මවට සහ අලුත උපන් බිළිඳුන්ට ඇතිවන ගැටලු

මාර්තු 5, 2021

වර්තමානයේ පවතින තරගකාරී ජීවන රටාව හා විවිධ සමාජ පසුබිම් මත විස්තෘත පවුල න්‍යෂ්ටික පවුල දක්වා ලඝු වී ඇත. මේ නිසාම අලුත උපන් බිළිඳා හා නිවසේ තනිව කටයුතු කිරීම සාමාන්‍ය තත්ත්වයකි.

අතීතයේ අලුත උපන් බිළිඳාට හා මවට උපකාර කිරීම සඳහා නිවසේ මව, සහෝදරිය, මිත්තණිය යන සියල්ලන්ම සූදානම්ව සිටියහ. නමුත් අද පවතින තත්ත්වය මත බොහෝ විට බිළින්දා සමඟ මව නිවසේ තනිවම කටයුතු කර ගත යුතුව ඇත.එයට සූදානම් වීමේදී අලුත උපන් බිළිඳා සමඟ මවට ගැටලු රාශියකට මුහුණ දීමට සිදුවේ.මවගේ පළමු දරුවා නම් එම ගැටලු ඊටත් වඩා සංකීර්ණ ලෙස මවට දැනෙනු ඇත.මෙවන් හේතු මත මව බොහෝ විඩාවට,ආතතියට හා වේදනාවට පත් වීමත් සමඟ මවට පසු ප්‍රසව විශාදය වැනි තත්ත්ව ද ඇතිවීමේ වැඩි ප්‍රවණතාවක් අද වන විට දැකිය හැකිය. එම නිසා ඔබ දරුවකු බලාපොරොත්තු වන විවාහ වීමට බලාපොරොත්තු වන කාන්තාවක් මෙන්ම පියෙක් වීමට බලාපොරොත්තු වන ඔබට පහත කරුණු පිළිබඳ දැනුම්වත් වීම ඉතා අත්‍යවශ්‍ය වනු ඇතැයි මම සිතමි. අපට අතීතයට ගමන් කළ නොහැක. එදා මෙලෙස යි කියා පසුතැවීමට දැන් කාලයක් නොවේ. ගතවන තරගකාරී ජීවන රටාව සමඟ ඔබ අප සියලුදෙනා ඉදිරියට යා යුතුව ඇත. කුලුඳුලේ දරුවකු ලැබෙන ඔබට එය ඉමහත් සතුටක් මෙන්ම ජීවිතේ නුපුරුදු හැරවුම් ලක්ෂයක් වැනිය. මවක් වන එම උතුම් පදවිය ඔබට ලබාදෙන ඒ කිරිකැටියා වෙනුවෙන් ඔබ මුළු ජීවිත කාලයම දැන් කැප කළ යුතුව ඇත. නමුත් මෙම කාල පරිච්ඡේදයේ බිලින්දාගේ මුල් මාස හය විශේෂයි. මවු කිරි පමණක් ලබා දෙන මෙම කාලය තුළ උපත ගැටලු අපහසුතා රාශියක් පැන නැඟීම සාමාන්‍ය කරුණකි.

මවට ඇතිවන ගැටලු

පළමුව මවක් වන ඔබට ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ ගැටලු රාශියකි. සාමාන්‍ය දරු ප්‍රසූතියකින් පසුව ඇතිවන තුවාල මෙන්ම සිසේරියන් සැත්කමකින් පසු ඇති වන තුවාල ද සුව වන තුරු ඔබ ගත කරනුයේ අතිශය අසීරු කාල සීමාවකි.වෛද්‍ය උපදෙස් මත සුදුසු පිරිසුදුකාරක වලින් සෝදා හොඳීන් තෙත මාත්තු කර තුවාලය වියළිව තබා ගැනීම යහපත්ය. ඉතා තද වන යට ඇඳුම් හා සනීපාරක්ෂක තුවා වර්ග භාවිතය ඉතාම අහිතකරය. එම ප්‍රදේශයට වාතාශ්‍රය ලැබෙන ලෙස සැහැල්ලු කපු යට ඇඳුම් භාවිත කරන්න. මුල් සති කිහිපය ලූප් සහිත සනීපාරක්ෂක තුවා භාවිතය ද ඉතාම සුදුසුය. තුවාලය උණුවතුරින් සේදීම, විවිධ දුම් ඇල්ලීම ඔබගේ හිතුමතේට හෝ විවිධ වැඩිහිටියන්ගේ කීමට සිදු කිරීමෙන් වළකින්න. නිවැරදි වෛද්‍ය උපදෙස් පමණක් පිළිපදින්න.

