සම රැළි වැටීම පාලනයට සරල හා සාර්ථක විසඳුම්

මැයි 10, 2019

සම රැළි වැටීම වර්තමාන කාන්තාව හිතින් විඳවන රූප ශෝභාව සම්බන්ධ ප්‍රබල ගැටලුවකි.ඇස් වටේ, මුව දෙකළවර, ගෙල පෙදෙස, දෑත් ආදී ස්ථානවල සම රැළි වැටීම නිසා වයසට වඩා වැඩි පෙනුමක් ලැබෙන බවද සත්‍යයකි.

වයස අවුරුදු 35-40 පමණ වන විට කාන්තා සහ පිරිමි දෙපක්ෂයේම සම රැළි වැටීම ආරම්භ වීම සිදුවෙයි. මේ සඳහා අනුගමනය කළ හැකි සරල නිසි පිළියම් පවතී. රූපලාවන්‍යාගාරයක පිහිට පැතීමට පෙර ඔබට ඉතාම පහසුවෙන් කළ හැකි මේ උපක්‍රම ගැන ඔබ දැනුවත්ව සිටීම ඉතාම වැදගත් වේ. මේ සඳහා ඔබ විසින් සංවිධානාත්මක දින චරියාවක් පවත්වා ගැනීම බෙහෙවින්ම වැදගත් වේ.

සම සුරකින අපිචර්මය හා චර්මය

අපේ සම ප්‍රධාන කොටස් දෙකකින් සමන්විතය. ඒ “අපිචර්මය” හා “චර්මය” ලෙසයි. පිටතින් පෙනෙන සම අපිචර්මයයි. (ඡ්නඪඤඥපථඪඵ) “චර්මය” (ච්ඥපථඪඵ) පිහිටා තිබෙන්නේ අපිචර්මයට යටිනි. සෛල ස්ථර ගණනාවක් එක මත එක පිහිටා අපිචර්මය සැකසී තිබෙයි.

මෙම නිසල ස්ථරවල මතුපිට ඇති සෛල තුළ කෙරටින් වැඩි වශයෙන් අඩංගු වේ. මෙමගින් සමට ඇතිවන බාහිර උවදුරු වළක්වන අතරම “ජලය” සම හරහා යාමද වළක්වයි. චර්මයෙහි ඇති සෛල තුළ වර්ණක සහිත සෛල රුධිර නාල හා රෝම කූපවල මූලයන් පිහිටා ඇත. සම රැළි වැටීමට වැඩිම දායකත්වයක් ලබා දෙන්නේ සමෙහි අපිචර්මයට යටින් පිහිටා තිබෙන චර්මයයි.

සම රැළි වැටීම ඉක්මන් කරන හේතු

අද වයස අවුරුදු 16-18 සිටම බොහෝ යුවතියන් මෙන්ම තරුණ කාන්තාවන්ද නිතර පේෂල් කිරීමට පෙළඹේ. පේෂල් කිරීම මගින් රැළි වැටුණු සම තාවකාලිකව යම් යහපත් තත්වයකට පත්වන නමුත් දැඩි ලෙස පේෂල් කිරීමෙන් වයසට වඩා සමේ රැළි වැටීම් දිගුකාලීනව ඇතිවිය හැකි බවත් අවධාරණයෙන්ම මතක් කළ යුතුයි. මෙහිදී නිතර පේෂල් කිරීමෙන් සමේ ඇදෙන සුළු ස්වභාවය අඩුවී යන අතරම ස්ථුලතාවය අඩු කරගන්නට සමහර කාන්තාවන් අනවශ්‍ය ලෙස කෑම පාලනය කිරීම තුළින්ද සම රැළි වැටීම සිදුවේ.

මේ අනුව ස්ථූලතාවය ක්‍රමානුකූලව අඩුකර නොගැනීමෙන් පැහැදිලිවම සිරුර වැහැරී යෑමක් සිදුවිය හැකිය. මෙම “අකල් වැහැරීම” මගින් සමේ රැළි වැටීම් වේගවත් කරයි.

