මරණය පමණක් නොව හදිසි ධන ලාබත් පෙන්වන අටවැන්න

පෙබරවාරි 5, 2021

බලයෙන් පරිපූර්ණ ග්‍රහයකු යහපත් ග්‍රහ දෘෂ්ඨීන් වලින් පරපෝෂිතව ශුභ දාෂ්ටි ලබා දෙමින් අටවැන්නේ තැන්පත් වූයේ නම් ද එම ග්‍රහයන් රාශි බලයෙන් යුක්ත වූයේ නම් ද එම ග්‍රහයා ඉහත සඳහන් කළ පරිදි ධන කාරක ග්‍රහයකු හෝ ග්‍රහයින් වූයේ නම් ද හදිසි ධන ලාභ වලට ජන්මියා උරුමකරුවකු කරවයි.

 

කේන්ද්‍රයක ඇති මාරකස්ථාන අතුරින් ප්‍රධාන කොට සැලකිය හැකි භාවස්ථානයක් ලෙස අටවැන්න සඳහන් කළ හැකිය. මෘත්‍යුස්ථානය ලෙසින් ද දැක්වෙන්නේ මරණය ගෙන දෙන යන අදහස ඇතිවයි. මේ නිසා සියලු දෙනා අටවැන්න කෙරෙහි දක්වන්නේ දැඩි බියක් වන නමුත් එය ගුප්තස්ථානයක් ලෙසින් ද ඡ්‍යොතිෂයේ සඳහන් වෙයි.

 

ඒ අනුව අටවැන්නෙන් මරණය පිළිබඳව ප්‍රමුඛ ලෙස බලපවත්වන අතර, වස්තු ලාබ පෙන්වීමද එමගින් විග්‍රහාත්මකව සැලකිය හැකිව තිබේ. ඒ අනුව අටවැන්නේ සිටින ග්‍රහයින්, අටවැන්න අයත් රාශිය, එම රාශිය අධිපතියන්, එම රාශි අධිපතින් තැන්පත් රාශි සහ එම රාශි අධිපති ග්‍රහයින්, අටවැන්නේ සිටින ග්‍රහයන්ගේ බල දුබලතා සහ ක්ෂේත්‍ර බල තත්ත්වයන් එම ග්‍රහයා හෝ ග්‍රහයින් සිටින නක්ෂත්‍ර අධිපතීන් අටවැන්නට වැටෙන ග්‍රහ දෘෂ්ඨීන් හා ග්‍රහ සංයෝගයන් ආදි කරුණු රාශියක් පිළිබඳව අවධානය යොමුකර අටවැන්නෙන් හෙළිවන වස්තු ලාභ පිළිබඳව ප්‍රකාශයක් කිරීම සිදු කළ හැකිය.

බලයෙන් පරිපූර්ණ ග්‍රහයකු යහපත් ග්‍රහ දෘෂ්ඨීන් වලින් පරපෝෂිතව ශුභ දාෂ්ටි ලබා දෙමින් අටවැන්නේ තැන්පත් වූයේ නම් ද එම ග්‍රහයන් රාශි බලයෙන් යුක්ත වූයේ නම් ද එම ග්‍රහයා ඉහත සඳහන් කළ පරිදි ධන කාරක ග්‍රහයකු හෝ ග්‍රහයින් වූයේ නම් ද හදිසි ධන ලාභ වලට ජන්මියා උරුමකරුවකු කරවයි.

එමෙන්ම අටවැන්න පාප පීඩිතව පාප ග්‍රහ දාෂ්ටි සහිතව රාශි බලයෙන් ද දුර්වල වී ග්‍රහයින් ගමන් ගන්නා නක්ෂත්‍රයන් ද පිරිහී ඇති කල්හි එමෙන්ම ලග්නයට පාප ග්‍රහයකු අටවැන්නේ තැන්පත් වී නම් එම හේතුවෙන් තැන්පත් ධනයට හානි සිදුවීම පෙන්වයි.

විවාහය කරණකොටගෙන සහකරුට ගැලපෙන දායාද සහ ධනය, අන්තිම කැමති පත්‍ර හේතුකොටගෙන ලැබෙන ධනය, රක්ෂණ ආයතන වලින් ලැබෙන වන්දි මුදල්, මළගිය ඇත්තන් කෙරෙන් ලැබෙන වස්තුව, ලොතරැයි දිනුම්, දහදිය මහන්සියකින් තොරව ලැබෙන සම්පත්, අටවැන්න ඇසුරින් සැලකිය හැකි අතර, අටවැන්නට හසුවූ රාශි එහි සිටි ග්‍රහයින් එහි අධිපතීන් හා ග්‍රහ දෘෂ්ඨීන්ට අනුකූලව වස්තුව ලැබීම පිළිබඳව නිගමනය කළ යුතුය.