වර්තමානයේ බොහෝ මවුවරුන්ගේ ගැටලුවක් වනුයේ තමා හට බිලින්දාට ඇති තරමට කිරි නොමැතිව කනස්සල්ලෙන් පසුවීමයි. එය මානසිකව ඇතිවන ව්‍යාකූල තත්ත්වයකි. සෑම මවකටම තම බිලිඳු ට අවශ්‍යම තරමටම කිරි එරෙන්නේය. ඒ ගැන කිසි විටෙකත් ඔබ බිය විය යුතු නැත.සැහැල්ලු මනසින් යුතුව ඉතා ආදරයෙන් නිතරම තම බිලිඳුට කිරි ඉරවීමට අවකාශය දෙන්න. මව නිතරම මඳ උණුසුම් ජලය පානය මඟින් කිරි එරීම වර්ධනය වීම මෙන්ම ඉදිරියට නෙරාවිත් එල්ලා වැටී තිබෙන උදරය පවා නැවත යථා තත්ත්වයට පත්වීමට උණු ජලය උපකාරී වෙයි. දිනපතා පලා වර්ග ආහාරයට ගැනීම මඟින් කිරි එරීම මෙන්ම මලබද්ධය හා බොහෝ මව්වරු පෙළෙන රක්තහීනතාවයට ද ගුණදායකය. මුරුංගා කොළ, කිරිඅඟුණ කොළ මේ අතර විශේෂ ස්ථානයක් උසුලයි.එමෙන්ම පොලොස් සහ කොස් ඉතා ගුණදායකය.

පාවට්ටා, නික, බේත් එඬරු වැනි ඖෂධ යොදා සෑදූ පොට්ටනි තැම්බූ ජලයෙන් ස්නානය ද ශරීරයේ විඩා ගතිය දුරු වීමට මෙන්ම එම පොට්ටනි මඟින් පිට හා පපු ප්‍රදේශ තැවීමෙන් කිරි එරීම නියම ලෙසින් සිදු වන්නේය.

මේ කිසිවක් සොයා ගැනීමට අපහසු නගරබද ජීවත් වන මවක් නම් ඔබ නිතරම උණු ජලය භාවිත කරන්න. කිරි දීමට ප්‍රථම උණු ජලයෙන් පපු ප්‍රදේශය තවාගන්න.මුල් මාසය තුළ හැකි තරම් උණු ජලයෙන් ඇඟ සෝදන්න.

ඉහත කරුණුවලට අමතරව මවට ඉතා හොඳ නින්දක් අවශ්‍යමය. බිලින්දා සමඟ බොහෝ සේ විඩාපත්ව රාති‍්‍රයට නිදිවැරීම මවගේ ශාරීරික මෙන්ම මානසික ව්‍යාකූලත්වයට ද හේතු වේ.එම නිසා ඔබ බිලින්දාගේ කටයුතු කළමනාකරණය කර ගනිමින් ඔබගේ නින්දට අවශ්‍ය කාලය සකසා ගන්න. ශාරීරික සෞඛ්‍ය තත්ත්වය මෙන්ම මවගේ මානසික සෞඛ්‍ය තත්ත්වය ද කෙරෙහි විශේෂ අවධානය යොමු කළ යුතුය. ඔබට ලැබෙන පළමු දරුවා නම් ඔබට බොහෝ ප්‍රශ්න පැන නැඟේවි. වැඩිහිටියන්ගේ විවිධ මත සමඟ ඔබට ගැටීමට සිදුවිය හැකිය. සැමවිටම ඔබ නිවැරදි වෛද්‍ය උපදෙස් පිළිපදින්න.

