම නියමිත නැකතට වෙද රාළහාමි වෙතින් කුඩා පුතාට වැල්ලේ “අ” යන්න “ආ” යන්නෙන් පටන්ගෙන මුළු සිංහල හෝඩියම කියවා ලියැවිණ. එය අපූරු නැකතකට කෙරුණු අපූරු සිද්ධියක් විය. මෙවැනි කුඩා දරුවකුට ප්‍රථමයෙන්ම නැකතට අකුරු කියනවන සම්ප්‍රදාය පැවතියේ පන්සලේ නායක හාමුදුරුවෝ වෙතින් සැකසූ “වැලිපිල්ලේ” අකුරු ලියවා, කියැවීමය. මලලසේකර වෙද ආරච්චි රාළහාමි එම ක්‍රමයෙන් තවත් දුර දිගට ගොස් මෙසේ තම දරුවාට කියා ස්වභාවික වැල්ලේම නැකතට අකුරු කියැවූහ. “මේ වැල්ලේ තිබෙන වැලි කැට තරමටම මගේ දරුවාට ඉගෙනුම ලැබෙන්න ඕනෑ” යනුවෙන් එදා එතුමා ප්‍රාර්ථනා කළා වැනිය. 

පෙර පින් ඇති දරුවකු යනුවෙන් දකිනා එක්වරම යම්පුද්ගලයකුට හැඟෙන තරම් වූ ජෝර්ජ් පීරිස් දරුවාගේ ස්මරණ ශක්තිය පිළිබඳව වෙද ආරච්චි පියාට හැඟී ගියේ එදා එවේලේ වැල්ලේ අකුරු කියැවීමෙන් පසුව සවස ආපසු බක්කි කරත්තයෙන් දරුවා සමඟ  නිවෙස බලා යන ගමනේදීමය. මීට පැය කීපයකට පමණ පෙර පියා වෙතින් වැලිපීල්ලේ ලියවා කියැවූ සිංහල හෝඩිය ඒ යන ගමන්ම කුඩා ජෝර්ජ් තාත්තාට කට පාඩමින් කියා තිබීම එතුමන්ගේ විශ්මයට කරුණක්වීමය. පසුවදා උදේ එවැන්නක් සිදු විය. එනම් පසුවදා උදේ පියා සුපුරුදු පරිදි වෙද සාප්පුවට යන්නට සැරසෙන අවස්ථාවේ එතුමාගේ අතින් අල්ලා ගත් වෙදහාමිනේ නිවසට යාබදව තනා තිබුණු වී වේලන සිමෙන්ති බිම් කොටස වෙත තම ස්වාමියාව කැඳවා ගෙන ගියාය. 

මේ බලන්නකෝ පොඩිපුතා කරලා තියෙන දේ” යනුවෙන් එතුමිය සිය ස්වාමියාට ඒ සිමෙන්ති බිම් පෙදෙස පෙන්වා කියා සිටියාය. කුඩා ජෝර්ජ් උදේ පාන්දරම අඟුරු කැටයක් ගෙන මුළු සිංහල හෝඩියම එහි ලියා නිමකර තිබුණි. ඒ දුටු වෙද රාළහාමි දෙවැනි වරටද සිය පුතණුවන්ගේ ස්මරණ ශක්තිය පිළිබඳව පුදුමු වූයේය. 

මුලින්ම තමන්ගෙන්ද දෙවනුව පන්සලේ නායක හිමියන්ගෙන්ද ඉගෙන ගත් කුඩා දරුවා මුලින්ම පාසලකට ඇතුළත් කරවනු පිණිස වයස අවුරුදු හතරහමාරේදී පියාණන් විසින් කැඳවාගෙන ගියේද සුබ නැකතකට සුබ දිනයෙකදීය. 

එවකට පානදුරේ මුළු ලක්දිව පුරාම ප්‍රකටව තිබූ ශාන්ත ජෝන්  විදුහලෙහි විදුහල්පති සිරිල් ජෑන්ස් මහතා වෙතින් මේ දරුවා සම්මුඛ පරීක්ෂණයකට ලක් කෙරිණ. අවසානයේදී වෙද රාළහාමි වෙතට පැමිණ විදුහල්පතිතුමා, 

රාළහාමි, මට මේ දරුවා පහළ බාලාංශයට ඇතුළු කරගන්න බැහැ” යයි කියා සිටියේය. 

ඒ මොකද මහත්මයා? යි වෙද රාළහාමි විමතියෙන් විමසූහ. 

“මම මේ දරුවාව තුන්වැනි කැලෑසියට ඇතුළත් කර ගන්නම්” යැයි විදුහල්පතිතුමාගේ පිළිතුර වෙද රාළහාමිට අස්වැසුමක් ගෙන දුනි. 