ගුරු 8 වැන්නේ බලවත් වී නම්, විවාහයෙන් හා වෙළඳාම් කටයුතු වලින් ධනය හිමි කර දෙයි. අටවැන්න හත්වැන්නෙන් ධනස්ථානයයි. ඒ අනුව 7 සහ 8 භාව දෙකේ සිටින ග්‍රහයින් එහි අධිපතින් ඒවාට ලැබෙන ශුභාශුභ ග්‍රහ දෘෂ්ටින් අනුව උසස් තත්ත්වයක් පිළිබිඹු වන්නේ නම්, 7 අධිපති ග්‍රහයා සුබයෙක් වී 8 වැන්නේ තැන්පත් වී නම්, නිතැතින්ම විවාහය හේතු කොටගෙන ධනවතකු කරවයි.

ලග්නාධිපති ග්‍රහයා අටවැන්නේ ශුභ ග්‍රහයකුව ශුභ දෘෂ්ටි හා ශුභ සංයෝග සහිතව සිටී නම්. සාමාන්‍ය වාසනා තත්ත්වයක් මතු කරමින් එකී ග්‍රහයාට අනුව ධනලාභ අත්පත් කර දීම සිදු කරවයි.

තවද, දෙවැන්නාධිපති ග්‍රහයා අටවැන්නේ තැන්පත් වී නම් ඕනෑම මුදල් ගනුදෙනු කටයුත්තකින් ධන ලාභ අත්කර දෙයි. සහෝදර සහෝදරියන් කෙරෙන් ද, ශුභ ගමන් බිමන් සහ ලියකියවිලි අංශවලින් ද, ඉගෙනීම් කටයුතු වලින් ද, ධනය ලබා දෙන්නේ දෙවැන්නාධිපති අටවැන්නේ තැන්පත්ව සිටීමෙනි.

සිවුවැන්නාධිපති ග්‍රහයා අටවැන්නේ වී නම්, දේපළවලින් හා මව්පිය දෙපළගෙන්ද, අන්තිම කැමති පත්‍ර හේතුකොටගෙන හා භූමියෙන්ද ඥාති හිතෛෂීන්ගෙන් ද, ධනලාභ ගෙනදීමක් සිදු කරවයි. එපමණක් නොව රේස්, සූදු වැනි අංශවලින්ද ධනය ගෙන දෙයි.

අටවැන්නේ හය අධිපති සිටී නම්, මව්පිය සහෝදර සහෝදරියන්ගෙන්ද, සතුරන් කෙරෙන් ද ධනය ලබා දෙයි.

අටවැන්නේ අට අධිපති තැන්පත්ව ඇත්නම්, අන්තිම කැමති පත්‍රවලින් හා විවාහය කරනකොටගෙන ධනයක් ලැබීමට හේතු වේ.

නවවැන්නාධිපති අට වැන්නේ නම් පිටරට රැකියා වලින්ද, උසස් ධර්ම ශාස්ත්‍රවලින්ද වස්තු හිමි කර දෙවයි.

10 අධිපති අටවැන්නේ නම් රැකියාවෙන් හා මව්පියන්ගෙන් හදිසි ධනලාභ අත් කර දෙයි. 11 අධිපති 8 වැන්නේ නම්, මිත්‍රයන්ගෙන් හා සමිති සමාගම් වලින් ධනය හිමි කර දෙයි. 12 අධිපති අට වැන්නේ නම්, ගුප්ත අංශ හේතුකොට ගෙන ධන සම්පත් උරුම කරදෙයි.

මේ අයුරින් වස්තු ලබා හිමි කර දීමට නම් ධනයට අදාළ ධනය ගැන කියවෙන හා භාව බල අනුව එකී ග්‍රහයින්ගේ බල තත්ත්වයන් විශේෂයෙන් හේතු පාදක වන බව මෙහිලා සඳහන් කළ යුතුය.තවද මෙම වස්තු ලාබ හිමිකර දීමෙදී අදාළ ග්‍රහයාට හිමි මහ දශා අතුරු දශාදිය පැවතිය යුතු බවත්, එම ධන ලාභය හෝ වස්තු ලාභය මුළු ජීවිත කාලය පුරාවටම ගෙනදීම සිදු විය නොහැකි බවත් සැලකිය යුතුය.

 

ඡ්‍යොතිර් විද්‍යාශූරී ආයුර්වේද වෛද්‍ය ආචාර්ය

ප්‍රභාත් සී. ගමගේ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.