දරුවාගේ අතපය සෑදීම

බොහෝ බිලිඳුන්ගේ පවතින බකල් ගතිය ඔබගේ සිතට පීඩා ගෙනදෙයි.ඊටත් වඩා වැඩිහිටි උපදෙස් සහ ඊට පරස්පර වූ වෛද්‍ය උපදෙස් ඔබව මෙම ගැටලුව තුළ අතරමං කරයි. කුඩා දරුවන්ගේ පාද බකල් ගතිය උපතින් රැගෙන එයි. ඔවුන් කුසේ සිටින ඉරියව්ව මේ සඳහා බලපානු ඇත.එය දරුවාගේ මාංශ පේශී වර්ධනය සමඟ යථා තත්ත්වයට පත්වන අතර දරුවා ඇවිදින කාලය වන විට ද මෙම බකල් ගතිය ඉවත්ව යයි. නමුත් පාරම්පරිකව බකල් ගතියක් හෝ විටමින් ච් ඌනතා පවතී නම් බකල් ගතිය වර්ධනයක් දැකිය හැකිය. මේ සඳහා ද වෛද්‍ය උපදෙස් සහ ප්‍රතිකර්ම ක්‍රම මඟින් සකසා ගත හැකිය.

දරුවාගේ හිස

දරුවකු උපදින විට තෙල් වලවල් දෙකක් දක්නට ලැබේ. ඒ හිස මැද හා හිස පිටුපසයි. සතියකින් පමණ හිස පිටුපස තෙල් වල වැසී යන අතර හිස මැද තෙල් වල දරුවාගේ වයස අවුරුදු 1,1 1/2 දක්වා පවතී.මෙම කාල සීමාවෙන් පසුත් වැසී නොයයි නම් හෝ තෙල් වල උඩටනෙරා පවතී නම් වෛද්‍ය උපදෙස් ලබාගන්න.ඔබ කිසිවිටෙකත් එය තද කිරීම හෝ අතගා සැකසීම සිදු නොකරන්න.

මුල් කාලයේ දරුවාගේ හිසට තෙල් දැමීම අවශ්‍ය නොවන අතර හිස් කබලේ කළු පැහැති කබොල පවතී නම් නෑවීමට විනාඩි දහයකට පමණ පෙර ඔලිව් තෙල් ආලේප කර නාවන්න. සෙමින් ඔළුව අතුල්ලන්න නෑවීමෙන් පසු මෘදු පනාවකින් පීරන්න. මෙම කබොල බොහෝ සේ පවතී නම් හෝ ගඳක් වහනය වේ නම් වෛද්‍ය උපදෙස් පතන්න.

කිරි මිරිකීම

කුඩා දරුවන්ගේ කිරි මිරිකීම යනු බොහෝ මව්වරු දෙගිඩියාවෙන් පසුවන කරුණකි. ආදි කාලයේ මෙම කිරි මිරිකීම සිදු කළ ද වර්තමානයේ පවතින අධික විෂබීජ හේතුවෙන් මෙය සිදු නොකළ යුතු දෙයක් බවට වෛද්‍යවරු උපදෙස් ලබා දෙයි. මෙය කාලයත් සමඟ ස්වාභාවිකව මිරිකී යන අතර ඒ පිළිබඳ මව්වරු බිය යුතු නැත.නමුත් තනපුඩු අසල අසාමාන්‍ය ඉදිමීමක් රතු වීමක් පවතී නම් වෛද්‍ය උපදෙස් ලබාගන්න.

ගුඩුස් ඉක්කාව හා කිරි වමනය

මෙය ඉතාම වැදගත් කොටසකි. ගුඩුස් යැවීමට සමහර මවුවරු බියක් දක්වති. නමුත් කෙසේ හෝ උපන් දිනයේ සිටම දරුවාට ගුඩුස් යැවීම අනිවාර්යයෙන් සිදු කළ යුතු දෙයකි.ගුඩුස් ඇරීමට නිවැරදි පහසු ක්‍රමයක් උපයෝගී කරගනිමින් නිතරම කිරි දීමෙන් අනතුරුව ගුඩුස් යැවීමට අමතක නොකරන්න.

කිරි උරා බීමේදී දරුවාට වාතය ද ආමාශ ගත වේ. මෙම වාතය ආමාශ ගත වීම නිසා දරුවාට මහත් අපහසුවක් දැනෙන අතර එම නිසාම දරුවා බොහෝ විට ඇඬීම, ඇඹරීම, රාති‍්‍රය පුරා නිදි වර්ජිතව සිටීම මෙන්ම කිරි උරා බීම ද ප්‍රතික්ෂේප කරයි. මෙය බාලගිරි දෝෂය ලෙස ද

පිළිගැනීමක් පවතී. එම නිසා නිවැරැදිව ගුඩුස් ඇරීම මඟින් අලුත උපන් බිලිඳා හා බැඳී පවතින ගැටලු වලින් 50% පමණ විසඳෙනු ඇත.