අද පවතින බොහෝ ස්පා ආයතනවල සේවය කරන සුදුසුකම් නොලත් ඇතමුන් සිදුකරන වැරදි නිල තෙරපුම් මගින්ද සම රැලි වැටීම් ඇතිවිය හැකිය. ස්ටීම්කිරීම මගින්ද සමේ තෙල් ගතිය වියැකී යාමෙන් ඉක්මණින් සමේ රැලි වැටීම් ඇතිවිය හැකිය. ඇතැම් විට සම රැළිවැටීම වැළැක්වීමට වෙළඳපලේ පවතින ආලේපන මෙන්ම සමහර රූපලාවන්‍යය ආයතන භාවිතා කරන විදුලි උපාංග නිසාද සම රැළිවැටීම අඩුවෙනවා වෙනුවට අයහපත් ප්‍රතිඵලද අත්විය හැකිය.

සම රැළිවැටීම පාලනය කරන හොඳම උපදෙස්

සම රැළිවැටීමට ප්‍රබල හේතුවක් ලෙස පෝෂ්‍යදායි ආහාර වර්ග භාවිතා නොකිරීම දැක්විය හැකිය. පෝෂ්‍යදායි ආහාර නොගැනීමෙන් සිරුර වැහැරීම සිදුවන අතර එහිදී ඉක්මණින් සම රැළි වැටීමට ලක්විය හැකියි. පහත උපදෙස් හා පිළිවෙත් තරණ සමක් මැදිවයසේදී පවා පවත්වාගන්නට ඔබට ප්‍රයෝජනවත් වනු ඇත.

සැඩ හිරු එළියෙන් ඈත්වන්න

සම වියපත් වීමට හේතුවන ප්‍රබලම සාධකය වන්නේ අධික හිරු එළියට නිරතුරුවම සම නිරාවරණය වීමයි. හිරු දාහයට නිරාවරණය වීම නොවැළැක්විය හැකිනම් ප්‍රමිතියෙන් යුත් ඉර්‍ථජ් 15 ඉභද ඉජපඥඥද වර්ගයක් සිරුරේ ආලේප කරගන්න.

මැරුණු සෛල ඉවත්කර ජම්බෝල

ඇල්ෆා හයිඩ්‍රොක්සි අම්ලයෙන් සරු රසවත් පලතුරක් වන ජම්බෝල ආහාරයට ගැනීම සමට ඉතාමත් හිතකරය. එමගින් සමේ මැරුණු සෛල ඉවත්කර සම පුනර්ජීවනය කරයි.

නිසි සුවබර නින්දක් ලබන්න

නින්දේදී අපේ සම පුනර්ජීවනයට පත්වේ. මැරුණු සෛල වෙනුවට නව සෛල නිපදවීමද සිදුවේ. මේ සඳහා දෛනිකව පැය අටක තරම් වූ සුවබර නින්දක් ලැබිය යුතුය. වැරදි ඉරියව්වලින් නිදාගැනීමෙන්ද සම රැළි වැටීම වේගවත් කරයි. පිට යහනට හොඳින් ස්පර්ශවන ලෙස උඩුඅතට හැරී සුවපහසුව නිදා ගැනීම වඩාත්ම යහපත් වේ.

සීනි භාවිතය අවම කරන්න

අධික සීනි භාවිතය මගින් සම රැළිවැටීම සිදුවන බව පර්යේෂණාත්මකව ඔප්පු වී ඇත. මේ අනුව සීනි භාවිතය උපරිම ලෙස අඩුකළ යුතු අතර පැණිරස බහුලව යෙදූ කෘත්‍රිම ආහාර පරිභෝජනයද උපරිම ලෙස සීමාකළ යුතුය.ඉන් ඔබට අත්වන යහපත් ප්‍රතිඵල රාශියකි.

කොළ පැහැ එළවළු හා පළා අනුභවය

බොහෝ දෙනෙක් කාර්යබහුලකම නිසා අල, පරිප්පු, කරවල, හාල් මැස්සන් හා ගෙඩි එළවළු වර්ග වැඩි වශයෙන් ආහාරයට එක්කර ගනී. මෙමගින් ශරීරයට සමබල පෝෂණයක් නොලැබෙන අතරම මළබද්දය තත්වය සුලබ වීමටද එය හේතු වෙයි. කොළ පැහැ අලුත් එළවළු හා අලුත් පළා වර්ග වැඩිපුර ආහාරයට එක්කර ගැනීමෙන් මුක්ත ඛණ්ඩවල විනාශකාරි තත්වය දුර්වල කර ආහාරවල ප්‍රතිඔක්සිකාරක ගුණය ඉහළ දමයි. මෙමගින් නිරෝගී සමක් හිමිකර ගත හැකිය.