පානදුරේ ශාන්ත ජෝන් විදුහලේ තමන් මෙන් වයසින් දෙගුණයක් පමණ වූ දරුවන්ද සමඟ මෙසේ අධ්‍යාපනය ආරම්භ කළ ජෝර්ජ් පීරිස් කෙටි කලකින්ම ඔවුන් අතරද “පළමුවැනියා” වන්නටද සමත් විය. මේ තරම් දස්කම් දක්වමින් කුඩා කල සිටම ඉගෙනීම කළාවූ දරුවාට ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා හමුවීමේ අවස්ථාව ලැබෙන්නේ වයස අවුරුදු නවයේදී පානදුරේදීය. ඒවන විටද වයස අවුරුද නවයක් වැනි ඉතාම ළාබාල වියේදී ලෝකයේ ප්‍රකට භාෂාවන් හතක්ද සාර්ථක ලෙස ප්‍රගුණ කරවමින් හත්වැනි පන්තියේ ඉගෙන ගන්නා මේ ළමයා ගැන අසා සතුටට පත් ධර්මපාල තුමාට මේ “ළමයා මුණ ගැසුණ සැනින්ම “ජෝර්ජ් පීරිස්” යන නම කියැවුණු සැනින්ම එතුමා පවසා සිටියේ මෙතරම් දක්ෂ දරුවකුට ඔය ඉංගී‍්‍රසි පෘතුගීසි නම් ගැළපෙන්නෙ නැහැ, හොඳ ආරිය සිංහල නම් දෙකක් යොදාගන්න” යන ආයාචනයකි. 

වෙන තැනකදී නම් දරුවෙකුට මෙවැනි විදියේ විජාතික නම් තිබෙන බව දුුටු විට වහාම එතුමා විසින් නම වෙනස් කොට තමන් විසින්ම සිංහල නමක් ඒ ළමයාට ආදේශ කිරීම ධර්මපාලතුමාගේ සිරිතයි. නමුත් ඒ පිළිවෙත මෙහිදී එතුමා විසින් නොකළේ දරුවාත්, පියාත් දැන උගතුන් නිසා ඔවුන්ට කියාම නම් තුනක් යොදවා ගැනීමේ අදහසිනි. එය මනා ලෙස සිතට ගත් පිය පුතු දෙදෙනා “ ජෝර්ජ් පීරිස්” වෙනුවට “ගුණපාල පියසේන” නම් දෙක යොදාගෙන ඒ බව දරුවා විසින් ලියන ලද ලිපියක් මඟින් ධර්මපාලතුමාට දන්වන ලදී. 

එයින් සතුටට පත් ධර්මපාලතුමා දරුවාට ආශිර්වාද කර ඔහුට ඉගෙනුමට මුදල් අවශ්‍ය වුවහොත් තමන්ට දන්වා  එවැන්නැයි පිළිතුරු ලිපියකින් කියා සිටියේය. එය මලලසේකර ජීවිතයම ආලෝකමත් කළ ආලෝකධාරාවක් මෙන් විය. 

පුතේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරයටත් අත තබන්නට හැකිවූයේ වූයේ වෛද්‍යවරයකුට පමණයි. ඒ නිසා පුතා ඉහළට ඉගෙන ගෙන දොස්තර කෙනෙක් වෙන්න ඕනෑ” යි කියූ පියා මලලසේකර තරුණයා වෛද්‍ය විද්‍යාලයට යවන්නට කටයුතු කරන්නට යෙදුණි. 

එය එසේවී නමුදු දෙවසරක් එහි ඉගෙනුම ලබද්දී හදිසියේම සිය පියා අභාවප්‍රාප්තවීම වෛද්‍ය විද්‍යාල ගමන නතර කිරීමට සිදුවිය. නමුත් මලලසේකර තරුණවාට බී.ඒ. විභාගයෙන් ඉහළින්ම සමත්වීමේ භාග්‍යය උදාවුණි. විභාගය සමත්ව ගෙදර සිටියදී ආනන්ද විදුහල්පති පී.ද. ඇස් කුලරත්න මහතා එහි පැමිණ මේ විද්වත් තරුණයා ආනන්දයේ ගුරු මණ්ඩලයට බඳවා ගත්තේය. එහිදී සුළු කලකින්ම මලලසේකර තරුණයා දැක්වූ දස්කම්වල ප්‍රතිඵලය වූයේ ඔහු ආනන්දයේ නියෝජ්‍ය විදුහල්පති ධුරයට පත්වීමය. ඉන්පසුවද ඉගැන්වීමේ දක්ෂතාවයද ආනන්දයේ දියුණු වන මලල්සේකර ආචාර්යවරයා දැක්වූ හපන්කම් නිසාම කුලරත්න විදුහල්පතිතුමා සත් මසක නිවාඩුවකට සිය මැතිනියත්, කුඩා පුතාත් සමඟ එංගලන්තයට යනවිටදී කුලරත්න මහතා කළේ පුළුවන්නම් මා ආපසු එනවිටදී අර අත්තිවාරම් දමා තිබෙන ශිෂ්‍ය නිවාසය සඳහා ගොඩනැගිල්ලට රුපියල් හැට පන්දාහක් සොයාගෙන සාදා නිම කර තබන්නැයි කියා සිටියේ සුබ පතන්නට ජැටියට ගිය ගමනේදීය. කුලරත්න මහතා විදේශගතවූයේ ආනන්දයේ වැඩබලන විදුහල්පති ධුරයද මලලසේකර මහතාට පවරා දෙමිනි. 