ගුඩුස් යැවීම හරිහැටි සිදු නොවූ විට ඉක්කාව හා කිරි වමනය ඇති විය හැකිය.කුඩා දරුවන්ගේ ගලනාලය හා ආමාශය සම්බන්ධ වන ස්ථානය අතර ඇත්තේ නොමේරූ කපාටයකි. එහි ක්‍රියාකාරීත්වය අඩුය. එම නිසා ආමාශ ගත වූ කිරි වේගෙන් උඩට විත් නාසයෙන් හා කටින් පිට වේ.මෙය සාමාන්‍ය තත්ත්වයක් වුව ද කිරි වැඩි ප්‍රමාණයක් වමනය කරයි ද, මසින් මස බර වැඩි නොවේ නම් හා මාස 3ක්ම කිරි වමනය සිදුවේ නම් වෛද්‍යවරයෙකු හමුවිය යුතුය.

කිරි මැලියම්

දිවේ කිරි මැලියම් බැඳීම නිසා දරුවන් කිරි බීම ප්‍රතික්ෂේප කරයි. තම්බා ගන්නා ලද පිරිසිදු රෙදි කැබැල්ලක් මඟින් පිස දමන්න.කිරි මැලියම් හනුවල හා උඩු තල්ලේ ද බැඳී පවතී නම් වෛද්‍ය උපදෙස් ලබා ගන්න.

දරුවා පිරිසිදු කිරීම

ඉතා පිරිසුදු උණු ජලය නිවෙන්නට හැර උදය වරුවේ දහවල් 12:00 ට පමණ පෙර ඔබට පහසු වෙලාවක දරුවා නැහැවීම වඩා හොඳය.දරුවාට වෙනත් රෝගී තත්ත්ව හෝ අපහසුතා නොමැතිනම් දිනපතා නැහැවීම ද ඉතා සුදුසුය.දරුවා පිරිසිදු කිරීමේ දී මුලින්ම මුහුණත් පසුව හිස හා ඇඟත් පිරිසිදු කරන්න.ඉකිලි කිහිලි හා බෙල්ල අවට හොඳීන් සෝදා තෙත මාත්තු කළ යුතුය.නැත්නම් ඒ අවට තුවාල ඇති විය හැකිය. පෙකණිය ආශ්‍රිතව ද හොඳීන් තෙත මාත්තු කිරීම සිදුකළ යුතුය.

රතු පලු

දරුවකු ඉපදුණු පසු දින දාහතරක් පමණ යනතුරු කුඩා රතු පැහැති බිබිලි විශේෂයක් ඇති වේ.දිනපතා නැවීම හා මව ඇඟ නිවෙන දේ ආහාරයට ගැනීම මඟින් එම බිබිලි දින දාහතරක් තුළ ඉබේම ඉවත් ව යයි. කිසිවිටෙකත් එම බිබිලි කැඩීම හෝ මිරිකා ඉවත් කිරීම සිදු නොකළ යුතුය.

අලුත උපන් දරුවා හා පවතින ගැටලු පිළිබඳ අවබෝධයකින් කටයුතු කිරීම මඟින් ඔබට පීඩාවකින් තොරව දරුවා ආදරයෙන් රැකබලා ගත හැකිය. විවිධ අයගේ විවිධ මත හා ගැටීම හෝ එම මතවලට කි‍්‍රයා කිරීමට ප්‍රථම ඔබ සුදුසු වෛද්‍යවරයෙකුගේ නිවැරදි උපදෙස් ලබාගන්න.

 

වෛද්‍යාචාරිනී

ගුණවතී එදිරිසිංහ

(ඩී.එස්.ඒ.සී.ගෞරව )

බෙහෙත්ශාලාව මැදගොඩ අමිතිරිගල

 

සටහන් හා සාකච්ඡාව

යටියන්තොට සමූහ

කුමාරසිංහ ගුණදාස

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.