විදේශගත වන්නට වාසනාව පෙන්වන දේශාටන රේඛා

අප්‍රේල් 2, 2021

අප සමාජයේ වැඩි දෙනෙක් විදේශ ගතවීමට සිහින මැව්වත් එම සිහින සැබෑ වන්නේ කීයෙන් කීදෙනාටද? සමහරු රැකියා සඳහා විදේශ ගත වෙයි. තවත් සමහරු ව්‍යාපාර කටයුතු සඳහා විදේශ ගතවෙයි. කෙසේ වෙතත් කෙනෙකුට එම අරමුණ ඉටුකර ගැනීමට දෛවය අනුව ද ඉඩ සැලසී තිබිය යුතුය. ඒ අනුව කෙනෙකුට විදේශ ගතවීමේ වාසනාවක් ඇත්නම් ඒ බව ඔහුගේ හෝ ඇයගේ අත්ලේ රේඛා වලිනුත් සටහන් වෙයි. දැන් අපි බලමු කෙනෙකුට විදේශ ගතවීමට වාසනාවක් ඇත්නම් ඒ බව අත්ලේ සටහන් වන්නේ කෙසේද කියා.

 

විදේශ ගමන් හිමි අයගේ අත්ල බොහෝ විට චතුරස්‍රාකාර හැඩයක් ගන්නා අතර අත්ල පිටුපසට නැමෙන සුළු ආකාරයට පිහිටයි. ජීවන රේඛාවේ කෙළවරින්, එනම් මැණික් කටුව ප්‍රදේශයෙන් පටන් ගන්නා චන්ද්‍ර මණ්ඩලය හරහා සිරස්ව, හෝ හරස්ව ඇදී යන රේඛාවක් දේශාටන රේඛා හෙවත් විදේශ ගමන් පිළිබඳ රේඛා ලෙස හඳුන්වයි. මෙම රේඛා ඉතා පැහැදිලිව ගැඹුරුවු, රෝස පැහැයෙන් යුක්තව බාධක රේඛාවන් ගෙන් තොරව පිහිටා ඇත්නම් යහපත් විදේශ ගමනකට වාසනාව ලැබෙන අතර එම විදේශ ගමන ද සාර්ථකවනු ඇත. එම රේඛාව අඳුරුව කැඩී බිඳී පලුදු වී ඇත්නම් එම ගමනින් කෙනෙකුට බාධා කරදරවලට මුහුණ පෑමට සිදුවන අතර තමන්ගේ අරමුණ ද ඉටු නොවනු ඇත.

මැණික් කටුව ආසන්න ප්‍රදේශයෙන් ආරම්භ වන රේඛා හැරෙන්නට විදේශ ගතවීමට බලපාන තවත් රේඛා කීපයක් ගැන දැන් බලමු. මේ අයුරින් එක් රේඛාවක් (ඒ- ඒ) ජීවන රේඛාවේ පහළ කොටසින් දෛව රේඛාව හරහා චන්ද්‍ර මණ්ඩලය හා සිකුරු මණ්ඩලය දෙසට බෙදී පිහිටීම ද විදේශ ගමන් පෙන්නුම් කිරීමකි. මෙම රේඛාවේ විශේෂත්වය නම් එය විදේශ රටවල සංචාරය සඳහා බලපෑම් කරන රේඛාවක් වීමය. මෙය බොහෝ ක්‍රියාශීලි අයගේ අත්වල දක්නට ඇත. මෙම හේතුව නිසා තමන්ගේ ගම රට දෙමාපිය සහෝදර සහෝදරියන්ගෙන් ඈත්ව පිටරටවල ජීවත් වෙති. මෙවැනි අයට වෙන්වීමේ කාන්සියක් නොදැනේ . තම මව්පිය පිළිබඳව හැඟීම් ද අඩුවේ. එක තැනක වාඩිවී රැකියාවක් කිරීමට පවා මැලි වේ. ඔවුන් නිතර එහා මෙහා ඇවිදීමට ක්‍රියාකිරීමට පි‍්‍රය කරති. එම රේඛා හොඳින් ඝනව වැඩී ඇත්නම් ඔවුන් කරන ව්‍යාපාර කටයුතු වඩාත් සාර්ථක වෙයි. වැඩි ලාභ පෙන්නුම් කරයි. එම රේඛා කැඩී බිඳී දූපත් සලකුණු වලින් යුක්තනම් අධික ලෙස පාඩු වෙන අතර තම ධනය ද නාස්ති වේ.