තමන් ආපසු එනවිට ශිෂ්‍ය නිවාස ගොඩනැගිල්ල සාදා නිම කර තබන්නැයි කුලරත්න මහතා කළ ප්‍රකාශය අභියෝගයක් කොට ඉහළින් පිළිගත් මලලසේකර මහතා එයට සහායට පානදුරේ ආතර් වී දියෙස් මැතිතුමාද සමඟ එම කටයුත්ත ඉටු කරන්නට පියවර තැබුවේ සිය පියාණන්ගේ ඡ්‍යොතිෂ දැනුම උපයෝගී කරගෙන එම කටයුත්ත ආරම්භ කරන්නට සුබ නැකතක් සාදා ගනිමිනි. එම කටයුතු ඔවුන් සිතුවාටද වඩා ඉහළින්ම සාර්ථක විය. ප්‍රබල නැකතක මහිම වැඩ බලන මලලසේකර විදුහල්පතිතුමාට මැනවින් වැටහී ගියේ එවිටය. 

සත් මසකින් යළි සියරට පැමිණි කුලරත්න විදුහල්පතිතුමා මවිතයට පත්වූයේද මලලසේකරයන්ගේ එම කටයුත්ත ගැනය. මේ කටයුත්තේ පශ්චාත් ප්‍රතිඵලය වූයේ ඊළඟ අවුරුද්දේ මලලසේකර මහතාට පඩි සහිතව වසර දෙකක නිවාඩුවක් අනුමත කරවාගෙන ඒ මුදලින් එංගලන්තයේ විශ්වවිද්‍යාලයක උසස් අධ්‍යාපනය ලබන්නට යැවීමට කුලරත්න විදුහල්පතිතුමා කටයුතු කිරීමය. 

එම ගමනද සුබ නැකතක් සාදාගෙන පිටත් වූ මලලසේකරයන්ට ලන්ඩන්හිදි ඇසුරට ලැබුණ බුද්ධිමත් පිරිසකගෙන් දිනෙක ලැබුණේ සතියකට පසු දිනෙක බකිංහැම් මාලිගයේදී පස්වැනි ජෝර්ජ් රජතුමා සමඟ සැදෑ සාදයක් පැවැත්වීමට සහභාගි වෙන ලෙසවූ ආරාධනා පත්‍රයකි. මෙය මලලසේකර තරුණයාට කදිම අවස්ථාවක් විය. එම ආරාධනා පත්‍රයේ කෙළවර සඳහන් වූයේ, “මේ සඳහා සම්පූර්ණ යුරෝපීය ඇදුම් කට්ටලයකින් සැරසී පැමිණිය යුතුය” යන්නය. එය ඔහුට විශේෂයක් නොවූයේ තමන් දැනුදුු අඳින්නේ යුරෝපීය ඇඳුම නිසාය. 

එහෙත් මෙහිදී තමන් මෙයට වඩා අදහසක් ඇතුළත කළ යුතුයි” යන අදහස සිතෙහි සනිටුහන් කර ගත් මලලසේකර තරුණයා තමන් තම මව්බිමේදී ආරිය සිංහල ඇඳුම හැඳ ගන්නා ලද ඡායාරූපයක්ද සමඟ “ මට මේ මගේ රටේ දේශීය ඇඳුම හැඳගෙන එම සාදයට සහභාගි වෙන්නට අවස්ථාවක් ලැබෙතොත් හොඳයි, කියා එම ඡායාරූපයද සමඟ ලිපියක් යැවීමයි. ඒ සමඟම මෙයට සහභාගිවෙන්නට හොඳ නැකතක් තිබේදැයි මේ වන විටද තමන් එංගලන්තයට එනවිට ගෙන ආ තම පියාගේ ඡ්‍යොතිෂ පොත් අනුව සොයා විමසා ගණන් සාදා බැලීමයි. වාසනාවකට මෙන් එහි යන්නට පැය එකහමාරකට පමණ පෙර ඉතා යහපත් නැකතක් තිබෙන බව පෙනී ගියේය. එවන් දෙයකට තමන්ට අවසරයක් දීමට නොහැකි බව වටහාගත් ආරාධිතයා කළේ එම ලිපියත් ඡායාරූපයත් මහරජතුමාට පෙන්වීමය. රජතුමා එය අනුමත කළහ. එයද ඉන්පසු මලලසේකර තරුණයාට දන්වා එවන ලදී. 