ඔබ දුම්පානය කරනවානම්!

අප්‍රසිද්ධියේ දුම්පානයට ඇබ්බැහි වූ කාන්තාවන් අප රටේද දුර්ලභ නොවන බව සමීක්ෂණ මගින් හෙළිවී ඇත. තරුණ වියේදීම සමාජශාලා ඇසුරට හුරු වූ කතුන්ද සමහර ධනවත් කතුන්ද සම්බාහන ආයතනවල සේවය කරන හා ගණිකා සේවයේ යෙදෙන කතුන්ගෙන් වැඩි පිරිසක්ද දුම්පානයට ඇබ්බැහි වී ඇති බව හෙළිදරව් වේ. දුම්පානය කරනවානම් දෙගුණයක වේගයෙන් සම වයසට යාම සිදුවේ. දුම්පානය තවත් බොහෝ රෝගවලටද හේතුවකි. වහාම දුම්පානයෙන් අත්මිදෙන්න . මත්පැන් පානයද බරපතළ වරදකි.

ජල සාධකයේ වැදගත්කම

සම නිරෝගීව තබාගැනීමෙන් සමේ රැළිවැටීම් ඉතාම යහපත් ලෙස පාලනය කළ හැකිය. මේ සඳහා ඔබ දිනපතා පානය කරන ජල ප්‍රමානය ඍජුවම බලපායි. සම නිරෝගීව තබා ගැනීමෙන් සමේ පැහැපත් බව රැකගනිමින් සම රැළිවැටීමද මනාව පාලනය කළ හැකිය. දිනකට පිරිසුදු ජලය ලීටර් 3-4 පමණ ප්‍රමාණයක් පැය භාගයෙන් භාගයට හෝ පැයෙන් පැයට ක්‍රමවත් කාලසටහනකට අනුව (එය ඔබ සිතේ සැලසුම් කළ “කාලසටහනක්” මිස පොතක පතක ලියා ගත් කාලසටහනක් නොවේ) ජල පානය කිරීමෙන් සමේ නිරෝගී බව නිරතුරුවම ආරක්ෂා වේ. ජලය පානය කිරීම අඩුවන විට සමේ නිරෝගීබවද පැහැපත් බවද අඩුවී සම රැළි වැටීම ද සාපේක්ෂව වැඩියෙන් සිදුවේ.

සම පෝෂණය කරන තවත් සංඝටක රැසක්

විටමින් වර්ග , ඛනිජ ලවන, සමේ පෝෂණයට ඉතාම වැදගත් වන අතර සින්ක්, කොපර් , විටමින් සී, නියැසිනමයිඩ්, ලිපොලික් ඇසිඩ්, සෙලේනියම්, කොලජැන් හා කෙරටීන් වැනි සංඝටක ඉන් සමහරකි. මෙම සියලුම පෝෂණ සංඝටක ඇතුළත්වන පරිදි දිනපතා සමබල නිවැරදි ආහාර වේල් ගැනීමෙන් හා නිසි ලෙස ජලය පානය කිරීමෙන් ස්වභාවිකව නිරෝගී යහපත් සමක් ඔබ සතු කරගත හැකිය. එහෙත් ඔබ ගත කරන්නේ කාර්යබහුල ජීවන රටාවක් නම් බාහිරින් ලබාගන්නා විටමින් මගින් හෝ මෙම පෝෂණ සංඝටක ලබාගත හැකිය. එහෙත් ඔබ එහිදී නිසැකවම සැලකිය යුතු කාරණය වන්නේ එවැනි උපදෙස් ලබාගත යුත්තේ සුදුසුකම් සහිත වෛද්‍යවරයෙකුගෙන්ම පමණක් වීමයි. ඔබේ සෞඛ්‍ය තත්ත්වයන් මෙන්ම රුව පිළිබඳව නිසි උපදෙස් ලබාගත යුත්තේ ඒ සඳහා සුදුසුම වෛද්‍යවරයෙකුගෙන්ම බව අවධාරණයෙන්ම මතක තබා ගත යුතුය.

 

වල්ගම
රජයේ ආයුර්වේද
රෝහලේ වෛද්‍යාචාරිනී
ධම්මිකා අමරසේකර

සටහන
රඹුක්කන
කීර්ති එස්. කුමාර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.