චන්ද්‍ර මණ්ඩලයේ තිරස් අතට හෝ සිරස් අතට ගමන් කරන රේඛා (ඕ) මුහුදු ගමන් පිළිබඳව පෙන්නුම් කරයි. එම රේඛා දීර්ඝ නම් විදේශ ගමන් හෙළි කරයි. එම රේඛාව සමඟ දූපත් සලකුණක් තිබුණොත් ගමනින් සිදුවන මාරක අනතුරක් පෙන්වයි.

කතිරයක ලකුණක් ඇතිනම් ගමන අසාර්ථක වනු ඇත. චතුරස්‍රයක් (කොටු ලකුණක්) ඇතිනම් ගමනින් සිදුවන අනතුරුවලින් ආරක්ෂා කරයි. තාරකා ලකුණකුත් සමඟ චතුරස්‍රයක් ඇතිනම් අනතුරක් සිදු නොවේ. සංචාරක රේඛාවන් ඉහළට හැරී ගුරු මණ්ඩලය හෝ රවි මණ්ඩලය හෝ බුධ මණ්ඩලය හෝ කුජ මණ්ඩලය දෙසට හැරී ඇතිනම් ගමනින් වාසි සිදුවේ.

චන්ද්‍ර මණ්ඩලයෙන් ඉහළට ගමන් ගත් රේඛාවක් තරුවකින් හෝ කතිරයකින් අවසාන වී ඇතිනම් ගමනේ බලාපොරොත්තු සුන්වේ. චතුරස්‍රයකින් අවසාන වූ විට ගමනින් ඔහුට සිදුවන අනතුරක් වළකන බව පෙන්වයි. ඉහළට විහිදෙන රේඛා බොහෝ විට ගුරු මණ්ඩලයට ද යා හැක. එයද විදේශ ගමන වඩාත් සාර්ථක වීමට පෙන්වන ලකුණකි. මෙම රේඛා ශනි මණ්ඩලය දෙසට විහිද යාම ද සුබ නොවේ. ගමනේදී සිදුවන අනතුරක් එමඟින් පෙන්නුම් කරයි. මෙම රේඛාවන් රවි මණ්ඩලය හෝ බුධ මණ්ඩලය දෙස යාම මිල මුදල් මෙන්ම උසස් තනතුරු ලැබීමට ද හේතු වේ.

තිරස් අතට පිහිටි රේඛාවක් චන්ද්‍ර මණ්ඩලය හරහා ගොස් දෛව රේඛාවට සම්බන්ධ වන අවස්ථාද ඇත. (ඛ්) එය දීර්ග ගමනක් මෙන්ම වැදගත් ගමනක් බව පෙන්නුම් කරයි .(ච්) සලකුණු මඟින් පෙන්නුම් කරන චන්ද්‍ර මණ්ඩලයෙන් ඉහළට විහිදයන ඉතා කුඩා රේඛාවලින් පෙන්නුම් කරන්නේ තම මව්බිම වෙනුවෙන් රටේ යහපතට අදාළව රාජකාරි කටයුතු සඳහා විදේශ ගතවන බවය. විදේශ ප්‍රභූන් තානාපති, අමාත්‍යවරු වැනි අය සම්බන්ධවන විදේශ

සම්මේලනවලට සහභාගි වීම සඳහා යන අයගේ අත්ලවල මෙම පිහිටීම් තිබිය හැක. එම රේඛා හොඳින් මනාව පිහිටීම අරමුණු සාර්ථක වන බව පෙන්නුම් කිරීමකි. (ඡ්) මැණික් කටුව ආසන්නයේ සිට සිකුරු මණ්ඩලය මතින් ගුරුමණ්ඩලයට දෙසට රේඛාවක් වැටේනම් එය බොහෝවිට විදේශ ශිෂ්‍යත්ව ලබා විදේශ ගතවීමේ භාග්‍යය පෙන්නුම් කරන ලක්ෂණයකි. අධ්‍යාපනය හදාරන දරුවන්ගේ අත්වල කලාතුරකින් මෙම රේඛා දැකිය හැක.

 

හිඹුටානේ

පියතිලක ද අල්විස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.