නියමිත දිනයේදී සුබ නැකත අනුව බකිංහැම් මාලිගයට සම්ප්‍රාප්ත වූ මලලසේකර ශාස්ත්‍රධරයා පස්වැනි ජෝර්ජ් මහ රජු විසින් ගෞරවයෙන් යුතුව පිළිගන්නා ලදී. ඉන් පසු සුළු වේලාවක් මේ පි‍්‍රයමනාප පෙනුමැති බුද්ධිමත් තරුණයා සමඟ කථා කිරීමෙන් පසුව රජතුමා සිය බිසව වූ මේරි බිසවටද මේ තරුණයා හඳුන්වා දෙන ලදී. ඉන්පසු සුළු වේලාවක් ඔහුගේ රටේ තොරතුරු ගැන විමසූ ජෝර්ජ් රජු, ඒ ගැනද පැහැදී, “මේක ප්‍රසිද්ධ ශාස්ත්‍රීය රැස්වීමක් නොවෙයි. ඒත් මම ඔබට අවසර දෙනවා මේ පිරිස අමතා ඔබේ රටේ ඉතිහාසය ගැන විනාඩි දහයක කථාවක් කරන්නක කියලා” යනුවෙන් මලලසේකර තරුණයාට කියා සිටියේය. 

එය මලලසේකර මහතාට කියලාවත් කරගන්න බැරිවූ අවස්ථාවක් විය. එතුමා වසර දෙදහස් පන්සීයකටත් වඩා පැරණි අතීතයක් තිබෙන තම මව් රටේ ඉතිහාසය ගැනත් පෙර රජදරුවන් විසින් තැනූ යෝධ වැව් අමුණුූ ගැනත් කියා, එදා සිංහල රාජධානියේ සිරකුරුවකුවී සිටි ඉංග්‍රීසි ජාතික රොබට් නොක්ස් මහතාණන් අපේ රටින් පැන එද්දී ලියාගෙන අවුත් එංගලන්තයේදි මුද්‍රණය කළ එදා ලක්දිව තොරතුරු සඳහන් ග්‍රන්ථය ගැනත් (එදා හෙළදිව) කියා ඉන් පසුව වර්ෂ 1836 දී ලක්දිව දිසාපතිවරයකුව සිටි ජෝර්ජ් ටර්නර් මහතා ලංකා ඉතිහාසය “රැගත් මහ වංශය පාලි භාෂාවෙන් ඉංගී‍්‍රසියට පරිවර්තනය කර ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාල මුද්‍රණාලයකදී ප්‍රසිද්ධ කළ සැටිත් කියා සිටියේය. එයින් පසුව තම රටේ ස්වදේශීය නායකයින් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස ලබා ගැනීම පිළිබඳව ගන්නා උත්සාහය හා කටයුතු ගැනත් කියා විනාඩි දහයක තම කථාව නිමකර සිටියේය. රජතුමා ඇතුළු සියලු විද්වතුන්ට මෙතෙක් තමන් ලංකාව ගැන නොදත් කරුණු බොහොමයක් මේ කථාවෙන් හෙළිදරව්වීම ඉතා වැදගත් කරුණක් විය. ඒ සමඟම මලලසේකරයන්ගේ කථාවේ චතුර බවත්, මනාලෙස ඉංගී‍්‍රසි භාෂාව හැසිරවීමේ දක්ෂතාවත් දැනගැනීමටද මෙය අවස්ථාවක් විය. ජෝර්ජ් රජතුමාද මෙයින් මහත්සේ සතුටට පත්ව සිටියහ. 

මටත් ඔබේ කතාවෙන් මහත් සතුටක් හා නව දැනුමකුත් ලැබුණා. දැන් ඉතින් ඔබ අපටත් මාළිගාවටත් අමුත්තකු නොවෙයි. මා කියා සිටිනවා. ඔබ මේ රටේ සිටිනා තාක් කල්ද ආපසු ඔබේ රටට ගියායින් පසුවද අප සමඟ සමීප ඇසුරක් පවත්වා ගෙන යන්නේ නම් වඩා හොඳයි කියා. මා එයට සියලු පහසුකම් සලස්වනවා”යි රජු පැවසූයෙන් එය අන් අයටද පුදුමයක් ගෙන දුන්නේය. 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.